Лого на приложение Библията
Иконка за търсене

රෝම 15

15
අනුන්ගේ ශුභසිද්ධිය සෙවීම
1තවද ඇදහිල්ලෙහි ශක්තිමත් වූ අපි, අප ගැන ම නොසිතා ඇදහිල්ලෙහි දුර්වල වූවන්ගේ ප්‍රමාද දෝෂ ඉවසීමෙන් දරාගනිමු. 2අප එකිනෙකා තම අසල්වැසියාගේ ශුභසිද්ධිය සලසන සේ, ඔහුගේ යහපත තකා ඔහු සතුටු කළ යුතු ය. 3#ගීතා 69:9 “ඔබට නින්දා කළ අයගේ නින්දාව මා පිට පැමිණියේ ය”යි ලියා ඇති ලෙස, ක්‍රිස්තුන් වහන්සේ වුව ද තමන්ගේ ම සතුට නොසෙව් සේක. 4ආදියෙහි ශුද්ධ ලියවිල්ලේ ලියන ලද සියල්ල, එයින් ඇති වන ඉවසීමෙන් ද සැනසීමෙන් ද අපට බලාපොරොත්තුව උදා වන පිණිස, අපේ ඉගෙනීම සඳහා ලියන ලද්දේ ය. 5ඔබ එක සිතින්, එක මුවින් ඔබගේ ස්වාමීන් වන ජේසුස් ක්‍රිස්තුන් වහන්සේගේ පිය වූ දෙවියන් වහන්සේට ගෞරව කරන පිණිස, 6ක්‍රිස්තුන් වහන්සේගේ ආදර්ශය ලෙස ඔබ එකිනෙකා සමඟ එක්සිත් ව විසීමට, ඉවසිල්ලේ හා ධෛර්යයේ උල්පත වූ දෙවියන් වහන්සේ ඔබට වරම් දෙන සේක් වා!
සියලු ජාතීන්ට පොදු සුබ අස්න
7එහෙයින් දෙවියන් වහන්සේගේ තේජශ්‍රීය දක්වන පිණිස ක්‍රිස්තුන් වහන්සේ ඔබ පිළිගත් ලෙස ම, ඔබත් එකිනෙකා පිළිගන්න. 8මන්ද, ක්‍රිස්තුන් වහන්සේ දෙවියන් වහන්සේගේ සත්‍යතාවය දක්වන පිණිස ජුදෙව් ජනතාවගේ සේවකයෙකු වූ සේකැ යි කියමි. එසේ වූයේ පිතෘවරයන්ට දුන් පොරොන්දු ස්ථීර කරන පිණිසත්, 9#2 සාමු 22:50; ගීතා 18:49විජාතීන් විසින් දෙවියන් වහන්සේගේ දයාව ගැන උන් වහන්සේට ගෞරව කරන පිණිසත් ය. ශුද්ධ ලියවිල්ලෙහි:
“එබැවින් විජාතීන් අතර ඔබ පසසන්නෙමි.
ඔබගේ නාමයට ගී ගයන්නෙමි”යි
ලියා ඇත. 10#ද්වි.නී. 32:43 නැවතත්:
“විජාතීනි, උන් වහන්සේගේ සෙනඟ සමඟ ප්‍රීති ප්‍රමෝද වන්නැ”යි
කියා ඇත. 11#ගීතා 117:1 තවදුරටත්:
“සියලු විජාතීනි, සමිඳාණන් වහන්සේට ප්‍රශංසා කරන්න;
සියලු ජාතීහු උන් වහන්සේට ප්‍රශංසා කරත්වා”යි
ලියා ඇත. 12#යෙසා 11:10 තවද:
“ජෙස්සේගේ පෙළපතින් පැවත එන්නා වූ ද, විජාතීන් පාලනය කිරීමට නැඟ එන්නා වූ ද, තැනැන් වහන්සේ වඩින සේක;
උන් වහන්සේ තුළ විජාතීන් බලාපොරොත්තු වනු ඇතැ”යි යෙසායා කියයි.
13තවද ශුද්ධාත්මයාණන්ගේ බලයෙන් ඔබගේ බලාපොරොත්තුව පිරී ඉතිරී යන පිණිස, බලාපොරොත්තුවේ උල්පත වූ දෙවියන් වහන්සේ ඔබේ ඇදහීම නිසා සියලු ප්‍රීතියෙන් හා සාමදානයෙන් ඔබ පූර්ණ කරන සේක් වා.
පාවුලු තුමාගේ ධර්මදූත සේවය
14සහෝදරයෙනි, ඔබ යහපත්කමින් පිරුණු, ප්‍රඥාසම්පන්න ව, එකිනෙකාට අවවාදානුශාසනා දීමෙහි පොහොසත් අය බව මම ඒකාන්තයෙන් දනිමි. 15එහෙත් ඔබට ඇතැම් කරුණු සිහි කර දීමක් වශයෙන් මේ හසුනේ සමහර තැන්වල නිර්භීත ලෙස ඔබ වෙත ලියා ඇත. 16එසේ ලියන්නේ, විජාතීන් උදෙසා ජේසුස් ක්‍රිස්තුන් වහන්සේගේ සේවකයෙකු වීමට දෙවියන් වහන්සේ මට දෙවා වදාළ වරප්‍රසාදය නිසා ය. ඒ පූජක සේවය, විජාතීන් ශුද්ධාත්මයාණන් විසින් කැප කරනු ලැබ, දෙවියන් වහන්සේට ප්‍රියමනාප පූජාවක් වන අයුරින් සුබ අස්න දේශනා කිරීම ය. 17ක්‍රිස්තුස් ජේසුස් වහන්සේට අයත් කෙනෙකු ලෙස දේව සේවාව ගැන මම උදන් අනමි. 18වචනයෙන් හා ක්‍රියාවෙන් ද හාස්කම් හා අරුමපුදුමවල අනුහසින් ද 19ශුද්ධාත්මයාණන්ගේ බලයෙන් ද විජාතීන් තමන් වහන්සේට පක්ෂපාත කරවන ලෙස ක්‍රිස්තුන් වහන්සේ මා ලවා කළ අරුමපුදුම දේ ද ලකුණු ද ගැන මිස අන් කිසිවක් ගැන කතා කිරීමට මම ධෛර්යවත් නොවෙමි. මෙසේ මම ජෙරුසලමේ සිට ඉල්ලුරිකය දක්වා ක්‍රිස්තුන් වහන්සේගේ සුබ අස්න දේශනා කොට නිම කෙළෙමි. 20හැම විට ම මාගේ පරමාර්ථය වූයේ, අන් කෙනෙකු දැමූ පදනමක් පිට ගොඩනැඟීමෙන් වැළකෙන පිණිස, කවරදා වත් ක්‍රිස්තුන් වහන්සේගේ නාමය සඳහන් නොවූ තැන්වල සුබ අස්න දේශනා කිරීම ය.
21 # යෙසා 52:15 මන්ද:
“උන් වහන්සේ ගැන ආරංචියක් නොලත් අය උන් වහන්සේ දකිති.
උන් වහන්සේ ගැන නෑසූ අය උන් වහන්සේ තේරුම්ගනිති”යි
ශුද්ධ ලියවිල්ලෙහි ලියා ඇත.
රෝමය බලා යාමේ අදහස
22 # රෝම 1:13 ඔබ වෙත මාගේ පැමිණීම කීප වරක් වැළකුණේ ඒ නිසා ය. 23එහෙත් දැන් මේ පෙදෙස්වල මාගේ සේවයට තවත් ඉඩක් නැති බැවින් ද කවදා හෝ ස්පාඤ්ඤයට යන ගමන් ඔබ වෙත එන්නට ආශාවක් අවුරුදු ගණනාවක් තුළ මට තිබුණු බැවින් ද එහි යන විට රෝමයට එන්නට බලාපොරොත්තු වෙමි. 24එසේ යද්දී ඔබ දකින්ට ද, ටික කලක් ඔබ සමඟ නැවතීමේ ප්‍රීතිය විඳින්න ද ඉන්පසු ඔබේ ආධාරත් ඇති ව ඒ ගමන යන්න ද බලාපොරොත්තු වෙමි. 25#1 කොරි 16:1-4 එහෙත් දැන් ජෙරුසලමේ දෙවියන් වහන්සේගේ සෙනඟට උපස්ථාන කරන පිණිස එහි යමි. 26මන්ද, ජෙරුසලමෙහි දෙවියන් වහන්සේගේ සෙනඟ අතර සිටින දිළිඳුන් උදෙසා සම්මාදමක් කිරීමට මසිදෝනියේත් ග්‍රීසියේත් සභාවන් තීරණය කර ඇත. 27#1 කොරි 9:11 එය ඔවුන් සිය කැමැත්තෙන් කළ තීරණයකි. ඒ ඇරත්, එසේ කිරීම ඔවුන්ගේ යුතුකම ය. මන්ද, විජාතීන් ජුදෙව්වරුන්ගේ ආධ්‍යාත්මික ආශීර්වාදවලින් ප්‍රයෝජන ලැබුවා සේ ම, ජුදෙව්වරුන්ගේ භෞතික අවශ්‍යතාවල දී ඔවුන්ට ආධාර දීමට විජාතීහු බැඳී සිටිති. 28එබැවින් මම මේ කාර්යය ඉටු කර, මේ සම්මාදම් මුදල ඔවුන්ට සුරක්ෂිත කොට බාර දුන් පසු රෝමය පසු කර ස්පාඤ්ඤයට යන්නෙමි. 29මා ඔබ වෙත එන විට ක්‍රිස්තුන් වහන්සේගේ ආශීර්වාද රාශියක් ඇති ව එන බව මට සහතික ය.
30සහෝදරවරුනි, අපගේ ස්වාමීන් වන ජේසුස් ක්‍රිස්තුන් වහන්සේගේ නාමය නිසා ද ශුද්ධාත්මයාණන්ගෙන් නික්මෙන ප්‍රේමය නිසා ද මම ඔබගෙන් බැගෑපත් ව ඉල්ලීමක් කරමි. ඒ ඉල්ලීම නම් ජුදයෙහි සිටින අභක්තිකයන් අතට මා අසු නොවන පිණිසත්, 31ජෙරුසලම උදෙසා මා කරන උපස්ථානය දෙවියන් වහන්සේගේ සෙනඟට පිළිගත හැකි දෙයක් වන පිණිසත්, දේව කැමැත්ත අනුව ප්‍රීතියෙන් ඔබ වෙත පැමිණ, ඔබ සමඟ විවේක සුවය ලබන පිණිසත්, 32මා උදෙසා ඔබ දෙවියන් වහන්සේට පුද කරන යාච්ඤාවල දී මා සමඟ වීර්යයෙන් යාච්ඤා කරන ලෙස ය. 33ශාන්තිදායක දෙවියන් වහන්සේ ඔබ සමඟ වේ වා! ආමෙන්.

Избрани в момента:

රෝම 15: NRSV

Маркирай стих

Копиране

Сравни

Споделяне

None

Искате ли вашите акценти да бъдат запазени на всички ваши устройства? Регистрирайте се или влезте