YouVersion Logo
Search Icon

ක්‍රියා 8

8
ක්‍රිස්තියානිකාරයන් පීඩාකරනු ලැබීම සහ විසිරයෑම
1ඔහු මරාදැමීම ගැන සාවුල්ද එකඟව සිටියේය.
ඒ දවසේදී යෙරුසලමෙහිවූ සභාවට විරුද්ධව මහත් පීඩාවක් අටගත්තේය; එවිට ප්‍රේරිතයන් හැර ඔවුන් සියල්ලෝ යුදයේද සමාරියේද පළාත්වල විසුරුවනු ලැබුවෝය. 2භක්තිවන්ත මනුෂ්‍යයෝ ස්තේපන් භූමදානකොට, ඔහු ගැන බොහෝසෙයින් වැලපුණාහ. 3නුමුත් සාවුල් සියලු ගෙවලට වැද, පුරුෂයන්ද ස්ත්‍රීන්ද ඇදගෙන ගොස් හිර ගෙට භාරදෙමින්, සභාව නාස්තිකෙළේය.
පිලිප් සමාරියට යෑම
4එබැවින් විසුරුවනු ලැබූ ඔව්හු ගිය ගිය ස්ථානවල වචනය ප්‍රකාශකළෝය. 5පිලිප් සමාරිය නුවරට ගොස් එහි සිටියවුන්ට ක්‍රිස්තුස්වහන්සේව ප්‍රකාශකෙළේය. 6සමූහයෝ ඇහුම්කන්දී, පිලිප් කළ ආශ්චර්යයන් දුටු කල, ඔහු කී කරුණු එක්සිත්ව සැලකුවෝය. 7කුමක්හෙයින්ද අශුද්ධාත්මයන් වැහී සිටි බොහෝ දෙනෙකුගෙන් ඒ ආත්මයෝ මහත් හඬින් මොරගසමින් අහක්වගියෝය. බොහෝ අංශභාග රෝගීහුද කොරුද සුවකරනු ලැබුවෝය. 8ඒ නුවර මහත් ප්‍රීතියක් වූයේය.
මායාකාර සීමොන්
9නුමුත් ඒ නුවර ප්‍රථමයෙන් මායා අභ්‍යාසකළාවූ, තමා උත්තමයෙකැයි ප්‍රකාශකරමින් සමාරිය වැසියන් විස්මිත කළාවූ සීමොන් නම් මනුෂ්‍යයෙක් සිටියේය. 10මේ තෙමේ ශ්‍රේෂ්ඨයයි කියන දෙවියන්ගේ බලයයයි කියමින්, කුඩා අය පටන් ලොකු අය දක්වා හැමදෙනා ඔහුට ඇහුම්කන්දුන්නෝය. 11ඔවුන් විසින් ඔහු එසේ සලකනලද්දේ ඔහුගේ මායාවලින් බොහෝ කලක පටන් ඔවුන් විස්මිතකළ නිසාය. 12නුමුත් ඔව්හු දෙවියන්වහන්සේගේ රාජ්‍යයද යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ නාමයද ගැන ශුභාරංචි දේශනාකළාවූ පිලිප් විශ්වාසකොට, පුරුෂයෝද ස්ත්‍රීහුද බව්තීස්මකරනු ලැබුවෝය. 13එකල සීමොන්ද විශ්වාසකොට, බව්තීස්ම කරනු ලැබ, පිලිප් සමඟ නිතර සිට, ඔහු කළ හාස්කම්ද මහත් ආශ්චර්යයන්ද දැක විස්මිතවූයේය.
පේතෘස් සහ යොහන් සමාරියට පැමිණීම
14සමාරියයන් දෙවියන්වහන්සේගේ වචනය පිළිගත් බව යෙරුසලමේ සිටියාවූ ප්‍රේරිතයෝ අසා, පේතෘස් සහ යොහන් ඔවුන් ළඟට යැවුවෝය. 15ඔව්හු එහි ගොස් ඔවුන්ට ශුද්ධාත්මය ලැබෙන ලෙස ඔවුන් උදෙසා යාච්ඤාකළෝය. 16මක්නිසාද ඔවුන් ස්වාමිවූ යේසුස්වහන්සේගේ නාමයට බව්තීස්මකරනු ලැබුවා මිස, ශුද්ධාත්මය ඒ වන තුරු ඔවුන්ගෙන් කිසිවෙකු කෙරෙහි පැමිණී තිබුණේ නැත. 17ප්‍රේරිතයන් ඔවුන් කෙරෙහි අත් තැබූ කල, ඔවුන්ට ශුද්ධාත්මය ලැබුණේය. 18සීමොන්ද ප්‍රේරිතයන්ගේ අත් තැබීම කරණකොටගෙන ශුද්ධාත්මය ලැබෙන බව දැක, ඔවුන් වෙතට මුදල් ගෙනැවිත්: 19යමෙකු පිට මම අත් තබම්ද, ඔහුට ශුද්ධාත්මය ලැබෙන පිණිස මේ බලය මටත් දෙන්නැයි කීවේය. 20නුමුත් පේතෘස් ඔහුට කථාකොට: දෙවියන්වහන්සේගේ දීමනාව මුදලට ගන්ට නුඹ සිතූ බැවින් නුඹේ මිල නුඹ සමඟ විනාශවේවා. 21මේ කාරණයෙහි කොටසක්වත් පංගුකාර කමක්වත් නුඹට නැත. මක්නිසාද දෙවියන්වහන්සේ ඉදිරියෙහි නුඹේ සිත හරි නැත. 22ඒ නිසා නුඹේ සිතේ කල්පනාව නුඹට කමාකරනු ලැබේදෝ කියා බලන පිණිස, නුඹේ මේ දුෂ්ටකම ගැන පශ්චාත්තාපව, ස්වාමීන්වහන්සේට යාච්ඤාකරන්න. 23මක්නිසාද නුඹ තික්තකමේ පිතේද අයුතුකම නමැති බැම්මේද සිටින බව මට පෙනේයයි කීවේය. 24සීමොන් උත්තරදෙමින්: නුඹලා කීවාවූ දෙයින් කිසිවක් මා කරා නොපැමිණෙන පිණිස, මා උදෙසා ස්වාමීන්වහන්සේට යාච්ඤාකරන්නැයි කීවේය.
25එබැවින් ඔව්හු සාක්ෂිදී දෙවියන්වහන්සේගේ වචනය කියාදුන්නායින් පසු, යෙරුසලමට හැරී යද්දී සමාරියයන්ගේ බොහෝ ගම්වල ශුභාරංචිය ප්‍රකාශ කළෝය.
එතියෝපිය නපුංසකයා
26එහෙත් ස්වාමීන්වහන්සේගේ දූතයෙක් පිලිප්ට කථාකොට: නැගිට දකුණු දෙස යෙරුසලමේ සිට ගාසාට බහින පාරට යන්නැයි කීවේය. එය කාන්තාර පාරක්ය. 27ඔහු නැගිට ගියේය. එකල එතියෝපිය රට වැසියන්ගේ කන්දකී නම් බිසව යටතේ බොහෝ බලය ඇත්තාවූද, ඇගේ මුළු වස්තුවේ භාණ්ඩාගාරිකවූද, නපුංසකවූ එතියෝපියයෙක් නමස්කාරකරන පිණිස යෙරුසලමට ගොස් ආපසු යන්නේ, 28තමාගේ රථයේ හිඳ, අනාගතවක්තෘවූ යෙසායාගේ පොත කියවමින් උන්නේය. 29එවිට ආත්මයාණන්වහන්සේ පිලිප්ට කථාකොට: නුඹ මේ රථය ළඟට ගොස් එක්වෙයන්නැයි කීසේක. 30පිලිප් ඔහු ළඟට දිව ගොස්, අනාගතවක්තෘවූ යෙසායාගේ පොත ඔහු කියවනවා අසා: නුඹ කියවන දේ නුඹට තේරෙනවාදැයි ඇසුවේය. 31යමෙක් මගපෙන්නුවොත් මිස නැත්නම් මට තේරුම්ගන්ට පුළුවන් කොහොමදැයි කියා, රථයට නැගී තමා සමඟ ඉඳගන්ට ඔහු පිලිප්ගෙන් උදක්ම ඉල්ලුවේය. 32ඔහු කියවමින් සිටි ශුද්ධලියවිලි කොට්ඨාසය නම්:
උන්වහන්සේ බැටළුවෙකු මෙන් මරණයට ගෙනයනු ලැබ, බැටළු පැටවෙක් උගේ ලෝම කපන්නා ඉදිරිපිට ගොළුව සිටින්නාක්මෙන් තමන් මුඛය නාරිනසේක.
33උන්වහන්සේගේ පහත්වීමේදී උන්වහන්සේ විනිශ්චය බැහැර කරනලද්දේය.
උන්වහන්සේගේ පරම්පරාව ප්‍රකාශකරන්නේ කවුද?
මක්නිසාද උන්වහන්සේගේ ජීවිතය භූමියෙන් පහකරනලද්දේය
යනුයි. 34නපුංසකයා පිලිප්ගෙන් විචාරමින්: අනාගතවක්තෘ මේක කියන්නේ කා ගැනද? තමාම ගැනද නොහොත් වෙන කෙනෙකු ගැනදැයි කියන ලෙස නුඹෙන් ඉල්ලමියි කීවේය. 35එවිට පිලිප් මුඛය හැර, ඒ ලියවිල්ලෙන් පටන්ගෙන, යේසුස්වහන්සේ ගැන ඔහුට දේශනා කෙළේය. 36ඔව්හු මාර්ගයේ යද්දී, වතුර තිබෙන තැනකට පැමුණුණහ; නපුංසකයා කථාකොට: මෙන්න, වතුර තිබේ; බව්තීස්මකරනු ලබන්ට මට කවර බාධාවක් තිබේදැයි කියා, රථය නවත්වන්ට අණකෙළේය. #8:36 සමහර පුරාණ පිටපත්වල 37 වෙනි පදයක් සම්පූර්ණයෙන්ම නොහොත් අර්ධ වශයෙන් තිබේ, ඒ මෙසේය: පිලිප් කථාකොට-නුඹ නුඹේ මුළු සිතින් අදහන්නෙහි නම් එසේ පුළුවනැයි කීය. ඔහු උත්තරදෙමින්-යේසුස් ක්‍රිස්තුස්වහන්සේ දෙවියන්වහන්සේගේ පුත්‍රයාණන් බව මම අදහමියි කීයේය. 38එවිට පිලිප්ද නපුංසකයාද දෙදෙනම වතුරට බැස්සෝය; පිලිප් ඔහුව බව්තීස්මකෙළේය. 39ඔවුන් වතුරෙන් ගොඩනැගුණු කල ස්වාමීන්වහන්සේගේ ආත්මයාණෝ පිලිප් රැගෙන ගියසේක; නපුංසකයා තවත් ඔහුව නුදුටුයේය, මක්නිසාද ඔහු ප්‍රීතිවෙමින් තමාගේ ගමන ගියේය. 40නුමුත් පිලිප් අසෝතසේදී දක්නාලද්දේය. ඔහු කායිසාරියට එන තෙක් සියලු නුවරවල් මැදින් යමින් ශුභාරංචිය ප්‍රකාශකෙළේය.

Highlight

Share

Copy

None

Want to have your highlights saved across all your devices? Sign up or sign in