YouVersion Logo
Search Icon

ශු. යොහන් 7

7
යේසුස්වහන්සේ සහ උන්වහන්සේගේ සහෝදරයෝ
1ඉන්පසු යේසුස්වහන්සේ ගලීලයෙහි සංචාරණයකළසේක. මක්නිසාද යුදෙව්වරු උන්වහන්සේ මරන්ට සෙවූ බැවින් උන්වහන්සේ යුදයෙහි සංචාරණයකරන්ට නොකැමැතිවූසේක. 2එකල යුදෙව්වරුන්ගේ කූඩාරම් මංගල්‍යය ළංව තිබුණේය. 3ඒ නිසා උන්වහන්සේගේ සහෝදරයෝ කථාකොට: නුඹ කරන ක්‍රියා නුඹේ ගෝලයන් විසින්ද දකින පිණිස මෙයින් පිටත්ව යුදයට යන්න. 4මක්නිසාද ප්‍රසිද්ධවෙන්ට කැමති කිසිවෙක් කිසිදෙයක් රහසින් කරන්නේ නැත. නුඹ මේ දේ කරනවා නම් නුඹ ලෝකයාට ප්‍රකාශවෙන්නැයි කීවෝය. 5මක්නිසාද උන්වහන්සේගේ සහෝදරයන් පවා උන්වහන්සේ කෙරෙහි අදහාගත්තේ නැත. 6එබැවින් යේසුස්වහන්සේ ඔවුන්ට කියනසේක්: මාගේ කාලය තවම පැමුණුණේ නැත; නුඹලාගේ කාලය නිතර සූදානම්ව තිබේ. 7නුඹලාට වෛරකරන්ට ලෝකයාට බැරිය; නුමුත් ඔවුන්ගේ ක්‍රියා නපුරු බවට මා විසින් සාක්ෂිදෙන බැවින් ඔව්හු මට වෛරකරති. 8නුඹලා මංගල්‍යයට යන්න. මාගේ කාලය තවම සම්පූර්ණ නුවූ හෙයින් මේ මංගල්‍යයට දැන්ම නොයමියි කීසේක. 9උන්වහන්සේ මෙසේ ඔවුන්ට කියා, ගලීලයේ නැවතී සිටිසේක.
10නුමුත් තමන් සහෝදරයන් මංගල්‍යයට ගියායින් පසු උන්වහන්සේද ප්‍රසිද්ධයෙන් නොව රහසින් මෙන් මංගල්‍යයට ගියසේක. 11එකල යුදෙව්වරු මංගල්‍යයේදී උන්වහන්සේ සොයමින්: ඔහු කොතැන්හිදැයි ඇසුවෝය. 12සමූහයන් අතරේ උන්වහන්සේ ගැන මහත් කෙඳිරීමක් විය. සමහරෙක්: ඔහු සත්පුරුෂයෙකැයි කීවෝය; සමහරෙක්: එසේ නොවේ, ඔහු සමූහයා මුළා කරන්නේයයි කීවෝය. 13එසේ වුවත් යුදෙව්වරුන්ට භය නිසා කිසිවෙක් උන්වහන්සේ ගැන ප්‍රසිද්ධයෙන් කථාකෙළේ නැත.
තමන් දෙවියන්වහන්සේ කෙරෙන් ආ බව යේසුස්වහන්සේ යෙරුසලමේදී කියාදීම
14නුමුත් මංගල්‍යය මැදදී යේසුස්වහන්සේ දේවමාළිගාවට ගොස් ඉගැන්වූසේක. 15එබැවින් යුදෙව්වරු මවිතව: කිසිකලක ඉගෙන නොගත්තාවූ මොහු ලියවිලි දන්නේ කොහොමදැයි කීවෝය. 16එහෙයින් යේසුස්වහන්සේ ඔවුන්ට උත්තරදෙමින්: මාගේ ඉගැන්වීම මාගේ නොව මා එවූ තැනන්වහන්සේගේය. 17යමෙක් උන්වහන්සේගේ කැමැත්ත කරන්ට කැමති නම්, ඔහු ඒ ඉගැන්වීම දෙවියන්වහන්සේගෙන් වූ ඉගැන්වීමක් ද නොහොත් මා විසින් උපදවා කියනවාදැයි දැනගන්නේය. 18තමාම උපදවන දේ කියන්නා තමාගේම ගෞරවය සොයයි. නුමුත් තමා එවූ තැනන්වහන්සේගේ ගෞරවය සොයන්නා සැබෑවූ කෙනෙක්ය, ඔහු තුළ අධර්මිෂ්ඨකමක් නැත. 19මෝසෙස් නුඹලාට ව්‍යවස්ථාව දුන්නා නොවේද? එහෙත් නුඹලාගෙන් කිසිවෙක් ව්‍යවස්ථාව නොපවත්වයි. මා මරන්ට සොයන්නේ මක්නිසාදැයි කීසේක. 20සමූහයා උත්තරදෙමින්: නුඹට යක්ෂයෙක් ආවේශව සිටී. නුඹ මරන්ට සොයන්නේ කවුදැයි කීවෝය. 21යේසුස්වහන්සේ ඔවුන්ට උත්තරදෙමින්: එක් ක්‍රියාවක් කෙළෙමි, ඊට නුඹලා සියල්ලෝම මවිතව සිටිති. 22මෝසෙස් චර්මඡේදනය නුඹලාට දී තිබේ; (නුමුත් ඒක මෝසෙස්ගෙන් නොව පියවරුන්ගෙන්ය.) නුඹලා සබත් දවසේදී මනුෂ්‍යයෙකු චර්මඡේදනයකරති. 23මෝසෙස්ගේ ව්‍යවස්ථාව කඩ නොවන පිණිස මනුෂ්‍යයෙක් සබත් දවසේදී චර්මඡේදනය ලබන්නේ නම්, සබත් දවසේදී මනුෂ්‍යයෙකු සම්පූර්ණයෙන් සුව කළාට නුඹලා මා කෙරේ කෝපවවූද? 24පෙනීමේ හැටියට විනිශ්චය නොකරන්න, ධාර්මික විනිශ්චයෙන් විනිශ්චය කරන්නැයි කීසේක.
25එබැවින් යෙරුසලම් වාසීන්ගෙන් සමහරු කියන්නෝ: ඔවුන් මරන්ට සොයන්නේ මොහු නොවේද? 26එහෙත් ඔහු ප්‍රසිද්ධයෙන් කථාකරයි, ඔව්හු කිසි දෙයක් ඔහුට නොකියති. මොහු ක්‍රිස්තුස්වහන්සේ බව මුලාදෑනීහු සැබෑවටම දැනගෙන සිටිනවාදෝ? 27එසේ වුවත් මොහු ආවේ කොතැනින්දැයි අපි දනිමුව. නුමුත් ක්‍රිස්තුස්වහන්සේ එන කල උන්වහන්සේ කොතැනින්දැයි කිසිවෙක් දන්නේ නැතැයි කීවෝය. 28ඒ නිසා යේසුස්වහන්සේ දේවමාළිගාවෙහි උගන්වමින් ශබ්දනගා: නුඹලා මා කවුද කියාත් මම කොතැනින් ආවෙම්ද කියාත් දන්නහුය; මම මාගේ කැමැත්තෙන් නායෙමි, නුමුත් මා එවූ තැනන්වහන්සේ සැබෑ කෙනෙක්ය; නුඹලා උන්වහන්සේ අඳුනන්නේ නැත. 29මම උන්වහන්සේ අඳුනමි; කුමක්හෙයින්ද මම උන්වහන්සේ කෙරෙන් ආයෙමි, උන්වහන්සේද මා එවූසේකැයි කීසේක. 30එබැවින් ඔව්හු උන්වහන්සේ අල්ලන්ට හැදුවෝය. නුමුත් උන්වහන්සේගේ වේලාව ඒතාක් පැමුණුණේ නැති බැවින් කිසිවෙක් උන්වහන්සේ පිට අත් නොතැබුවෝය. 31නුමුත් සමූහයාගෙන් බොහෝ දෙනෙක් උන්වහන්සේ කෙරෙහි අදහාගත්තෝය. තවද ඔව්හු: ක්‍රිස්තුස්වහන්සේ ආ කල මුන්වහන්සේ කළ ලකුණුවලට වඩා උන්වහන්සේ කරනසේක්දැයි කීවෝය. 32සමූහයා උන්වහන්සේ ගැන මේ දේවල් කියමින් කොඳුරනවා ඵරිසිවරුන්ට ඇසී, නායක පූජකයෝද ඵරිසිවරුද උන්වහන්සේ අල්ලන්ට සේවකයන් යැවුවෝය. 33එබැවින් යේසුස්වහන්සේ කියනසේක්: තව ටික කලක් මම නුඹලා සමඟ සිටිමි, ඉන්පසු මා එවූ තැනන්වහන්සේ ළඟට යමි. 34නුඹලා මා සොයනවා ඇත, නුමුත් නුඹලාට මා සම්බවෙන්නේ නැත. මා සිටින තැනට එන්ට නුඹලාට නුපුළුවනැයි කීසේක. 35එබැවින් යුදෙව්වරු ඔවුනොවුන් අතරේ කථාකරමින්: මොහු අපට සම්බ නොවෙන්ට කොතැනට යන්නේද? ග්‍රීකයන් අතරෙහි විසර සිටින්නන් වෙතට ගොස් ග්‍රීකයන්ට උගන්වනවා ඇද්ද? 36නුඹලා මා සොයනවා ඇත, නුමුත් නුඹලාට මා සම්බවෙන්නේ නැත; මා සිටින තැනට එන්ට නුඹලාට නුපුළුවන කියා ඔහු කී වචනය කිමෙක්දැයි කීවෝය.
ජීවමාන වතුර
37මංගල්‍යයේ මහත් දවසවූ අන්තිම දවසේ යේසුස්වහන්සේ නැගිට සිට ශබ්ද පවත්වමින්: යමෙකුට පිපාසා ඇත්නම් ඔහු මා ළඟට ඇවිත් බීවාවේ. 38මා කෙරෙහි අදහන්නා තුළින් ලියවිල්ලෙහි කියා තිබෙන හැටියට ජීවනදායක වතුර ඇති ගංගා ගලන්නේයයි කීසේක. 39උන්වහන්සේ මෙසේ කීවේ තමන් අදහාගත්තවුන් විසින් ලබන්ට සිටිය ආත්මයාණන් ගැනය. මක්නිසාද යේසුස්වහන්සේ ඒතාක්ම මහිමයට නොපැමිණි බැවින් ඒතාක්ම ආත්මයාණන් නොදෙනලද්දේය. 40එබැවින් සමූහයාගෙන් සමහරෙක් මේ වචන අසා: සැබෑවටම මුන්වහන්සේ අනාගතවක්තෘමයයි කීවෝය. 41අන් සමහරෙක්: මුන්වහන්සේ ක්‍රිස්තුස්වහන්සේයයි කීවෝය. එහෙත් සමහරෙක්: කිමෙක්ද, ක්‍රිස්තුස්වහන්සේ ගලීලයෙන් එනසේක්ද? 42ක්‍රිස්තුස්වහන්සේ දාවිත්ගේ වංශයෙන්ද දාවිත් විසූ ගම වන බෙත්ලෙහෙමෙන්ද එනසේකැයි ශුද්ධලියවිල්ලෙහි කියා තිබෙනවා නොවේදැයි කීවෝය. 43මෙසේ උන්වහන්සේ නිසා සමූහයා අතරෙහි භේදයක් හටගත්තේය. 44ඔවුන්ගෙන් සමහරෙක් උන්වහන්සේ අල්ලන්ට කැමතිවූවෝය; නුමුත් කිසිවෙක් උන්වහන්සේ පිට අත් තැබුවේ නැත.
45ඉක්බිති සේවකයෝ නායක පූජකයන් සහ ඵරිසිවරුන් ළඟට ආවෝය. නුඹලා ඔහු නොගෙනාවේ මක්නිසාදැයි ඔව්හු ඔවුන්ගෙන් ඇසුවෝය. 46සේවකයෝ උත්තරදෙමින්: මනුෂ්‍යයෙක් කිසිකලක මෙසේ කථාකළේ නැතැයි කීවෝය. 47එබැවින් ඵරිසිවරු ඔවුන්ට උත්තරදෙමින්: නුඹලාත් මුළාවෙලාද? 48මුලාදෑනීන්ගෙන්වත් ඵරිසිවරුන්ගෙන්වත් යමෙක් ඔහු කෙරෙහි අදහාගත්තේද? 49නුමුත් ව්‍යවස්ථාව නොදන්නාවූ මේ සමූහයා ශාපලද්දෝයයි කීවෝය. 50ඔවුන්ගෙන් එක්කෙනෙක්වූ (ඊට ප්‍රථම උන්වහන්සේ ළඟට ගියාවූ) නිකොදේමුස් ඔවුන්ට කථාකොට: 51යම් මනුෂ්‍යයෙකුගෙන් පළමුකොට නොඅසා, ඔහු කරන්නේ කිමෙක්දැයි ඔහුගෙන්ම නොදැන, අපගේ ව්‍යවස්ථාව ඔහු විනිශ්චයකෙරේදැයි ඔවුන්ට කීවේය. 52ඔව්හු උත්තරදෙමින්: නුඹත් ගලීලයෙන්ද? ගලීලයෙන් අනාගතවක්තෘ කෙනෙක් නොනැගිටින බව සොයා බලන්නැයි ඔහුට කීවෝය.

Highlight

Share

Copy

None

Want to have your highlights saved across all your devices? Sign up or sign in