YouVersion Logo
Search Icon

ශු. ලූක් 15

15
නැතිවුණ බැටළුවා සහ නැතිවුණ මිලය
1තවද සියලු සුංගම් අයකරන්නෝද පව්කාරයෝද උන්වහන්සේගේ වචන අසන පිණිස උන්වහන්සේට ළංවෙවී ආවෝය. 2ඵරිසිවරුද ලියන්නෝද කථාකොට: මොහු පව්කාරයන් පිළිගෙන ඔවුන් සමඟ කන්නේය කියා කොඳුළෝය.
3උන්වහන්සේ මේ උපමාව ඔවුන්ට කියනසේක්: 4නුඹලා අතරෙන් බැටළුවන් සියයක් ඇති කවර මනුෂ්‍යයෙක් නුමුත් උන්ගෙන් එකෙක් නැතිවුණොත්, එකුන්සියය වනයේ හැර, නැතිවූ එකා පස්සේ ගොස්, ඌ සම්බවෙන තුරු නොසොයන්නේද? 5ඌ සම්බවූ විට ඔහු ප්‍රීතිවෙමින්, ඌ තමාගේ කරේ තබාගෙන, 6ගෙදර ඇවිත් මිත්‍රයන්ද අසල්වාසීන්ද කැඳවා: මා සමඟ ප්‍රීතිවෙන්න, මක්නිසාද මාගේ නැතිවූ බැටළුවා සම්බවීයයි ඔවුන්ට කියයි. 7එලෙසම පශ්චාත්තාපය ඕනෑ නැති ධර්මිෂ්ඨයන් එකුන්සියයකට වඩා පශ්චාත්තාපවන්නාවූ එක පව්කාරයෙකු ගැන ස්වර්ගයෙහි ප්‍රීතිය වන්නේයයි නුඹලාට කියමි.
8නොහොත් රිදී මිල දසයක් ඇති කවර ස්ත්‍රියෙක් එයින් එකක් නැති වුණොත් පහනක් දල්වා, ගෙය අතුගා, ඒක සම්බවෙන තුරු උත්සාහයෙන් නොසොයන්නීද? 9ඒක සම්බවූ විට ඈ මිත්‍රයන්ද අසල්වාසීන්ද කැඳවා: මා සමඟ ප්‍රීතිවෙන්න, මක්නිසාද මාගේ නැතිවූ රිදී මිලය සම්බවීයයි ඔවුන්ට කියන්නීය. 10එලෙසම පශ්චාත්තාපවන්නාවූ එක පව්කාරයෙකු ගැන දෙවියන්වහන්සේගේ දූතයන් ඉදිරියෙහි ප්‍රීතිය ඇත්තේයයි නුඹලාට කියමියි කීසේක.
අකීකරු පුත්‍රයා
11තවද උන්වහන්සේ කියනසේක්: එක්තරා මනුෂ්‍යයෙකුට පුත්‍රයෝ දෙදෙනෙක් සිටියෝය. 12ඔවුන්ගෙන් බාලයා: පියාණෙනි, ඔබගේ වස්තුවෙන් මට එන කොටස දෙන්නැයි පියාට කීවේය. එවිට ඔහු තමාගේ සම්පත් ඔවුන්ට බෙදාදුන්නේය. 13නොබෝ දවසකට පසු බාල පුත්‍රයා සියල්ල එකතුකරගෙන, දුර රටකට ගොස්, එහිදී අවකල් ක්‍රියාවෙන් ජීවත්වෙමින්, තමාගේ වස්තුව නාස්තිකෙළේය. 14ඔහු සියල්ල වියදම්කළ පසු, ඒ රටේ මහත් සාගතයක් හටගැනී, ඔහුට හිඟවෙන්ට පටන් ගත්තේය. 15එවිට ඔහු ගොස් ඒ රටේ වැසියෙකුට බැඳුණේය; හෙතෙම ඌරන්ට ගොදුරු කවන පිණිස තමාගේ කෙත්වලට ඔහු යැවීය. 16ඔහු ඌරන් කෑ කරල්වලින් තමාගේ බඩ පුරවා ගන්ට කැමතිවූයේය; කිසිවෙක්ද ඔහුට කිසිවක් දුන්නේ නැත. 17එහෙත් ඔහු සිහිඋපදවා කථාකොට: මාගේ පියාණන්ගේ කුලීකාරයන් එපමණ දෙනෙකුට ඕනෑවාට වඩා කෑම තිබෙද්දී මම මෙහි බඩගින්නේ නසිමි! 18මම නැගිට මාගේ පියාණන් ළඟට ගොස්: පියාණෙනි, ස්වර්ගයට විරුද්ධවද ඔබ ඉදිරියෙහිද පව්කෙළෙමි. 19තවත් ඔබගේ පුත්‍රයායයි කියනු ලබන්ට නොවටිමි. ඔබගේ කුලීකාරයන්ගෙන් එක්කෙනෙකු මෙන් මා තබාගත මැනවයි ඔහුට කියන්නෙමියි කියා, 20නැගිට තමාගේ පියා ළඟට ගියේය. ඔහු දුර සිටියදීම ඔහුගේ පියා ඔහු දැක, අනුකම්පාවී, දුවගන ගොස්, ඔහුගේ බෙල්ල වැළඳගෙන, ඔහු සිඹගත්තේය. 21එවිට පුත්‍රයා ඔහුට කථාකොට: පියාණෙනි, ස්වර්ගයට විරුද්ධවද ඔබ ඉදිරියෙහිද පව්කෙළෙමි. තවත් ඔබගේ පුත්‍රයායයි කියනු ලබන්ට නොවටිමියි කීවේය. 22නුමුත් පියා තමාගේ දාසයන්ට කථාකොට: ඉතා හොඳ සළුව වහාම ගෙනැවිත් මොහුට හඳවන්න; මොහුගේ ඇඟිල්ලේ මුදුවක්ද පාදවල වහන්ද දමන්න. 23තරකළ වස්සා ගෙනැවිත් මරන්න, අපි කමින් ප්‍රීතිවෙමු. 24මක්නිසාද මේ මාගේ පුත්‍රයා නැසී, නැවත ජීවත්ව සිටියි; ඔහු නැතිවී, සම්බවීයයි කීවේය. එවිට ඔව්හු ප්‍රීතිවෙන්ට පටන්ගත්තෝය. 25ඔහුගේ වැඩිමහල් පුත්‍රයා කෙතෙහි සිටියේය. ඔහු ඇවිත් ගෙදරට ළංවූ කල, තූර්යනාදයත් නැටීමත් ඇසී, 26දාසයන්ගෙන් එක්කෙනෙකුට හඬගසා: මේ මොකදැයි විචාළේය. 27ඔහුද: ඔබගේ සහෝදරයා ආවේය; ඔබගේ පියාණෝ ඔහු සුවසේ පිළිගත් බැවින්, තරකළාවූ වස්සා මැරෙව්වේයයි කීවේය. 28එවිට ඔහු කිපී, ගෙට ඇතුල්වෙන්ට නොකැමති වූයේය. එබැවින් ඔහුගේ පියා පිටතට ඇවිත්, එන මෙන් ඔහුගෙන් ඉල්ලුවේය. 29නුමුත් ඔහු උත්තරදෙමින්: මෙපමණ අවුරුදු ගණනක් ඔබට සේවයකරමින් සිටිමි, කවදාවත් ඔබගේ ආඥාවක් කඩ නොකෙළෙමි. එසේවී නුමුත් මාගේ මිත්‍රයන් සමඟ ප්‍රීතිවෙන්ට ඔබ එළු පැටවෙකුවත් කිසිකලක මට නුදුන්නෙහිය. 30නුමුත් ඔබගේ සම්පත වේශ්‍යාවන් සමඟ නාස්තිකළාවූ මේ ඔබගේ පුත්‍රයා ආ වේලේ, ඔහු නිසා තරකළ වස්සා මැරුවෙහියයි පියාට කීවේය. 31ඔහුද: පුත්‍රය, නුඹ නිතරම මා සමඟ සිටිනෙහිය, මා සන්තක සියල්ලද නුඹේය. 32නුමුත් අප විසින් ප්‍රීති සන්තෝෂවෙන්ට යුතුව තිබුණේය. මක්නිසාද මේ නුඹේ සහෝදරයා නැසී නැවත ජීවත්ව සිටියි; නැතිවී සම්බවීයයි කීයේයයි කීසේක.

Highlight

Share

Copy

None

Want to have your highlights saved across all your devices? Sign up or sign in