YouVersion Logo
Search Icon

ශු. ලූක් 23

23
පිලාත් සහ හෙරොද් ඉදිරිපිට සිටීම
1එවිට ඔවුන්ගේ මුළු සමූහයා නැගිට, උන්වහන්සේ පිලාත් ඉදිරිපිටට ගෙනගියෝය. 2ඔව්හු උන්වහන්සේට වරද තබන්ට පටන්ගෙන: මොහු අපගේ ජාතිය මුළාකරන බවද, කායිසර්ට ආදායම් දීම තහනම්කරන බවද, තමාම ක්‍රිස්තුස් රජයයි කියන බවද අපි දැනගතිමුයයි කීවෝය. 3පිලාත්ද: නුඹ යුදෙව්වරුන්ගේ රජදැයි උන්වහන්සේගෙන් ඇසුවේය. උන්වහන්සේ ඔහුට උත්තරදෙමින්: එසේයයි කීසේක. 4එවිට පිලාත් නායක පූජකයන්ටද සමූහයන්ටද කථාකොට: මේ මනුෂ්‍යයා අත කිසි වරදක් මට පෙනෙන්නේ නැතැයි කීවේය. 5නුමුත් ඔව්හු: මොහු ගලීලයේ පටන් මෙතැන දක්වා යුදය මුළුල්ලෙහි උගන්වමින්, සෙනඟ කලඹනවායයි වඩා තදින් කීවෝය. 6පිලාත් ඒ අසා, මේ මනුෂ්‍යයා ගලීලයෙක්දැයි විචාළේය. 7එවිට පිලාත් උන්වහන්සේ හෙරොද්ගේ නඩුකාර පළාතට අයිති බව දැන, හෙරොද් ඒ දවස්වලදී යෙරුසලමේ සිටි බැවින් ඔහු වෙතට උන්වහන්සේව යැවීය.
8හෙරොද් යේසුස්වහන්සේ දැක, ඉතා සන්තෝෂවූයේය. මක්නිසාද ඔහු උන්වහන්සේ ගැන අසා තිබුණු බැවින්, බොහෝ කලක සිට උන්වහන්සේ දකින්ට කැමතිව සිටියේය, උන්වහන්සේ යම් ආශ්චර්යයක් කරනවා දකින්ටද ඔහු බලාපොරොත්තුවූයේය. 9ඔහු බොහෝ වචනවලින් උන්වහන්සේගෙන් ප්‍රශ්න ඇසූ නුමුත්, උන්වහන්සේ කිසි උත්තරයක් ඔහුට නුදුන්සේක.
10නායක පූජකයෝද ලියන්නෝද නැඟිට සිට, තදලෙස උන්වහන්සේට වරද තැබුවෝය. 11හෙරොද් තමාගේ හේවායන් සමඟ උන්වහන්සේ සුළුකොට, උන්වහන්සේට සරදම්කොට, දිලිසෙන්නාවූ වස්ත්‍රයක් හඳවා, පිලාත් ළඟට උන්වහන්සේ ආපසු යැවීය. 12හෙරොද්ද පිලාත්ද ඒ දවසේදීම මිත්‍රවූවෝය. මක්නිසාද ඔව්හු පළමු එදිරිව සිටියෝය.
පිලාත්, බරබ්බස්, යේසුස්වහන්සේ
13පිලාත් නායක පූජකයන්ද මුලාදෑනීන්ද සෙනඟද රැස්කරවා, 14ඔවුන්ට කියනුයේ: නුඹලා මේ මනුෂ්‍යයා සෙනඟ මුළාකරන්නෙක් කියා මා ළඟට ගෙනාවහුය. බලව, නුඹලා ඉදිරියෙහිම මා විසින් ඔහු විභාගකළ විට, නුඹලා විසින් මොහු කෙරෙහි තබන ලද ඒ වරදවලින් කිසිවක් ඔහු අත මට සම්බ නූණේය. 15හෙරොද්ටත් සම්බවුණේ නැත. මක්නිසාද ඔහු අප ළඟට මොහු නැවත එවීය; බලව, මරණයට සුදුසු කිසිවක් ඔහු විසින් නොකරනලද්දේය. 16එබැවින් මම ඔහුට තළා, නිදහස්කොට හරිමියි කීයේය. 17මක්නිසාද ඒ මංගල්‍යයේදී එක්කෙනෙකු ඔහු විසින් ඔවුන්ට නිදස්කර දියයුතුව තිබුණේය. 18නුමුත් ඔවුන් සියල්ලෝම: මොහු පහකොට බරබ්බස් අපට නිදහස්කර දුනමැනවයි එක්ව මොරගැසුවෝය. 19බරබ්බස් වනාහි නුවරදී කළ කැරළිගැසීමක්ද මිනීමැරීමක්ද නිසා හිරගෙයි දමනලද කෙනෙක්ය. 20පිලාත් යේසුස්වහන්සේ මුදාහරින්ට කැමතිව, නැවතත් ඔවුන්ට කථාකෙළේය; 21නුමුත් ඔව්හු: මොහු කුරුසියෙහි ඇණගැසුව මැනව, කුරුසියෙහි ඇණගැසුව මැනව, කියා මොරගැසුවෝය. 22ඔහු තුන්වෙනි වර කථාකොට: කිමෙක්ද? මොහු කවර නපුරක් කෙළේද? මරණයට සුදුසු කිසිදෙයක් මොහු අත මට සම්බ නූණේය. එබැවින් මොහුට තළා මුදාහරිමියි ඔවුන්ට කීවේය. 23නුමුත් උන්වහන්සේ කුරුසියෙහි ඇණගසන ලෙසම ඔව්හු වඩ වඩා ශබ්දනගා ඉල්ලා සිටියෝය. තවද ඔවුන්ගේ මොරගැසීමට ජය ලැබුණේය. 24පිලාත් ඔවුන් ඉල්ලූ දේ ඉෂ්ට වෙන ලෙස තීන්දුව දුන්නේය. 25තවද ඔහු කැරළිගැසීමත් මිනීමැරීමත් නිසා හිරගෙයිලා සිටියාවූ ඔවුන් ඉල්ලුවාවූ තැනැත්තා ඔවුන්ට මුදාහැර, යේසුස්වහන්සේ ඔවුන්ගේ කැමැත්තට භාරදුන්නේය.
26ඔව්හු උන්වහන්සේ ගෙනයන කල, පිටිසරින් එන කිරේනියේ සීමොන් නම් මනුෂ්‍යයෙකු අල්ලා, යේසුස්වහන්සේ පස්සෙන් කුරුසිය උසුලාගෙන යන්ට ඒක ඔහු පිට තැබුවෝය.
ස්ත්‍රීන්ට සැනසීමේ වචන. කුරුසියේ ඇණගසනු ලැබීම. පසුතැවිලිවූ හොරා
27සෙනඟගෙන්ද උන්වහන්සේ නිසා හඬා වැලපෙන්නාවූ ස්ත්‍රීන්ගෙන්ද යුක්තවූ මහත් සමූහයක් උන්වහන්සේ අනුව ගියෝය. 28යේසුස්වහන්සේ ඔවුන් දෙසට හැරී: යෙරුසලමේ දූවරුනි, මා නිසා නොහඬා, නුඹලා සහ නුඹලාගේ දරුවන් නිසාත් හඬන්න. 29මක්නිසාද වඳ ස්ත්‍රීහුද දරුවන් බිහිනොකළ කුසද කිසිකලෙක කිරි නුදුන් තනද වාසනාවන්තයයි කියන දවස් පැමිණෙන්නේය. 30ඒ කාලයේදී ඔව්හු කඳුවලට කථාකොට: අප පිට වැටෙන්න; හෙල්වලට: අප වසාගන්නැයි කියන්ට පටන්ගන්නෝය. 31මක්නිසාද අමු ගසට මේ දේ කරත් නම්, වියළි ගසට කුමක් කරනු ලබන්නේදැයි කීසේක.
32මරනු ලබන පිණිස වරදකාරයන්වූ තවත් දෙදෙනෙක්ද උන්වහන්සේ සමඟ ගෙනයනලද්දෝය.
33ඔව්හු ඉස්කබල නම් ස්ථානයට පැමිණ එහිදී උන්වහන්සේද වරදකාරයන්ද කුරුසියෙහි ඇණගසන්නාහු, එක්කෙනෙකු උන්වහන්සේගේ දකුණු පැත්තෙහිද අනික් එක්කෙනා වම්පැත්තෙහිද ඇණගැසුවෝය. 34යේසුස්වහන්සේ කථාකොට: පියාණෙනි, ඔවුන්ට කමාවුව මැනව; මක්නිසාද ඔවුන් කරන්නේ මොකද කියා ඔව්හු නොදනිතියි කීසේක. ඔව්හු උන්වහන්සේගේ වස්ත්‍ර දාදුදමා, තමුන් අතරේ බෙදාගත්තෝය. 35සෙනඟද බල බලා සිටියෝය. මුලාදෑනීහු උන්වහන්සේට ගැරහුම්කරමින්: මොහු අනුන් ගැළවිය; මොහු දෙවියන්වහන්සේගේ තෝරාගත් ක්‍රිස්තුස් නම් තමාම ගළවාගනීවයි කීවෝය. 36හේවායෝද උන්වහන්සේ ළඟට ඇවිත් උන්වහන්සේට කාඩි ළංකොට: 37නුඹ යුදෙව්වරුන්ගේ රජ නම් නුඹම ගළවාගන්න කියා සරදම්කළෝය. 38යුදෙව්වරුන්ගේ රජ මොහුය කියා ලියවිල්ලක් උන්වහන්සේට උඩින් තබා තිබුණේය.
39එල්ලා සිටි වරදකාරයන්ගෙන් එක්කෙනෙක් උන්වහන්සේට අපහාස කරමින්: නුඹ ක්‍රිස්තුස් නොවේද? නුඹත් අපත් ගළවාගන්නැයි කීවේය. 40අනික් අය ඔහුට තරවටුකරමින්: එම දඬුවමට පැමිණ සිටින නුඹ දෙවියන්වහන්සේටවත් භය නැද්ද? 41අප දඬුවම් ලබන්නේ සාධාරණලෙසය; මක්නිසාද අපේ ක්‍රියාවලට සුදුසු විපාක ලබමුව. නුමුත් මුන්වහන්සේ කිසි වරදක් නොකළසේක කියා උත්තරදුන්නේය. 42තවද ඔහු: යේසුස්වහන්ස, ඔබගේ රාජ්‍යයෙන් යුක්තව ඔබ එන කල මා සිහිකළ මැනවයි කීවේය. 43උන්වහන්සේද: සැබවක් නුඹට කියමි–අදම නුඹ මා සමඟ පරාදීසයෙහි සිටින්නෙහියයි කීසේක.
යේසුස්වහන්සේගේ මරණය සහ භූමදානය
44ඒ වේලාව සවෙනි පැය පමණ විය, ඉර එළිය නැතිවී, නවවෙනි පැය දක්වා දේශය මුළුල්ලෙහි අන්ධකාරයක් විය. 45දේවමාළිගාවේ තිරයද මැදින් ඉරුණේය. 46යේසුස්වහන්සේ මහත් ශබ්දයකින් මොරගසා, පියාණෙනි, ඔබගේ අතට මාගේ ආත්මය භාරදෙමියි කීසේක. මෙසේ කියා උන්වහන්සේ ආත්මය හළසේක. 47එවිට සියයකට මුලාදෑනියා සිද්ධවූ දේ දැක දෙවියන්වහන්සේට ප්‍රශංසා කරමින්: සැබවින් මේ මනුෂ්‍යයා ධර්මිෂ්ඨයෙකැයි කීවේය. 48මේ කාරණය බලන්ට ආ සමූහයා සිද්ධවූ දේ දැක, ළය අත්ගසා ගනිමින් ආපසු ගියෝය. 49උන්වහන්සේ අඳුනන සියල්ලෝද ගලීලයේ සිට උන්වහන්සේ අනුව ආ ස්ත්‍රීහුද ඒ දේවල් බල බලා දුරින් සිටියෝය.
50බලව, මන්ත්‍රියෙක්ව, දෙවියන්වහන්සේගේ රාජ්‍යය ගැන බලාසිටියාවූ, 51ඔවුන්ගේ මන්ත්‍රණයටද ක්‍රියාවටද එකඟ නූණාවූ, සත්පුරුෂවූ, ධර්මිෂ්ඨවූ, යුදෙව්වරුන්ගේ නුවරක් වන අරිමාතියේවූ යෝසෙප් නම් මනුෂ්‍යයෙක්, 52පිලාත් ළඟට ගොස් යේසුස්වහන්සේගේ මිනිය ඉල්ලුවේය. 53ඔහු ඒක බාගෙන, සිහින් හණ රෙද්දකින් වෙළා, ඒ දක්වා කිසිවෙකු නොතැබුවාවූ ගලක කපනලද සොහොන් ගෙයක උන්වහන්සේ තැබුවේය. 54ඒ දවස සූදානම්වීමේ දවසය, සබත් දවසද ආසන්නවිය. 55ගලීලයේ සිට උන්වහන්සේ සමඟ ආවාවූ ස්ත්‍රීහු ගොස්, සොහොන් ගෙයද උන්වහන්සේගේ මිනිය තැබූ අන්දමද බලා සිටියෝය. 56ඔව්හු හැරී ඇවිත් සුගන්ධ ද්‍රව්‍යද සුවඳ තෙල්ද සූදානම්කළෝය.
ඔව්හු ආඥාව ලෙස සබත් දවසේ නිවාඩු ගත්තෝය.

Highlight

Share

Copy

None

Want to have your highlights saved across all your devices? Sign up or sign in