YouVersion Logo
Search Icon

නික්මයාම 39

39
පූජක වස්ත්‍ර සෑදීම
(නික්ම 28:1-43)
1තවද ඔව්හු නිල් පාට, දම් පාට, තද රතු පාට නූල් ගෙන ශුද්ධස්ථානයේ සේවාවන් සඳහා පූජක සේවා නිල ඇඳුම් සෑදූ හ. සමිඳාණන් වහන්සේ මෝසෙස්ට අණ දුන් පරිදි ආරොන් සඳහා ශුද්ධ වස්ත්‍ර සාදන ලදී.
2ඔහු රනින් ද නිල් පාට, දම් පාට, තද රතු පාට නූල්වලින් හා සිහින් ව කටින ලද හණවලින් ද ඒපොද් නම් සැට්ටය සෑදී ය. 3ඔව්හු රත්රන්, තුනී තහඩුවලට තළා, රන් කෙඳි කපා, ඒවායින් නිල් පාට, දම් පාට, තද රතු පාට නූල් ද සිහින් ව කටින ලද හණ ද ගෙත්තම් කොට මල් වැඩ දැමූ හ. 4ඉන්පසු ඒපොද් නම් සැට්ටය සඳහා එය යා කිරීමට උර පටි ද සාදන ලදු ව, එහි දෙකෙළවරට ඒවා සම්බන්ධ කරන ලදී. 5එය සමඟ ඒකාබද්ධ ව පවතින සේ, එය හා සමාන වූ ගොතන ලද බඳපටිය ද සමිඳාණන් වහන්සේ මෝසෙස්ට අණ දුන් පරිදි නිල් පාට, දම් පාට, තද රතු පාට නූල්වලින් හා සිහින් ව කටින ලද හණවලින් සාදන ලදී. 6ඔව්හු නඛමාණික්‍ය සාදා ඒවා රන් කෙවෙණිවලට එබ්බූ හ. මුද්‍රා කැටයම් කලාව අනුව, ඉශ්රායෙල් ජනතාවගේ නාම ඒවායේ කැටයම් කරන ලදී. 7සමිඳාණන් වහන්සේ මෝසෙස්ට අණ කළ පරිදි, ඉශ්රායෙල් ජනයා පිළිබඳ සිහිවටනයක් වන පිණිස, ඔහු ඒවා ඒපොද් නම් සැට්ටයේ උර පටිවල දැමී ය.
8ඒපොද් සැට්ටය මෙන් ම, ළය වැස්ම ද ගෙත්තම් කොට එහි මල් වැඩ දැමී ය. එය ද රනින් හා නිල් පාට, දම් පාට, තද රතු පාට නූල්වලින් හා සිහින් ව කටින ලද හණවලින් ද සාදන ලදී. 9එය චතුරස්‍රාකාර විය. දෙපටක් වන සේ එය සාදන ලදු ව එහි දිග සෙන්ටිමීටර් විසිදෙකක් ද පළල සෙන්ටිමීටර් විසිදෙකක් ද විය. 10එය මතුපිට මැණික් ගල් පේළි හතරක් බඳිනු ලැබී ය. පළමු වන පේළිය ලෝහිතංකයක් ද පුෂ්පරාගයක් ද මරකතයක් ද, 11දෙ වන පේළිය පච්ච මාණික්‍යයක් ද නීල මාණික්‍යයක් ද වජ්‍රයක් ද, 12තෙ වන පේළිය පද්මරාගයක් ද වර්ණ කාන්තියක් ද අඹතෙස් ගලක් ද 13සතර වන පේළිය රන් කාන්තියක් ද රතු කැටයක් ද සූර්ය කාන්තියක් ද විය. ඒවා රන් කෙවෙණිවල බහා තිබිණි. 14මෙසේ ඉශ්රායෙල් ජනයාගේ නාම අනුව ගල් දොළොසක් තිබිණි. මුද්‍රා කැටයම් කලාව අනුව එක් එක් ගලක ගෝත්‍ර දොළොසේ නාම එක එක බැගින් තිබිණි. 15ළය වැස්ම සඳහා තනි රනින් එකට ගෙතූ මාල සාදනු ලැබී ය. 16ඔව්හු රන් කෙවෙණි දෙකක් හා රන් මුදු දෙකක් සාදා ළය වැස්මේ දෙකෙළවරේ ඒ මුදු දෙක දැමූ හ. 17ඔව්හු ගෙතූ රන් මාල දෙක ළය වැස්මේ දෙකෙළවරේ වූ මුදු දෙකේ ඇමුණුවෝ ය. 18ගෙතූ මාල දෙකේ අනිත් දෙකෙළවරේ රන් කෙවෙණි දෙකට අමුණා ඒවා ඒපොද් සැට්ටයේ උර පටි ඉස්සරහින් තැබූ හ. 19තවද, ඔව්හු රන් මුදු දෙකක් ද සාදා, ළය වැස්මේ පහත වාටියේ දෙකෙළවරේ ඒපොද් සැට්ටය දෙසට ඇතුළු පැත්තේ ඒවා සවි කළහ. 20ඔව්හු තවත් රන් මුදු දෙකක් සාදා ඒපොද් සැට්ටයට යටින්, දෙපැත්තේ, එහි උර පටි දෙක පිට, සන්ධිය ළඟ ගොතන ලද බඳපටියට උඩින් ඒවා දැමූ හ. 21තවද, සමිඳාණන් වහන්සේ මෝසෙස්ට අණ කළ පරිදි, ළය වැස්ම, ඒපොද් සැට්ටයේ ගොතන ලද බඳපටිය මත තිබෙන පිණිසත්, එය ඒපොද් නම් සැට්ටයෙන් බුරුල් නොවී පවතින පිණිසත් එහි මුදු, ඒපොද් සැට්ටයේ මුදුවලට නිල් පැහැති පටියකින් බඳින ලදී.
22ඉන්පසු ඔව්හු ඒපොද් සැට්ටයේ සළුව මුළුමණින් ම නිල් පැහැති ලෝමවලින් සෑදූ හ. 23එහි මැද හිස දැමීමට සිදුරක් තිබූ අතර, මේ සිදුර නොඉරෙන පිණිස හම් කබායක සිදුර මෙන් එය වටේට වියන ලද වාටියක් විය. 24තවද, ඔව්හු එහි පහළ වාටිය දිගේ ම නිල් පාට, දම් පාට, තද රතු පාට නූල්වලින් ද සිහින් ව කටින ලද හණවලින් ද දෙළුම් ගෙඩි සෑදූ හ. 25ඉන්පසු ඔව්හු තනි රනින් මිණිගෙඩි සාදා, ඒ මිණිගෙඩි, සළුවේ පහළ වාටිය දිගේ ම දෙළුම් ගෙඩි අතර දැමූ හ. 26මෙලෙස සමිඳාණන් වහන්සේ මෝසෙස්ට අණ කළ පරිදි පූජක සළුවේ වාටිය දිගේ ම රන් මිණිගෙඩියක් හා දෙළුම් ගෙඩියක් බැගින් මාරුවෙන් මාරුවට තිබිණි.
27ඔව්හු ආරොන් සහ ඔහුගේ පුත්‍රයන් සඳහා සිහින් ව කටින ලද හණවලින් කබා ද 28මකුටයක් සහ හිස් වැසුම් ද කලිසම් ද 29සිහින් ව කටින ලද හණවලින් හා නිල් පාට, දම් පාට, තද රතු පාට නූල්වලින් ගොතන ලද බඳපටියක් ද සෑදූ හ. මේ සියල්ල ම සමිඳාණන් වහන්සේ මෝසෙස්ට අණ කළ පරිදි ඔව්හු ඉටු කළහ. 30පසුව ඔව්හු තනි රනින් කිරීටයේ තහඩුවක් සාදා එය මත මුද්‍රා කැටයම් කලාව අනුව “සමිඳාණන් වහන්සේට කැප ය” යන වචන කැටයම් කළහ. 31ඉන්පසු සමිඳාණන් වහන්සේ මෝසෙස්ට අණ කළ පරිදි ඔව්හු ඊට නිල් පටියක් බැඳ එයින් එය මකුටයට වෙළූහ.
කර්මාන්ත සියල්ල සම්පූර්ණ කිරීම
(නික්ම 35:10-19)
32මෙලෙස ජනතාවගේ සම්මුඛ මණ්ඩපයේ වැඩ සියල්ල නිම කරන ලදී. සමිඳාණන් වහන්සේ මෝසෙස්ට අණ කළ පරිදි ම ඉශ්රායෙල් ජනයා සියල්ල කළහ. 33ඉන්පසු ඔව්හු මෝසෙස් වෙත මණ්ඩපය ද කූඩාරම හා එහි බඩු බාහිරාදිය සියල්ල ද කොකු හා ලෑලි ද හරස් ලී හා කුලුණු ද ඒවායේ තවු ද 34රතු සායම් පෙවූ බැටළු හම් ද පදම් කළ හම් ද කඩතුරාවේ තිරය ද 35ගිවිසුම් කරඬුව හා එහි පොලු ද කරුණාසනය ද 36මේසය හා එහි උපකරණ සියල්ල ද පිදුම් පූප ද 37තනි රන් පහන් රුක හා එහි පහන් ද පිළිවෙළට තබන පහන් හා එහි උපකරණ සියල්ල ද පහන දැල්වීමට තෙල ද 38රන් පූජාසනය ද ආලේප තෛලය හා සුවඳ ද්‍රව්‍ය ද මණ්ඩපයේ දොරටුවට කඩතුරාව ද 39ලෝකඩ පූජාසනය ද එහි ලෝකඩ මැස්ස ද එහි පොලු හා එහි සියලු උපකරණ ද වතුර භාජනය හා එහි අඩිය ද 40මළුවේ තිර හා කුලුණු ද ඒවායේ තවු ද මළුවේ දොරටුවට සැදූ කඩතුරාව ද එහි ලණු හා කූඤ්ඤ ද මණ්ඩපයේ හා සම්මුඛ මණ්ඩපයේ සේවාවන් සඳහා වූ උපකරණ සියල්ල ද 41ශුද්ධස්ථානයේ සේවාව සඳහා සියුම් ව වියන ලද සේවා පිළි ද පූජක නිලයේ සේවා කිරීමට අවශ්‍ය වන පූජක ආරොන්ගේ ශුද්ධ වස්ත්‍ර හා ඔහුගේ පුත්‍රයන්ගේ වස්ත්‍ර ද ගෙනාහ. 42සමිඳාණන් වහන්සේ මෝසෙස්ට අණ කළ පරිදි ම ඉශ්රායෙල් ජනයා සියල්ල ඉටු කළහ. 43මෝසෙස් කර්මාන්ත සියල්ල නැරඹුව විට සමිඳාණන් වහන්සේ අණ කළ ප්‍රකාර ම ඔවුන් සියල්ල ම ඉටු කර තිබෙන බව දැක ඔහු ඔවුන්ට ආශීර්වාද කෙළේ ය.

Highlight

Share

Copy

None

Want to have your highlights saved across all your devices? Sign up or sign in