YouVersion Logo
Search Icon

නික්මයාම 9

9
පස් වන වසංගතය: ගවසම්පත් වැනසීම
1සමිඳාණන් වහන්සේ මෝසෙස්ට කතා කොට, “පාරාවෝ වෙත ගොස් ඔහු අමතා, ‘හෙබ්‍රෙව්වරුන්ගේ දෙවි සමිඳාණන් වහන්සේගේ පණිවුඩය මේ ය’යි කියන්න, ‘මා හට නමස්කාර කරන පිණිස යන්නට මාගේ සෙනඟට අවසර දෙන්න. 2ඔබ ඔවුන්ට යන්න අවසර නො දී, තවදුරටත් ඔවුන් වැළැකුවහොත් 3මෙන්න, කෙතෙහි සිටින ඔබේ ගවසම්පත් වන, අසුන්ට හා කොටළුවන්ට ද, ඔටුවන්ට හා ගොනුන්ට ද, බැටළුවන්ට ද, සමිඳාණන් වහන්සේගේ හස්තය ඉතා බිහිසුණු වසංගතයකින් පහර දෙන්නේ ය. 4එහෙත් සමිඳාණන් වහන්සේ වන මම ඉශ්රායෙල් ජනයාගේ ගවයන් හා මිසර වාසීන්ගේ ගවයන් අතර වෙනසක් දක්වන්නෙමි. ඉශ්රායෙල් ජනයා සතු මුළු ගවසම්පතින් එක සතෙක් වත් නොමැරෙන්නේ ය. 5තවද, උන් වහන්සේ වේලාවක් ද නියම කරමින්, ‘හෙට සමිඳාණන් වහන්සේ මේ දේ මේ රටේ ඉටු කරනු ඇතැ’ ”යි වදාළ සේක. 6පසුදින උන් වහන්සේ එලෙස කළ සේක. එවිට මිසරයේ ගවසම්පත මුළුමනින් ම වැනසිණි. එහෙත්, ඉශ්රායෙල් ජනයාගේ ගවසම්පතින් එකෙක් වත් නොමළේ ය. 7පාරාවෝ පණිවුඩකාරයන් යැවූ විට ඉශ්රායෙල් ජනයාගේ ගවසම්පතින් එකෙකු වත් නොමළ බව දිටී ය. එහෙත්, ඔහුගේ සිත දැඩි වූයෙන් ඔහු සෙනඟට යන්න අවසර නුදුන්නේ ය.
සය වන වසංගතය: ගඩු උවදුර
8සමිඳාණන් වහන්සේ මෝසෙස්ට හා ආරොන්ට කතා කොට, “උදුනින් අළු අහුරක් ගන්න. පාරාවෝ බලා සිටිය දී මෝසෙස් ඒවා අහසට විසි කළ යුතු ය. 9එවිට ඒවා මුළු මිසර දේශය පුරා සිහින් ධූලි වී, මුළු මිසර දේශයේ සිටින මිනිසුන් හා මෘගයන් මත වණ සහිත ගඩු ඇති කරන්නේ ය”යි වදාළ සේක. 10#එළිද 16:2ඔව්හු උදුනින් අළු ගෙන පාරාවෝ ඉදිරිපිට සිට ගත්හ. එවිට මෝසෙස් අහස දෙසට එය විසි කළ විට, එය මිනිසුන් හා මෘගයන් මත වණ සහිත ගඩු ඇති කෙළේ ය. 11එවිට ගඩු නිසා ඉන්ද්‍රජාලිකයන්ට මෝසෙස් ඉදිරිපිට සිටින්න නොහැකි විය. මන්ද, ඉන්ද්‍රජාලිකයන් හා මිසර වාසීන් සියල්ලන් මත ගඩු හට ගැනිණි. 12එහෙත්, සමිඳාණන් වහන්සේ පාරාවෝගේ සිත දැඩි කළ සේක. උන් වහන්සේ මෝසෙස්ට වදාළ පරිදි ඔහු ඔවුන් කී දේ සැලකුවේ නැත.
සත් වන වසංගතය: ගල් වර්ෂා උවදුර
13සමිඳාණන් වහන්සේ මෝසෙස්ට කතා කොට, “අලුයම නැඟිට පාරාවෝ ඉදිරියට ගොස් ඔහු අමතා, ‘හෙබ්‍රෙව්වරුන්ගේ දෙවි සමිඳාණන් වහන්සේගේ පණිවුඩය මේ ය’යි කියන්න. එනම්, ‘මා හට නමස්කාර කරන පිණිස යන්නට මාගේ සෙනඟට අවසර දෙන්න. 14ඒ මන්ද, මම මේ වතාවේ ඔබ පිට ද ඔබේ නිලධාරීන් හා සෙනඟ පිට ද වසංගත සියල්ල ම එවන්නෙමි. එවිට මුළු මිහි පිට මා වැනි අන් කෙනෙකු නැති බව ඔබ දැනගන්නෙහි ය. 15මම අත දිගු කොට ඔබට ද ඔබේ සෙනඟට ද ලෙඩ රෝගවලින් පහර දුනිම් නම් ඔබ පොළොවෙන් තුරන් වී යන්නට ඉඩ තිබිණි. 16#රෝම 9:17එහෙත්, ඔබට මාගේ බලපරාක්‍රමය පෙන්වන පිණිසත්, මාගේ නාමය මුළු ලෝකය පුරා ප්‍රකාශ වන පිණිසත් ඔබට ජීවත් වන්නට ඉඩ හැරියෙමි. 17එහෙත්, ඔබ තවමත් මාගේ සෙනඟට විරුද්ධ ව අහංකාරකම් පාමින්, ඔවුන්ට යන්න අවසර නොදෙන්නෙහි ය. 18බලන්න, හෙට මේ වේලාවට පමණ, මිසරයේ ආරම්භයේ සිට අද දක්වා, එහි නුවූ විරූ, ඉතා දරුණු ගල් වර්ෂාවක් මම වස්වන්නෙමි. 19එබැවින් දැන් ඉතින් පණිවුඩ යවා කෙත්වල සිටින ගවසම්පතට හා නුඹ සතු සියල්ලට ආරක්ෂා සලසන්න. ගෙට නොගෙන්වාගෙන, කෙත්වල සිටින සියලු මිනිසුන් හා සතුන් පිට ගල් වැස්ස වැටේ. ඔව්හු නසින්නෝ ය’ ”යි වදාළ සේක. 20පාරාවෝගේ නිලධාරීන් අතර සමිඳාණන් වහන්සේගේ වචනයට බිය වූ සමහරෙක් තමන්ගේ වහලුන් හා ගවසම්පත ගෙවලට ගත්හ. 21එහෙත්, සමිඳාණන් වහන්සේගේ වචනය නොතැකූ අය තම වහලුන් හා ගවසම්පත කෙත්වල ම සිටින්නට හැරියෝ ය.
22එවිට සමිඳාණන් වහන්සේ මෝසෙස්ට කතා කොට, “මුළු මිසර දේශය පුරා ගල් වර්ෂාව වැස, මුළු මිසර දේශයෙහි සිටින මිනිසුන් හා මෘගයන් ද කෙතෙහි සෑම පැළෑටි ද මත එය වැටෙන පිණිස, ඔබේ අත අහස දෙසට දිගු කරන්නැ”යි වදාළ සේක. 23ඔහු තම සැරයටිය අහස දෙසට දිගු කළ විට, සමිඳාණන් වහන්සේ මේඝ ගර්ජනා ද, ගල් වර්ෂා ද එවූ සේක. පොළොව මත ගිනි පතිත විය. මුළු මිසර දේශයට ම උන් වහන්සේ ගල් වර්ෂාව වැටෙන්නට සැලැසූ සේක. 24#එළිද 8:7; 16:21මෙලෙස ඉතා වේගවත් ලෙස ගල් වර්ෂා ද ගල් වර්ෂා සමඟ විදුලි කෙටීම් ද විය. මෙවැන්නක් මුළු මිසර දේශය පුරා එම රට ජාතියක් වූ දින සිට කවදා වත් සිදු නොවිණි. 25ගල් වර්ෂාව මුළු මිසර දේශය පුරා කෙතේ සිටි සියලු මිනිසුන්ට හා මෘගයන්ට පහර දුනි. තවද එය, කෙතෙහි වූ පැළෑටි සියල්ලට ද පහර දෙමින් එහි වූ ගස් සියල්ල ද බිඳදැමී ය. 26එහෙත්, ඉශ්රායෙල් ජනයා විසූ ගෝෂෙන් දේශයෙහි පමණක් ගල් වර්ෂාව නො වී ය.
27එවිට පාරාවෝ පණිවුඩ යවා මෝසෙස් හා ආරොන් කැඳවා, ඔවුන්ට කතා කොට, “මෙවර මම පව් කෙළෙමි; සමිඳාණන් වහන්සේ කළ දේ හරි ය; මාගේ සෙනඟත්, මාත් කළ දේ වැරදි ය. 28අහස් ගිගුරුම සහ ගල් වර්ෂාව නවත්වන ලෙස සමිඳාණන් වහන්සේට යාච්ඤා කරන්න. මම ද නුඹලාට යන්න අවසර දෙමි. නුඹලා තවත් මෙහි නැවතීම උවමනා නැතැ”යි කී ය. 29මෝසෙස් ඔහුට උත්තර දෙමින්, “මම නුවරින් පිටත ගිය කෙණෙහි ම සමිඳාණන් වහන්සේ වෙත මාගේ අත ඔසවමි. මිහිතලය සමිඳාණන් වහන්සේට අයිති බව දැනගනු පිණිස, අහස් ගිගුරුම් නවතිනු ඇත. ගල් වර්ෂා ද තවත් ඇති නොවේ. 30එහෙත්, ඔබත් ඔබේ නිලධාරීනුත් තව ම දෙවි සමිඳාණන් වහන්සේට බිය නොවන බව මම දනිමි”යි කීවේ ය.
31එවකට යව පැසෙමින් තිබුණු නිසාත්, හණ පීදෙමින් තිබුණු නිසාත් හණ සහ යව වැනසිණි. 32එහෙත් තිරිඟු හා තණහාල් පමා වී පීදෙන බැවින් ඒවා නොවැනසිණි.
33මෝසෙස්, පාරාවෝ වෙතින් අහක් වී නුවරින් පිටත ගොස් සමිඳාණන් වහන්සේ වෙත අත් එසවී ය. මේඝ ගර්ජනා හා ගල් වර්ෂා නැවතිණි. වැස්ස ද පොළොව මත නොවැටිණි. 34වැස්සත්, ගල් වර්ෂාවත්, මේඝ ගර්ජනාවත් නැවතුණු බව පාරාවෝ දුටු කල ඔහු නැවත පව් කෙළෙන්, ඔහු ද නිලධාරීහු ද තම සිත් දැඩි කොටගත්හ. 35පාරාවෝගේ සිත දැඩි විය. සමිඳාණන් වහන්සේ මෝසෙස්ට වදාළ පරිදි ඔහු ඉශ්රායෙල් ජනයාට යන්න අවසර නුදුන්නේ ය.

Highlight

Share

Copy

None

Want to have your highlights saved across all your devices? Sign up or sign in