YouVersion Logo
Search Icon

ලෙවී ව්‍යවස්ථාව 9

9
ආරොන් පූජා ඔප්පු කිරීම
1අට වන දින මෝසෙස්, ආරොන් සහ ඔහුගේ පුත්‍රයන් ද ඉශ්රායෙල්වරුන්ගේ ප්‍රජා මූලිකයන් ද කැඳවී ය. 2ඔහු ආරොන්ට කතා කොට, “පාප පූජාවක් සඳහා නොකැළැල් ගොන් වස්සෙකු ද දවන යාග පූජාවක් සඳහා නොකැළැල් බැටළුවෙකු ද ගෙන සමිඳාණන් වහන්සේ ඉදිරියෙහි ඔප්පු කරන්න. 3තවද, ඔබ ඉශ්රායෙල් ජනයාට කතා කොට, ‘පාප පූජාවක් සඳහා නොකැළැල් එළුවෙකු ද දවන යාග පූජාවක් සඳහා අවුරුද්දක් වයසැති නොකැළැල් වස්සෙකු හා බැටළුවෙකු ද 4සහභාගිකමේ පූජාවක් සඳහා ගවයෙකු හා බැටළුවෙකු ද ගන්න. මේ සියල්ල ම තෙල් මිශ්‍ර ධාන්‍ය පූජාවක් සමඟ සමිඳාණන් වහන්සේට පිදිය යුතු ය’යි කියන්න. ඒ මන්ද, අද සමිඳාණන් වහන්සේ ඔබ හැමට දර්ශනය වන සේකැ”යි කීවේ ය.
5මෝසෙස් අණ කළ දේ ඔව්හු සම්මුඛ මණ්ඩපය ඉදිරිපිටට ගෙනා හ. මුළු ජනතාව ම ළං වී සමිඳාණන් වහන්සේ ඉදිරිපිට සිටගත්හ. 6එවිට මෝසෙස් කතා කොට, “සමිඳාණන් වහන්සේගේ මහිමාලංකාරය ඔබ ඉදිරියෙහි දර්ශනය වන පිණිස කරන්නට උන් වහන්සේ ඔබට අණ කළ දේ මේ ය”යි කී ය. 7#හෙබ්‍රෙ 7:27ඉන්පසු ඔහු ආරොන් අමතා, “පූජාසනයට ළඟා වී, ඔබ උදෙසා ද සෙනඟ උදෙසා ද පව් කමාව අයැදිමින් ඔබේ පාප පූජාව සහ දවන යාග පූජාව පුදන්න. සමිඳාණන් වහන්සේ අණ කළ පරිදි සෙනඟගේ පූජා පුදා ඔවුන් උදෙසා පව් කමාව අයැදින්නැ”යි කීවේ ය.
8ආරොන් ද එවිට පූජාසනයට ළඟා වී තමාගේ පාප උදෙසා පාප පූජාවේ වස්සා මැරී ය. 9ආරොන්ගේ පුත්‍රයන් ද වස්සාගේ ලෙය ඔහු වෙත ගෙනා විට, ඔහු එහි තම ඇඟිල්ල ගල්වා පූජාසනයේ අං පිට තවරා, ඉතිරි ලෙය පූජාසනයේ පාමුල වත් කෙළේ ය. 10එහෙත්, පාප පූජාවට පිදූ සතාගේ තෙල ද වකුගඩු ද අක්මාව මත තිබූ සිවිය ද සමිඳාණන් වහන්සේ මෝසෙස්ට අණ කළ පරිදි ඔහු පූජාසනය මත දැවී ය. 11එහෙත්, වස්සාගේ මාංසය සහ හම කඳවුරෙන් පිටත ගින්නේ දැවී ය.
12ඉන්පසු ආරොන් දවන යාග පූජාවේ සතා ද මැරූ විට, ඔහුගේ පුත්‍රයන් ඔහුට උගේ ලේ දුන් පසු, ඔහු ද පූජාසනය වටා හාත්පසින් එය ඉස්සේ ය. 13එවිට ඔවුන් දවන යාග පූජාව හිසත් ඇතුළු ව කොටස් වශයෙන් දුන් කල, ඔහු ඒවා පූජාසනය මත දැවී ය. 14ඉන්පසු ඔහු ඒ සතාගේ අතුණු සහ කකුල් සෝදා පූජාසනයේ දවන යාග පූජාව මත ඒවා දැවී ය.
15ඉක්බිති ඔහු සෙනඟගේ පූජා පිළිගන්වමින්, සෙනඟගේ පාප පූජාව වන එළුවා ගෙන, ඌ මරා, කලින් කළ පාප පූජාව මෙන් එය පුද කෙළේ ය. 16එවිට දවන යාග පූජාව ද ගෙන, නියම පිළිවෙත අනුව ඔහු එය ද පුද කෙළේ ය. 17ඉන්පසු ඔහු ධාන්‍ය පූජාව පිළිගන්වමින් එයින් පුරා අහුරක් රැගෙන උදය කාලයේ පිදූ දවන යාග පූජාවට අමතර ව එය පූජාසනය මත දැවී ය. 18#ලෙවී 3:1-11පසුව ඔහු සෙනඟ උදෙසා වූ සහභාගිකමේ පූජාව වන ගවයා සහ බැටළුවා ද මැරී ය. ආරොන්ගේ පුත්‍රයන් ඔහුට උන්ගේ ලේ පිළිගැන්වූ විට ඔහු එය පූජාසනය පිට හාත්පසින් ඉස්සේ ය. 19ගවයාගේ හා බැටළුවාගේ තෙල ද එනම්, වල්ගා ද අතුණු වැසි තෙල ද වකුගඩු ද අක්මාව පිට ඇති සිවිය ද ගෙන 20ඒ සියල්ල ළපැත්ත උඩ තබා පූජාසනය මත ඒ තෙල දැවී ය. 21පසුව මෝසෙස්ට අණ කළ පරිදි ඔහු ළපැත්ත සහ දකුණු ගාතය ගෙන සමිඳාණන් වහන්සේ ඉදිරියෙහි පිළිගැන්වීමේ පිළිවෙත ඉටු කෙළේ ය.
22 # ගණන් 6:22-26 ඉන්පසු ආරොන් සෙනඟ දෙසට තම අත ඔසවා ඔවුන්ට ආශීර්වාද කොට පාප පූජාව, දවන යාග පූජාව සහ සහභාගිකමේ පූජාව පුදා එම ස්ථානයෙන් බැස ආවේ ය. 23මෝසෙස් ද ආරොන් ද සම්මුඛ මණ්ඩපයට ඇතුළු වී පිටතට අවුත් සෙනඟට ආශීර්වාද කළහ. එවිට සමිඳාණන් වහන්සේගේ මහිමාලංකාරය ද සියලු සෙනඟට දර්ශනය විය. 24සමිඳාණන් වහන්සේ ඉදිරියෙන් ගින්නක් නික්ම පූජාසනය මත වූ දවන යාග පූජාව සහ තෙල දවා හැරියේ ය. මෙය දුටු සියලු සෙනඟ හඬ නඟා මුණින්තළා වැටුණා හ.

Highlight

Share

Copy

None

Want to have your highlights saved across all your devices? Sign up or sign in