YouVersion Logo
Search Icon

ශුද්ධවර ලූක් 10

10
සැත්තෑ දෙනාගේ ධර්මදූත මෙ‍හෙය
1ඉන්පසු සමිඳාණන් වහන්සේ තවත් සැත්තෑ#10:1 සමහර පිටපත්වල සෑත්තෑ දෙදෙනා යැයි සඳහන් වේ. දෙනෙකු පත් කොට තමන් යන්න අදහස් කළ සියලු නගර හා පෙදෙස්වලට ඔවුන් දෙදෙනා බැගින් තමන්ට කලින් යැවූ සේක. 2#මතෙ 9:37-38 උන් වහන්සේ ඔවුන්ට මෙ‍සේ වදාළ සේක: “ගොයම නම් බහුල ය. ගොවීහු විරල ය. එබැවින් ගොයම් කැපීමට මෙ‍හෙකරුවන් එවන මෙ‍න් ගොයමේ හිමියාණන්ට යාච්ඤා කරන්න. 3#මතෙ 10:16 ඉතින් යන්න. වගවලසුන් මැදට බැටළු පැටවුන් යවන්නාක් මෙ‍න් මම ඔබ යවමි. 4#මතෙ 10:7-14; මාක් 6:8-11; ලූක් 9:3-5 පසුම්බියක් හෝ මල්ලක් හෝ පා වහන් හෝ නොගෙන යන්න. මඟ දී ආචාර කිරීම් සඳහා පමා නොවන්න. 5ඔබ යම් ගෙදරකට ඇතුළු වූ කල, පළමුකොට ‘මේ ගෙදරට සාමය වේ වා!’යි පතන්න. 6සාමය ලබන්නට සුදුසු කෙනෙක් එහි සිටිත් නම් ඔබගේ සාම පැතුම ඔහු පිට රැඳෙනු ඇත. නැතහොත් එය ඔබ වෙත පෙරළා එනු ඇත. 7#1 කොරි 9:14; 1 තිමෝ 5:18 ඔවුන් දෙන දෙය කමින් බොමින් ඒ ගෙදර ම නැවතී සිටින්න. මන්ද, මෙ‍හෙකරුවා සිය වේතනය ලැබිය යුතු ය; ගෙදරින් ගෙදරට නොයන්න. 8ඔබ යම් නුවරකට ඇතුළු වූ කල ඔවුන් ඔබ පිළිගත්තොත්, ඔබ ඉදිරියෙහි තබන දේ වළඳන්න. 9එහි සිටින රෝගීන් සුව කරන්න. ‘දෙවියන් වහන්සේගේ රාජ්‍යය ඔබ වෙත පැමිණියේ ය’යි ඔවුන්ට ප්‍රකාශ කරන්න. 10#ක්‍රියා 13:51 එහෙත් යම් නුවරකට ඇතුළු වූ කල ඔවුන් ඔබ නොපිළිගත්තොත්, ඒ නුවර වීදිවලට ගොස්, 11‘අපේ පාදවල වැකුණු මේ නුවර දූවිලි පවා ඔබට විරුද්ධ ව අපි ගසා දමමු; ඒ කෙසේ වුවත් දෙවියන් වහන්සේගේ රාජ්‍යය ළං ව ඇති බව දැනගන්නැ’යි කියන්න. 12#උත් 19:24-28; මතෙ 10:15; 11:24 මෙ‍ය මම ඔබට කියමි, ඒ දවසේ දී ඒ නුවරට වඩා සොදොමට සහනය ඇති වන්නේ ය.”
පසුතැවී සිත් හරවා නොගත් නුවරවලට විපත්
(මතෙ 11:20-24)
13 # යෙසා 23:1-18; එසකි 26:1; 28:26; ජෝවෙ 3:4-8; ආමො 1:9-10; සෙකරි 9:2-4 “එම්බා කොරාශීනය, ඔබට වන විපතක මහත! එම්බා බෙත්සයිදාව, ඔබට වන විපතක මහත! ඔබ තුළ කළ ප්‍රබල ක්‍රියා තීර්හි හා සීදොන්හි කළා නම්, මීට කලින් ගෝනි රෙදි හැඳ අළු තවරා ගෙන පසුතැවී සිත් හරවා ගැනීමට ඔවුන්ට ඉඩ තිබිණි. 14එසේ වුව ද දේව විනිශ්චය දවසේ දී ඔබට වඩා තීර්ට හා සීදොනට සහනය ලැබෙන්නේ ය. 15#යෙසා 14:13-15 එම්බා කපර්ණවුම, ඔබ සගලොව දක්වා උසස් කරනු ලබන්නෙහි ද? නැත, පාතාලය දක්වා පහත හෙළනු ලබන්නෙහි ය. 16#මතෙ 10:40; මාක් 9:37; ලූක් 9:48; ජොහ 13:20 ඔබගේ වචන අසන්නා මාගේ වචන අසයි; ඔබ ප්‍රතික්ෂේප කරන්නා මා ප්‍රතික්ෂේප කරයි; මා ප්‍රතික්ෂේප කරන්නා මා එවූ තැනැන් වහන්සේ ප්‍රතික්ෂේප කරන්නේ ය.”
සැත්තෑ දෙනා හැරී ඊම
17ඉන්පසු සැත්තෑ#10:17 සමහර පිටපත්වල සැත්තෑ දෙදෙනා යැයි සඳහන් වේ. දෙනා ප්‍රීතියෙන් හැරී අවුත්, “ස්වාමීනි, ඔබගේ නාමයේ අනුහසින් දුෂ්ටාත්මයෝ පවා අපට අවනත වෙති”යි කී හ. 18උන් වහන්සේ ඔවුන්ට කතා කොට, “සාතන් විදුලියක් මෙ‍න් අහසින් වැටෙනු දිටිමි. 19#ගීතා 91:13 බලන්න, සර්පයන් ද ගෝනුස්සන් ද පාගන්ටත්, සතුරාගේ මුළු ශක්තිය මැඬලන්ටත් මා ඔබට බලය පවරා ඇත; කිසිවකින් ඔබට අනතුරක් නොවෙයි. 20එසේ වුව ද අශුද්ධාත්මයන් ඔබට යටත් වන නිසා සන්තෝෂ නොවන්න; ඔබගේ නාම ස්වර්ගයෙහි ලියා ඇති නිසා සන්තෝෂ වන්නැ”යි වදාළ සේක.
දේවානාවරණය ගැන ජේසුස් වහන්සේගේ තුති පිදුම
(මතෙ 11:25-27; 13:16-17)
21ඒ පැයේ දී ම උන් වහන්සේ ශුද්ධාත්මයෙන් පූර්ණ වී උදන් අනමින්, “ස්වර්ගයටත් පොළොවටත් අධිපති වූ පියාණෙනි, ඔබ මේ දේවල් පැණවතුන් හා නැණවතුන් කෙරෙන් ආවරණය කොට බාලයන්ට අනාවරණය කළ බැවින් ඔබට තුති පුදමි. එසේය පියාණෙනි, ඔබට ප්‍රිය මනාප වූයේත් එය ම ය. 22#ජොහ 3:35; 10:15 මාගේ පියාණන් වහන්සේ සියල්ල ම මට පවරා දී තිබේ. පුත්‍රයාණෝ කවරෙක් දැ යි පියාණන් වහන්සේ හැර අන් කිසිවෙක් නොදනිති. එසේ ම පුත්‍රයාණනුත්, පුත්‍රයාණන් විසින් පියාණන් වහන්සේ එළිදරව් කිරීමට තෝරාගනු ලැබූ අයත් හැර අන් කිසිවෙක් පියාණන් වහන්සේ කවරෙක් දැ යි නොදනිති”යි වදාළ සේක. 23එවිට උන් වහන්සේ ශ්‍රාවකයන් සමඟ තනියම සිටිය දී ඔවුන්ට කතා කොට, “ඔබ නරඹන දේ දකින ඇස් භාග්‍යවන්ත ය. 24මෙ‍ය මම ඔබට කියමි, ඔබ දකින දේ දකින්ටත්, ඔබ අසන දේ අසන්ටත් බොහෝ දිවැසිවරු ද රජවරු ද අපේක්ෂාවෙන් සිටියහ. එහෙත් ඔවුන් එය දුටුවේ වත් නැත, ඇසුවේ වත් නැතැ”යි වදාළ සේක.
යහපත් සමාරියයා
25 # මතෙ 22:35-40; මාක් 12:28-34 එක්තරා විනයධරයෙක් නැඟිට, උන් වහන්සේ පරීක්ෂා කරමින් “ගුරුදේවයෙනි, සදාතන ජීවනය හිමි කරගනු සඳහා මා කුමක් කටයුතු දැ”යි ඇසී ය. 26උන් වහන්සේ ද ඔහුට පිළිතුරු දෙමින්, “ව්‍යවස්ථාවලියෙහි ලියා ඇත්තේ කිමෙ‍ක් ද? ඔබ එය තේරුම්ගන්නේ කෙසේ දැ”යි ඇසූ සේක. 27#ලෙවී 19:18; ද්වි.නී. 6:5 ඔහු උත්තර දෙමින්, “නුඹේ මුළු හෘදයෙන් ද නුඹේ මුළු ආත්මයෙන් ද නුඹේ මුළු වීර්යයෙන් ද නුඹේ මුළු බුද්ධියෙන් ද නුඹේ දෙවි වූ සමිඳාණන් වහන්සේටත්, නුඹ නුඹට ප්‍රේම කරන්නාක් මෙ‍න් නුඹේ අසල්වැසියාටත් ප්‍රේම කරන්න යනුයි” කී ය. 28#ලෙවී 18:5 උන් වහන්සේ, “ඔබේ උත්තරය හරි ය. එසේ කරන්න, එවිට ඔබ ජීවත් වන්නෙහි ය”යි ඔහුට වදාළ සේක. 29එහෙත් ඔහු තමන් නිවැරදි බව දක්වන්ට කැමැති ව “මාගේ අසල්වැසියා කවරෙක් දැ”යි ජේසුස් වහන්සේගෙන් ප්‍රශ්න කෙළේ ය.
30ජේසුස් වහන්සේ පිළිතුරු දෙමින් මෙ‍සේ වදාළ සේක: “එක් මිනිසෙක් ජෙරුසලමෙන් ජෙරිකෝව බලා යද්දී, සොර මුළකට අසුවිය; සොරු ඔහුගේ වස්ත්‍ර පැහැරගෙන, ඔහුට තළා පෙළා, ඔහු අඩ පණ කොට දමා යන්නට ගියහ. 31ඒ අතර එක් පූජකයෙක් අහම්බෙන් ඒ මඟ යනුයේ, ඔහු දැක පාරේ අනෙක් පැත්තෙන් ගියේ ය. 32එසේ ම ලෙවීයයෙක් ද, එතැනට පැමිණ ඔහු දැක පාරේ අනෙක් පැත්තෙන් ගියේ ය. 33#2 වංශා 28:15එහෙත්, ඒ මඟින් ගමන්ගත් එක් සමාරිය ජාතික මිනිසෙක් ඔහු හුන් තැනට අවුත්, ඔහු දැක, අනුකම්පා උපදවා, 34ඔහු වෙතට ගොස්, තෙල් හා මිදියුස ගල්වා, තුවාළ බැඳ, තමාගේ ම මෘගයා පිට හිඳුවා, තානායමට ගෙන ගොස් ඔහු බලාගත්තේ ය. 35පසුවදා ඔහු රිදී කාසි දෙකක් ගෙන තානායම්කාරයාට දී, ‘මොහු බලාගන්න; මෙ‍යට වැඩියෙන් ඔබ වියදම් කරන යම් තරමක් ඇද්ද, නැවත ආ විට මම එය ඔබට ගෙවන්නෙමි’යි කී ය. 36ඉදින් සොරුන් අතට අසුවූ ඒ තැනැත්තාට මෙ‍කී තිදෙනාගෙන් අසල්වැසියා වූයේ කවරෙක් ද කියා ඔබ සිතන්නෙහි ද? 37“ඔහුට දයාව දැක්වූ තැනැත්තා ය”යි විනයධරයා කී ය. “ඔබත් ගොස් එසේ ම කරන්නැ”යි ජේසුස් වහන්සේ ඔහුට වදාළ සේක.
මාර්තා සහ මරියා
38 # ජොහ 11:1 තවද ජේසුස් වහන්සේ සිය ශ්‍රාවකයන් සමඟ යද්දී, උන් වහන්සේ එක් ගමකට ඇතුළු වූ සේක. එවිට මාර්තා නම් එක් ස්ත්‍රියක් සිය නිවසට උන් වහන්සේ පිළිගත්තා ය. 39ඇයට මරියා නම් සහෝදරියක් වූවා ය. ඈ සමිඳාණන් වහන්සේගේ පාමුල හිඳ උන් වහන්සේගේ ඉගැන්වීමට සවන් දුන්නා ය. 40එහෙත් මාර්තා සත්කාර කටයුතු වැඩි වීමෙ‍න් කරදර වී සිටියා ය. ඈ උන් වහන්සේ වෙතට පැමිණ, “ස්වාමීනි, මාගේ සහෝදරිය පැත්තකට වී සත්කාර කටයුතු මා පිට ම පවරා සිටින හැටි ඔබ සලකන්නේ නැද් ද? එබැවින් මට උදව් කරන්නට ඈට කිව මැනවැ”යි කීවා ය. 41එහෙත් සමිඳාණන් වහන්සේ උත්තර දෙමින්, “මාර්තා, මාර්තා, ඔබ බොහෝ දේ ගැන කරදර වෙමින් නළංගු වන්නෙහි ය. 42එහෙත් අවශ්‍ය එක දෙයකි. මරියා යහපත් දෙය තෝරාගෙන ඇත; එය ඈ කෙරෙන් පැහැරගනු නොලැබේ ය”යි වදාළ සේක.

Highlight

Share

Copy

None

Want to have your highlights saved across all your devices? Sign up or sign in