YouVersion Logo
Search Icon

යොහන් 4

4
සමාරීය ස්ත්‍රිය සමඟ සංවාදය
1යේසුස්වහන්සේ යොහන්ට වඩා ගෝලයින් දිනා බව්තීස්ම කරතියි පරිසිවරුන්ට සැල විය. 2(එහෙත් ඇත්තෙන්ම බව්තීස්ම කළෝ යේසුස්වහන්සේ නො ව ගෝලයෝ ය.) 3උන්වහන්සේ ඒ වග දැන, යුදයෙන් පිට වී, යළි ගලීලයට ගිය සේක.
4ඒ ගමන යා යුතු වූයේ සමාරිය මැදිනි. 5යාකොබ් සිය පුත් යෝසෙප්ට දුන් බිම් කොටස අසල පිහිටි සිකාර් නම් සමාරි නගරයට උන්වහන්සේ පැමිණි සේක. 6යාකොබ්ගේ ළිඳ එහි විය; ගමනින් විඩාවට පත්ව සිටි යේසුස්වහන්සේ ළිඳ අසල හිඳගත් සේක. ඒ හයවන පැය#4:6 එය මධ්‍යාහ්න දොළහ පමණ පමණ විය.
7සමාරියේ ස්ත්‍රියක් දිය අදින්නට එහි ආවා ය. ඈ ඇමතූ යේසුස්වහන්සේ, “මට බොන්නට දෙන්නැ” යි කී සේක. 8උන්වහන්සේගේ ගෝලයෝ කෑම ගෙනෙන්නට කඩ මණ්ඩියට ගොස් සිටියහ.
9එවිට සමාරීය ස්ත්‍රිය, “යුදෙව්වකු වූ ඔබ, සමාරීය ළඳක් වන මගෙන් වතුර ඉල්ලන්නේ කොහොම දැ?” යි උන්වහන්සේගෙන් ඇසුවා ය. (ඒ, එකල යුදෙව්වන්, සමාරියයන් හා ඇයි-හොඳයියක් නො පැවැත්වූ බැවිනි.)
10යේසුස්වහන්සේ ඇය අමතමින්, “දෙවියන්වහන්සේ ඔබට පිළිගන්වන දීමනාව කුමක් ද කියාත්, ඔබෙන් දිය ඉල්ලන්නේ කවුරුන් ද කියාත් ඔබ දැන සිටියා නම්, ඔහුගෙන් ඉල්ලන්නේ ඔබයි. එවිට ඔහු ඔබට ජීවන දිය දෙන්නට තිබුණා” යි කී සේක.
11එකල ඈ, “මහත්මයා, කෝ! දිය අදින්නට කිසිවක් ඔබට නැහැ; ළිඳත් ගැඹුරුයි; ඒ ජීවන දිය ඔබ ලබා ගන්නේ කොහෙන් ද? 12අපේ ආදි පියා වූ යාකොබ්ටත් වඩා ඔබ ශ්‍රේෂ්ඨ ද? මේ ළිඳ අපට දුන්නේ ඔහුයි; ඔහුත් මෙයින් බීවා; ඔහුගේ පුත්‍රයිනුත්, ගව, එළු, බැටළු රංචුත් මෙයින් බීවා” යි කීවා ය.
13යේසුස්වහන්සේ පිළිතුරු දෙමින්, “මේ වතුර බොන හැම කෙනකුට නැවත පිපාස දැනේ; 14එනමුත්, මා දෙන දිය බොන කෙනකුට නැවත පිපාසය ඇති නො වේ. මා දෙන දිය බොන ඇත්තන් තුළ සදාතන ජීවන උල්පත් මැවෙන්නේ යැ” යි පැවසූ සේක.
15එවිට ඕ “අනේ මටත් ඒ වතුර දෙන්න; එවිට ආයෙත් මට පිපාස වන්නේවත්, දිය අදින්නට මෙහි එන්නට වන්නේවත් නෑ” යි උන්වහන්සේට කීවා ය.
16“ගොසින් ඔබේ ස්වාමි පුරුෂයා කැඳවාගෙන මෙහෙ එන්නැ” යි යේසුස්වහන්සේ කී කල,
17“මට ස්වාමි පුරුෂයකු නැතැ” යි ඕ කීවා ය.
එවිට යේසුස්වහන්සේ, “ඔබට ස්වාමි පුරුෂයකු නැති වග ඔබ කීවා හරි; 18ඇත්ත නම් ඔබට ස්වාමි පුරුෂයන් පස්දෙනකුම සිටියා; දැන් ඔබ සමඟ සිටින තැනැත්තා ඔබේ ස්වාමි පුරුෂයා නො වේ; ඔබ කී දේ ඇත්තයි” කී සේක.
19එවිට උන්වහන්සේ ඇමතූ ඇය, “මහත්මයාණෙනි, ඔබතුමා දිවැසිවරයකු බවයි මට පෙනෙන්නේ; 20අපේ පියවරුන් නමස්කාර කළේ මේ කන්දෙදීයි. එනමුත් යුදෙව් ඔබ කියන්නේ නමස්කාර කළ යුත්තේ යෙරුසලම්හි දී කියායි” කීවා ය.
21එවිට යේසුස්වහන්සේ, “මා විශ්වාස කරන්න ස්ත්‍රිය, ඔබ මේ කන්දේවත්, යෙරුසලම්හිදීවත් පියාණන්වහන්සේට නමස්කාර නො කරන කාලයක් උදා වෙයි. 22ඔබ නමස්කාර කරන්නේ, ඔබ නො දන්නා දේටයි; අප නමස්කාර කරන්නේ, අප දන්නා දේටයි. මන්ද ගැලවීම යුදෙව්වන් වෙතින්; 23එහෙත් අව්‍යාජව නමස්කාර කරන්නන්, ආත්මයෙන් හා සැබෑකමින් පියාණන්වහන්සේට නමස්කාර කරන කාලයක් පැමිණෙයි. ඒ කාලය දැන් උදාවෙලා. පියාණන්වහන්සේ එසේ නමස්කාර කරන්නන් සොයන සේක. 24දෙවියන්වහන්සේ ආත්මයාණන් ය; උන්වහන්සේට නමස්කාර කරන්නන්, නමස්කාර කළ යුත්තේත්, ආත්මයෙන් හා සැබෑකමින්” යැයි පැවසූ සේක.
25එවිට එම ස්ත්‍රිය, “ක්‍රිස්තුස් කියන මෙසියස්වහන්සේ පැමිණෙන වග මා දන්නවා. උන්වහන්සේ ආ කල, හැම දෙයක්ම අපට පැහැදිලි කර දේවි” යි උන්වහන්සේට කීවා ය.
26එවිට යේසුස්වහන්සේ, “ඔබ සමඟ කතා කරන මම උන්වහන්සේ වෙමි” යි ප්‍රකාශ කළ සේක.
අපූරු ආහාර
27ඒ වෙලාවේම උන්වහන්සේගේ ගෝලයෝ ආපසු පැමිණියහ. උන්වහන්සේ ස්ත්‍රියක හා කතාවෙන් පසුවනු දැක ඔවුහු මවිත වූහ. එහෙත්, “මොනවද ඔබට ඕනෑ?” කියා හෝ “ඇය සමඟ කතා කරන්නේ ඇයි?” කියා කිසිවකු ප්‍රශ්න කළේ නැත.
28එකල එම ස්ත්‍රිය, තම වතුර කළය එතැනම තබා, නගරයට ගොස්, 29“වරෙල්ලා, මෙතෙක් මා කළ හැම දෙයක්ම කී මිනිසකු බලන්නට; මෙතුමා ක්‍රිස්තුස්වහන්සේවත්දෝ” යි මිනිසුන්ට කීවා ය. 30එවිට නගරයෙන් පිටතට ආ ඔවුහු උන්වහන්සේ සිටි දෙසට ආහ.
31ඒ අතර ගෝලයෝ, “රබ්බී, යමක් කන්නැ” යි උන්වහන්සේට පෙරැත්ත කළහ.
32“ඔබ කොහෙත්ම නො දන්නා ආහාරයක් ගැනීමට මට තියෙනවා” යි උන්වහන්සේ ඔවුන්ට කී සේක.
33එබැවින් ඔවුහු, “කවුරුවත් උන්වහන්සේට ආහාර ගෙනැවිත් දුන්නා දැ?” යි එකිනෙකා විමසූහ.
34යේසුස්වහන්සේ ඔවුන් අමතමින්, “මගේ ආහාරය මා එවූ තැනැන්වහන්සේගේ කැමැත්ත කර, උන්වහන්සේගේ කාර්යය සම්පූර්ණ කිරීමයි. 35‘තව හාර මාසයයි; ඊ ළඟට කපන කාලය පැමිණේ’ යි ඔබ කියනවා නො වේ ද? මා ඔබට කියන්නේ, ඇස් ඇර කුඹුරු දිහා බලන්න! අස්වනු නෙළීමට ඒවා දැනටමත් පැහිලා. 36වපුරන්නාත්, කපන්නාත් එක්ව ප්‍රීති ප්‍රමෝද වන පිණිස අස්වනු නෙළන්නා දැනටමත් තම වැටුප් ලැබ, සදාතන ජීවනයට පලදාව රැස් කරයි. 37මෙසේ, ‘කෙනෙක් වපුරන්නේ ය, අන් කෙනෙක් කපන්නේ ය’ යන කියමන සැබෑ වෙයි. 38ඔබ වැඩ නො කළ කුඹුරක අස්වනු නෙළීමට මම ඔබ යැවුවෙමි. වැපිරීමේ වෙහෙස දැරුවේ වෙනත් අයයි. ඔවුන්ගේ වෙහෙසේ පල භුක්ති විඳින්නෝ ඔබ යැ” යි පැවසූ සේක.
සමාරියයෝ අදහා ගනිති
39“මෙතෙක් මා කළ හැම දෙයක්ම එතුමා මට කීවා” යන ඒ ස්ත්‍රියගේ සාක්ෂිය නිසා, ඒ නගරයේ සමාරි වාසීහු බොහෝ දෙනෙක් උන්වහන්සේ තුළ විශ්වාසය තැබූහ. 40එබැවින් ඔවුහු උන්වහන්සේ හමුවට ආ කල, තමන් සමඟ නවතින්නැයි උන්වහන්සේට ඇවිටිලි කළහ. උන්වහන්සේ දින දෙකක් ඔවුන් සමඟ ගත කළ සේක. 41එහිදී උන්වහන්සේගේ වචන නිසා, තවත් බොහෝ දෙනෙක් ඇදහිලිවතුන් බවට පත් වූහ.
42ඔවුහු ඒ ස්ත්‍රියට කතා කොට, “අප දැන් විශ්වාස කරන්නේ, ඔබ කී දේ නිසා නො වෙයි. අපි දැන් අපේම කනින් ඇසුවා; සැබවින් ම දැන් අප දන්නවා මුන්වහන්සේ ලෝකයේ ගැලවුම්කරුවාණන් වග” යයි කීවෝ ය.
නිලධාරියාගේ පුතුට සුවය
43ඒ දෙදිනට පසු යේසුස්වහන්සේ ඔවුන්ගෙන් සමුගෙන ගලීලය බලා ගිය සේක. 44“ගමේ දිවැසිවරයාට තම ගමේදී ගෞරවයක් නැතැ” යි යේසුස්වහන්සේ පවසා තිබූ නමුදු, 45යෙරුසලමේ පාස්කු උත්සවයේදී උන්වහන්සේ සිදු කළ සියල්ල දැක තිබූ ගලීල වාසීහු උන්වහන්සේ හරසරින් පිළිගත්හ. ඔවුන් ද උත්සවයට ගොස් තිබුණි.
46යේසුස්වහන්සේ වතුර, මිදි යුෂ බවට පත් කළ ගලීලයේ කානා නගරය කරා උන්වහන්සේ යළි පැමිණි සේක. රෝගී පුත්‍රයකු සිටි එක්තරා රජයේ නිලධාරියෙක් කපර්ණවුම්හි සිටියේ ය. 47යේසුස්වහන්සේ යුදයේ සිට ගලීලයට ආ වග ඇසූ හෙතෙම උන්වහන්සේ හමුවට ගොස්, උන්වහන්සේට කන්නලව් කරමින්, අවුත් මරණාසන්නව සිටින තම පුත්‍රයා සුව කර දෙන මෙන් අයැදී ය.
48යේසුස්වහන්සේ ඔහු අමතා, “අනුහස් ලකුණු හා පුදුම දුටුවොත් මිස, ඔබට විශ්වාස කරන්න බැහැ නො වේ දැ? යි ඇසූ සේක.
49“මහත්මයාණනි, අනේ මගේ දරුවා මැරෙන්නට කලින් අව මැනව” යි නිලධාරියා කියා සිටියේ ය.
50“යන්න; ඔබේ පුත්‍රයා ජීවත්වනු ඇතැ” යි යේසුස්වහන්සේ පැවසූ කල,
ඔහු උන්වහන්සේගේ වචන පිළිගෙන ආපසු ගියේ ය. 51ඔහු මඟ යද්දීම ඔහුගේ ගෙදර මෙහෙකරුවෝ ඔහු හමු වී, “ඔබේ පුතාට සුවය ලැබුණා” යි දැන්වූහ. 52ඔහුට සුවය ලැබුණේ කවර වේලාවෙදැයි ඔහු ඔවුන්ගෙන් විමසූ විට, “ඊයේ හත්වන පැයේදී#4:52 එය දවල් එකට පමණ ඔහුගේ උණ බැස්සා” යි ඔවුහු කීහ.
53“ඔබේ පුත්‍රයා ජීවත්වනු ඇතැ” යි යේසුස්වහන්සේ පැවසුවේ හරියටම ඒ වෙලාවේ බව පියාට අවබෝධ විය. එබැවින් ඔහු පමණක් නො ව ඔහුගේ නිවසේ සැවොම ද අදහා ගත්හ.
54යේසුස්වහන්සේ යුදයේ සිට ගලීලයට පැමිණි පසු දැක්වූ දෙවන අනුහස් ලකුණ මෙයයි.

Currently Selected:

යොහන් 4: SCV

Highlight

Share

Copy

None

Want to have your highlights saved across all your devices? Sign up or sign in