YouVersion Logo
Search Icon

ලූක් 1

1
ඇමතුම
1අප අතර ඉටු වූ දෑ ගැන වාර්තාවක් සම්පාදන කිරීම බොහෝ දෙනකුම බාරගෙන ඇත්තේ, 2ඒවා මුල පටන් ඇසින් දුටු සාක්ෂිකරුවන් හා වචනයේ සේවකයින් අපට බාර දුන් දෑ අනුව ය. 3මුල සිට ඒ සියලු දෑ විමසා බැලූ පසු, ඒවා අනුපිළිවෙලින් ඔබට ලියා එවීම මැනවයි මා අදහස් කළේ, ගරු තියෝපිලස් තුමනි, 4ඔබට උගන්වන ලද දෑ පිළිබඳ නියත අවබෝධයක් එමඟින් ඔබට ලැබිය හැකි බැවිනි.
යොහන් බව්තීස්තගේ උපත ගැන ස්වර්ගයෙන් පණිවුඩයක්
5යුදයේ රජු වූ හෙරෝද්ගේ දවස්හි, අබියාගේ කාණ්ඩයට අයත් සෙකරියස් නම් පූජකයෙක් විසී ය. ඔහුට ආරොන්ගේ දියණියන්ගෙන් භාර්යාවක වූවා ය. ඈ නමින් එලිසබෙත් ය. 6ස්වාමින්වහන්සේගේ සියලු අණ හා පණත්වල නිර්දෝෂීව හැසුරුණු මොවුන් දෙදෙනා, දෙවියන්වහන්සේ ඉදිරියේ ධර්මිෂ්ඨයින් වූහ. 7එහෙත් ඔවුනට දරුවන් සිටියේ නැත; මන්ද එලිසබෙත් වඳ ස්ත්‍රියක වූවා ය; තවද ඔවුන් දෙදෙනාම සිටියේ වයස් ගතව ය.
8දේව මෙහෙවර සඳහා වාරය තම කාණ්ඩයට බාර වූ විටෙක, සෙකරියස් දෙවියන්වහන්සේ ඉදිරියේ පූජක මෙහෙයයේ යෙදෙමින් සිටියේ, 9පූජකත්වයේ චාරිත්‍රයට අනුව ස්වාමින්වහන්සේගේ මාලිගයට ඇතුල්ව, සුවඳ දුම් දැවීමේ වාරය පස ඇට දැමීමෙන් ඔහු තෝරාගනු ලැබීමෙනි. 10සුවඳ දුම් පුදන වේලේ සියලු බැතිමත්හු පිටත මළුවේ යාච්ඤා කරමින් වුන්හ.
11එවිට ස්වාමින්වහන්සේගේ දූතයෙක්, දුම් පූජාසනයට දකුණු පස සිටගෙන සිටිනු ඔහුට පෙනුණේ ය. 12ඔහු දුටු සෙකරියස් කලබල වී, බයින් ඇලළී ගියේ ය. 13එහෙත් දේව දූතයා ඔහු අමතමින්, “බය නො වන්න සෙකරියස්, ඔබගේ යාච්‍ඤාව අසනු ලැබ ඇත; ඔබේ භාර්යාව එලිසබෙත්, ඔබට පුතකු බිහි කර දෙනු ඇත. ඔබ ඔහුට යොහන් යන නම තැබිය යුතු ය. 14ඔහු නිසා ඔබට ප්‍රීතිය හා සොම්නස අත්වෙයි. ඔහුගේ උපත ගැන බොහෝ දෙනකු ප්‍රමෝද වනු ඇත. 15මන්ද ඔහු ස්වාමින්වහන්සේ හමුවේ විශිෂ්ටයකු වනු ඇත. ඔහු මිදි යුෂ හෝ සැරබීම පානය නො කළ යුතු ය. මව් කුස තුළ පටන් ඔහු ශුද්ධාත්මයාණන්ගෙන් පූර්ණ වනු ඇත. 16ඔහු ඉශ්‍රායෙල් පුත්‍රයින්ගෙන් බොහෝ දෙනකු ඔවුන්ගේ දෙවියන්වහන්සේ වූ ස්වාමින්වහන්සේ වෙත යළි හරවනු ඇත. 17තවද පියවරුන්ගේ අවධානය දරුවන් වෙත ද අකීකරුවූවන් ධර්මිෂ්ඨ ප්‍රඥාවට ද හැරවීමට එලියාගේ ආත්මයෙන් හා බලයෙන් යුක්තව, ස්වාමින්වහන්සේට යෝග්‍ය ලෙස ජනතාවක් හැඩ ගස්වමින්, ඔහු උන්වහන්සේට පෙරටුවෙන් යනු ඇතැ” යි පැවසී ය.
18එවිට සෙකරියස් දේව දූතයා අමතමින්, “මා මෙය දැනගන්නේ කෙසේ ද? මා දැන් මහලුයි; මගේ භාර්යාවත් වයසට ගොස් ඇතැ” යි කීවේ ය.
19එවිට දේව දූතයා පිළිතුරු දෙමින්, “දෙවියන්වහන්සේ ඉදිරියේ සිටගන්නා ගාබ්‍රියෙල් මමයි. මා එවන ලද්දේ ඔබ සමඟ කතා කොට, මේ ශුභාරංචිය ඔබට දන්වන්නටයි. 20ඔන්න, මේ දෑ සිද්ධවන දවස දක්වා ඔබ කතා කරන්නට බැරිව, නිහඬව සිටිනු ඇත; මන්ද නිසි කල්හි ඉෂ්ට වන මගේ වචන ඔබ විශ්වාස කළ නැති නිසා යැ” යි පැවසී ය.
21ඒ අතර, සෙකරියස් එන තෙක් බලා සිටි ජනයා, දේව මාලිගය ඇතුළත ඔහු පමා වන්නේ ඇයි දැයි පුදුම වෙමින් සිටියහ. 22ඔහු පිටතට ආ කල, ඔවුනට කිසිවක් පැවසීමට ඔහු අපොහොසත් වූයෙන්, දේව මාලිගය තුළදී ඔහු යම් දර්ශනයක් දකින්නට ඇති වග ඔවුහු වටහා ගත්හ. ඔහු කතා බැරිව, ඔවුනට සංඥා කරන්නට වන්නේ ය.
23තමාට නියමිත මෙහෙවර කාලය ගෙවුණු පසු, ඔහු තම නිවසට ආපසු ගියේ ය. 24මේ දවස්වලට පසු, ඔහුගේ භාර්යාව, එලිසබෙත් ගැබ් ගෙන, පස් මසක් සැඟවී වෙසෙමින්, 25“ස්වාමින්වහන්සේ මා දෙස බලා, මෙසේ කළ සේක, මේ දවස්හි ජනයා අතර වූ මගේ නින්දාව පහ කළ සේකැ” යි කීවා ය.
දේව දූතයා මරියා බැහැදැක්ම
26සවැනි මස දේව දූත ගාබ්‍රියෙල්, දෙවියන්වහන්සේ වෙතින් ගලීලයේ නාසරෙත් පුර 27කන්‍යාවක වෙත යවන ලදී. දාවිත්ගේ පෙළපතේ මනුෂ්‍යයකු වූ යෝසෙප් නැමැත්තකුට විවාහ ගිවිසි මෙම කන්‍යාවගේ නම මරියා ය. 28දේව දූතයා ඇය වෙත පැමිණ, “සැරදේවා! ඉමහත් ප්‍රසාද ලත් තැනැත්තිය, ස්වාමින්වහන්සේ ඔබ සමඟ වන සේකැ” යි කීවේ ය.
29ඒ කියමනෙන් මහත් සේ කැලඹුණු ඕ, ඒ කවර අන්දමේ ආචාරයක් දෝයි සිතන්නට වූවා ය. 30දේව දූතයා ඇය අමතමින්, “බය වන්න එපා මරියා. ඔබට දෙවියන්වහන්සේගේ ප්‍රසාදය ලැබිලා. 31ඔන්න, ඔබේ ගර්භයේ දරුවකු පිළිසිඳ, ඔබ පුතකු බිහි කරනු ඇත. යේසුස් යන නමින් ඔබ උන්වහන්සේ ඇමතිය යුතු ය. 32උන්වහන්සේ උත්තම වන සේක්, පරමෝත්තම දෙවියන්වහන්සේගේ පුත්‍රයාණෝ යයි හඳුන්වනු ලබන සේක. උන්වහන්සේගේ පිය වූ දාවිත්ගේ සිංහාසනය, ස්වාමින්වහන්සේ වූ දෙවියන්වහන්සේ උන්වහන්සේට දෙන සේක. 33උන්වහන්සේ යාකොබ් වංශය කෙරෙහි සදහට ම රජකම් කරන සේක. උන්වහන්සේගේ රාජ්‍යයට අවසානයක් නැත්තේ යැ” යි කීවේ ය.
34එවිට මරියා දේව දූතයා අමතා, “මා කන්‍යාවකව සිටියදී එහෙම වෙන්නේ කොහොම දැ?” යි ඇසුවා ය.
35දේව දූතයා ඇයට පිළිතුරු දෙමින්, “ශුද්ධාත්මයාණන්වහන්සේ ඔබ කරා එන සේක. පරමෝත්තමයාණන්ගේ ආනුභාවය ඔබ වසාගනු ඇත. එබැවින් උපදින දරුවා ශුද්ධ ය, දෙවියන්වහන්සේගේ පුත්‍රයාණෝයි කියනු ලබන්නාහ. 36බලන්න, ඔබේ නෑයා, එලිසබෙත් ඇගේ මහලු වයසේ පුතකු පිළිසිඳගෙන! වඳ එකියෙකැයි කියනු ලැබූ ඈ දැන් හය මසක ගැබිණියක්. 37මන්ද දෙවියන්වහන්සේ පැවසූ කිසි වචනයක් බල රහිත නො වන්නේ යැ” යි පැවසී ය.
38මරියා පිළිතුරු දෙන්නී, “මෙන්න මා, ස්වාමින්වහන්සේගේ දාසියයි. ඔබ කී වචනය ලෙස මට සිදු වේවා” යි කීවා ය. දේව දූතයා ඇය වෙතින් පිටත්ව ගියේ ය.
මරියා එලිසබෙත් හමු වන්නට යෑම
39එදවස්හි මරියා සූදානම්ව, යුදයේ කඳුකර නගරයකට යුහු යුහුව ගොස්, 40සෙකරියස්ගේ නිවසට ඇතුල්ව, එලිසබෙත්ට ආචාර කළා ය. 41මරියාගේ ආචාරය ඇසුණු කල, එලිසබෙත්ගේ කුසෙහි දරුවා පැන නැංගේ ය. එවිට ශුද්ධාත්මයාණන්වහන්සේගෙන් පූර්ණ වූ එලිසබෙත්, 42උස් හඬ නගා කියන්නී, “ස්ත්‍රීන් අතරින් ඔබ ආශිර්වාද ලද්දී ය. ඔබ කුස ඔත් දරු පලය ද ආශිර්වාදිතයි. 43එනමුත්, මාගේ ස්වාමින්වහන්සේගේ මෑණියන් මා වෙත ඒමට තරම් ගෞරවයක් මා ලද්දේ කුමක් හෙයින් ද? 44බලන්න, ඔබගේ ආචාර හඬ මට ඇසුණු සැණේ, මා කුස ඔත් ළදරුවා ප්‍රීතියෙන් පැන්නා. 45ස්වාමින්වහන්සේ ඇයට පැවසූ දෑ ඉෂ්ට වෙතැයි විශ්වාස කළ තැනැත්තිය ආශිර්වාදිත යැ!” යි කීවා ය.
මරියාගේ උදානය
46එවිට මරියා මෙසේ පැවසුවා ය:
“මාගේ ජීවය ස්වාමින්වහන්සේ වර්ණනා කරයි;
47මාගේ ගැලවුම්කරුවාණන් වන දෙවියන්වහන්සේ තුළ මාගේ ආත්මය ප්‍රීති වෙයි.
48මන්ද තම දාසියගේ පහත්කම,
උන්වහන්සේ සැලකූ සේක;
දැන් මෙන්න, මෙතැන් පටන් හැම පරපුරක්ම, ආශිර්වාද ලද්දී ය කියා මට කියනු ඇත.
49මන්ද පරාක්‍රමයාණන්වහන්සේ මා උදෙසා මහත් දේ කළ සේක.
උන්වහන්සේගේ නාමය පාරිශුද්ධ ය.
50උන්වහන්සේගේ දයාව, පරපුරෙන් පරපුරට,
උන්වහන්සේට බය ඇත්තන්ට ය.
51උන්වහන්සේ තම බාහුවෙන් ශක්තිය පෙන්වූ සේක;
තම හදවත් තුළ උඩඟු සිතිවිලි ඇත්තන් උන්වහන්සේ විසිරවූ සේක.
52උන්වහන්සේ අධිපතීන් ඔවුන්ගේ සිංහාසනවලින් පහකර,
නිහතමානීන් ඔසවා තැබූ සේක.
53උන්වහන්සේ සාගිනි වූවන් යහ දෙයින් පුරවා,
ධනවතුන් හිස් අතින් ඉවත යැවූ සේක්,
54උන්වහන්සේට තම දයාව සිහි ගන්වමින්
තම සේවක ඉශ්‍රායෙල්ට උපකාර කළේ,
55අප පියවරුනට, ආබ්‍රහම්ට හා සදහට ම ඔහුගෙන් පැවත එන්නන්ට,
උන්වහන්සේ කතා කළ පරිද්දෙනි.”
56එලිසබෙත් සමඟ තෙමසක් පමණ නැවතී සිටි මරියා, තම නිවසට ආපසු ආවා ය.
යොහන් බව්තීස්තගේ උපත
57එලිසබෙත්ට ප්‍රසූති කාලය පැමිණි කල, ඕ පුතකු බිහි කළා ය. 58ස්වාමින්වහන්සේ ඇයට පෑ මහත් දයාව ගැන ඇසූ ඇගේ නෑයෝ හා අසල්වැසියෝ ඇය සමඟ ප්‍රීති වූහ.
59අට වන දවසේ, දරුවා චර්මඡේද කරන්නට පැමිණි ඔවුහු, ඔහුගේ පියාට අනුව, ඔහුට සෙකරියස් යන නම තබන්නට සැරසුණහ. 60එහෙත් ඔහුගේ මව කතා කරමින්, “නැත; ඔහු යොහන් නමින් හඳුන්වන්නට ඕනෑ” යි කීවා ය.
61“ඔබේ පවුලේ කිසිවකුටත් එවැනි නමක් නැතැ” යි ඔවුහු ඇයට පැවසූහ.
62ඉන්පසු ඔවුහු, ඔහුගේ පියා ඔහුට කවර නමක් දීමට කැමැත්තේදැයි විමසමින් ඔහුට සංඥා කළහ. 63එවිට ඔහු ලියන ලෑල්ලක් ඉල්ලා ගෙන, “ඔහුගේ නම යොහන්” කියා ලීවේ ය. එවිට සියල්ලෝ විස්මිත වූහ. 64එකෙණෙහි ඔහුගේ මුව විවරව, ඔහුගේ දිව ලිහී, ඔහු දෙවියන්වහන්සේ පසසමින් කතා කළේ ය. 65අසල්වාසී සියල්ලෝ බයින් ඇලළී ගියෝ ය; යුදයේ කඳුකරය පුරා වූ ජනයා මේ දෑ ගැන කතා කරන්නට වන්හ. 66මේ ගැන ඇසූ සැවොම එය සිත්හි තබාගෙන, “ඉතින් මේ දරුවා කෙබඳු කෙනෙක් වේදෝ?” යි කීහ. මන්ද ස්වාමින්වහන්සේගේ හස්තය ඔහු පිට පැවතියේ ය.
සෙකරියස්ගේ උදානය
67ඔහුගේ පියා වූ සෙකරියස්, ශුද්ධාත්මයාණන්ගෙන් පූර්ණව, මෙසේ දිවැස් වැකි පැවසී ය:
68“ඉශ්‍රායෙල්ගේ දෙවියන්වහන්සේ වන, ස්වාමින්වහන්සේට තුති පැසසුම් වේවා;
මන්ද උන්වහන්සේ ස්වකීය ජනයා වෙත පැමිණ, ඔවුන් මිදූ සේක,
69සිය සේවක දාවිත්ගේ පෙළපතින්
ගැලවීමේ අඟක් උන්වහන්සේ අපට නැගිටුවා දුන්නේ,
70ඉහතදී තම ශුද්ධ දිවැසිවරුන්ගේ මුඛයෙන් උන්වහන්සේ පවසා තිබූ පරිද්දෙන්,
71අපගේ සතුරන්ගෙන් හා
අපට වෛර කරන සියල්ලන් අතින් අප ගලවනු ලැබීමට ය.
72අපගේ පියවරුනට පොරොන්දු වූ දයාව පෙන්වීමට හා
උන්වහන්සේගේ ශුද්ධ ගිවිසුම සිහිකිරීමට ය.
73අපගේ පිය වූ ආබ්‍රහම්ට දිවුළ ඒ දිවුරුම,
74අපගේ සතුරන් අතින් අප මුදන්නට හා
බයින් තොරව උන්වහන්සේට මෙහෙ කරන්නට අපට හැකි වන පිණිස ය;
75අපේ සියලු දවස්වල ශුද්ධත්වයෙන් හා ධර්මිෂ්ඨත්වයෙන් යුතුව උන්වහන්සේ අබියස එසේ කළ හැකි වන පිණිස ය.
76“මා දරුව, නුඹ මහෝත්තමයාණන්ගේ දිවැසිවරයා යයි හඳුන්වනු ලබනු ඇත.
මන්ද නුඹ ස්වාමින්වහන්සේගේ මාර්ගය සකස්කරන්නට උන්වහන්සේට පෙරටුව ගමන් ගනු ඇත්තේ,
77උන්වහන්සේගේ ජනයාට
ඔවුන්ගේ පාපවලට කමාව තුළින් ගැලවීමේ දැනුම ගෙන දීමට ය.
78අපගේ දෙවියන්වහන්සේගේ මෘදු වූ දයාව නිසා ය,
ඉහළ අහසේ සිට අපට හිරු උදාවන්නේ;
79ඒ, අන්ධකාරයේ හිඳ සිටින්නන් හා
මරණ සෙවණේ හිඳින්නන් පිට බබළන පිණිසත්,
සාමයේ මාර්ගයට අපගේ පා යොමු කරවන පිණිසත් ය.”
80දරුවා වැඩී, ආත්මයෙන් බලවත් විය; ඉශ්‍රායෙල් වෙත ප්‍රසිද්ධියේ පෙනී සිටින තෙක්, ඔහු පාළුකරයේ වාසය කළේ ය.

Currently Selected:

ලූක් 1: SCV

Highlight

Share

Copy

None

Want to have your highlights saved across all your devices? Sign up or sign in