YouVersion Logo
Search Icon

ලූක් 22

22
යූදස්ගේ පාවා දීම
1පාස්කුව යනුවෙන් හැඳින්වෙන නුමුහුන් රොටි උළෙල ළං වෙමින් තිබිණි. 2නායක පූජකවරු හා දහම් පඬිවරු උන්වහන්සේ මරා දමන්නේ කෙසේදැයි සෙවූහ. මන්ද ඔවුහු ජනතාවට බය වූහ. 3ඒ අතර ඉස්කාරියොත් නම් වූ යූදස්ට සාතන් ආවේශ විය. ඔහු දොළොස් දෙනාගෙන් කෙනෙකි. 4ඔහු පිටත්ව, නායක පූජකවරුන් හා නිලධාරීන් අතට උන්වහන්සේ පාවා දෙන්නේ කෙසේදැයි ඔවුන් සමඟ සාකච්ඡා කළේ ය. 5මහත් සතුටට පත් ඔවුහු, ඔහුට මුදල් දීමට එකඟ වූහ. 6ඔහු ඊට කැමතිව, ජනයා නො ගැවසෙන විටෙක ඔවුන් අතට උන්වහන්සේ පාවා දීමට සුදුසු අවස්ථාවක් ගැන සෙවිල්ලෙන් සිටියේ ය.
පාස්කු භෝජනය
7පාස්කු බැටළුවා පූජා කළ යුතු වූ නුමුහුන් රොටි උළෙලේ දිනය උදා විය. 8යේසුස්වහන්සේ පේතෘස් හා යොහන් පිටත් කර යවමින්, “අපත් එය අනුභව කරන පිණිස, ගොසින්, අප උදෙසා පාස්කුව පිළියෙල කරන්නැ” යි කී සේක.
9එවිට ඔවුහු, “ඔබට උවමනා අප එය කොතැන පිළියෙල කරනවාට දැ?” යි ඇසූහ.
10යේසුස්වහන්සේ පිළිතුරු දෙමින්, “ඔන්න, නගරයට ඔබ ඇතුළු වූ කල, වතුර කළයක් ගෙන යන මිනිසකු ඔබට හමුවේවි. ඔහු පසුපස ගොස්, ඔහු යන ගෙදරට ඇතුල්ව, 11ගෙහිමියාට කතා කොට, ‘මාගේ ගෝලයින් සමඟ පාස්කු භෝජනය වැළඳිය හැකි ආගන්තුක ශාලාව කොතැන ද කියා ගුරුතුමා ඔබෙන් අසති’ යි කියන්න. 12එවිට ගෘහ භාණ්ඩ සහිත විශාල උඩු මහල් කාමරයක් ඔහු ඔබට පෙන්වනු ඇත; එහි පිළියෙල කරන්නැ” යි කී සේක.
13ඔවුහු පිටත්ව, යේසුස්වහන්සේ දැන්වූ ලෙසින්ම සම්භ වූයෙන්, පාස්කුව එහි පිළියෙල කළෝ ය.
14පැය පැමිණි කල, උන්වහන්සේ තම අපෝස්තුලුවරුන් සමඟ මේසයට හිඳගත් සේක. 15උන්වහන්සේ ඔවුන් අමතමින්, “මා වධ විඳීමට කලින් ඔබ සමඟ මේ පාස්කුව වළඳන්නට මම අතිශයින්ම ආශා වූයෙමි. 16මන්ද මා ඔබට කියන්නම්; දෙවියන්වහන්සේගේ රාජ්‍යයෙහි එය සම්පූර්ණ වන තෙක් මා එය වළඳන්නේ නැතැ” යි පැවසූ සේක.
17උන්වහන්සේ කුසලානක් ලැබ, ස්තුතිය පුදා, “මෙය ගෙන, ඔබ අතරේ බෙදා ගන්න. 18දෙවියන්වහන්සේගේ රාජ්‍යය පැමිණෙන තෙක්, මෙතැන් පටන් මා මිදි වැලේ පලයෙන් පානය නො කරන බැව් ඔබට කියමි” යි පැවසූ සේක.
19උන්වහන්සේ රොටි ගෙන, ස්තුති දී, එය කඩා, ඔවුන්ට බෙදා දී, “මේ ඔබ උදෙසා දෙනු ලබන මාගේ ශරීරයයි; මා සිහි කිරීම පිණිස මෙය කරන්නැ” යි පැවසූ සේක.
20භෝජනයෙන් පසු උන්වහන්සේ කුසලාන ගෙන, “මේ කුසලාන ඔබ උදෙසා වගුරුවනු ලබන මාගේ ලෙයින් වන අලුත් ගිවිසුමයි. 21එහෙත් මෙන්න! මා පාවා දෙන්නාගේ අත මා සමඟ මේ මේසයේම. 22මන්ද තීන්දු කර තිබූ පරිදි මනුෂ්‍ය පුත්‍රයා තම ගමන යන්නේ ය. එහෙත් උන්වහන්සේ පාවා දෙන මිනිසාට වන විපතක මහත!” යැයි පැවසූ සේක. 23එය කරන්නට යන්නේ තමන් අතරින් කවුරුන්දෝයි ඔවුන් එකිනෙකා ප්‍රශ්න කරන්නට වන්හ.
24තමන් අතරින් වඩාත් උත්තමයා ලෙස සැලකිය යුත්තේ කවුරුදැයි ඔවුන් අතරේ විවාදයක් ඇති විය. 25උන්වහන්සේ ඔවුන් අමතමින්, “අන්‍ය-ජාතීන්ගේ රජවරු තම වැසියන්ට අධිපතිකම් පාති. ඔවුන්ට අධිපතිකම් දක්වන්නවුන් අනුග්‍රාහකයෝ යයි අමතනු ලබති. 26එහෙත් ඔබ අතරේ එසේ නො වේ; ඔබ අතරේ වඩා උත්තමයා, බාලයා මෙන් ද නායකයා, සේවය කරන්නා මෙන් ද විය යුතුයි; 27මන්ද වඩා උතුම් කවුරු ද? කෑමට හිඳ සිටින තැනැත්තා ද? ආවතේව කරන තැනැත්තා ද? කෑමට හිඳ සිටින්නාම නො වේ ද? එහෙත් ඔබ අතරේ මම සේවය කරන්නා මෙන් වෙමි. 28මගේ පරීක්ෂාවලදී මා සමඟ සිටියේ ඔබයි. 29මාගේ පියාණන්වහන්සේ මට රාජ්‍යයක් පැවරූ ලෙස, මමත් ඔබට රාජ්‍යයක් පවරන්නෙමි. 30ඒ, මාගේ රාජ්‍යයේ මා හා එක මේසයේ ආහාර පාන භුක්ති විඳින පිණිස හා ඉශ්‍රායෙල් ගෝත්‍ර දොළොස විනිශ්චය කරමින්, මාගේ රාජ්‍යයේ සිංහාසන මත හිඳ ගන්නා පිණිස ය.
31“සීමොන්, සීමොන්, ඔන්න! ධාන්‍ය පොළන්නාක් මෙන් නුඹලා පොළන්නට සාතන් ඉල්ලුවා. 32එහෙත් නුඹේ ඇදහිල්ල නැති වී නො යන පිණිස, ඔබ උදෙසා මා යාච්ඤා කළා; ඔබ නැවත ආපසු හැරුණාම, ඔබේ සහෝදරයින් ශක්තිමත් කරන්නැ” යි පැවසූ සේක.
33පේතෘස් කතා කරමින්, “ස්වාමිනි ඔබ සමඟ හිරේ යන්නටත්, මැරෙන්න යන්නටත් මා සූදානම්” යැයි උන්වහන්සේට කීවේ ය.
34යේසුස්වහන්සේ කතා කරමින්, “පේතෘස්, මා ඔබට කියන්නම්, ඔබ මා හඳුනන්නේ නැතැයි තුන් වතාවක්ම කියන තුරු අද දවසේ කුකුළා හඬලන්නේ නැතැ” යි පැවසූ සේක.
35උන්වහන්සේ කතා කරමින්, “මුදල් පසුම්බියක්වත්, ගමන් මල්ලක්වත්, පාවහන්වත් නැතිව මා ඔබ පිටත් කර යැවූ විට, ඔබට කිසි හිඟයක් වීදැ?” යි ඔවුන්ගෙන් ඇසූ සේක.
“නැතැ” යි ඔවුහු කීහ.
36උන්වහන්සේ කතා කරමින්, “එහෙත් දැන්, ඔබට පසුම්බියක් ඇත්නම් එය ගන්න. මල්ලක් ඇත්නම් එය ද ගන්න. ඔබට කඩුවක් නැතිනම්, ඔබේ සළුව විකුණා ඉන් කඩුවක් මිලදී ගන්න. 37මන්ද මා ඔබට කියන්නේ, ‘උන්වහන්සේ අපරාධකරුවන් සමඟ ගණන් ගනු ලැබූ සේක’#22:37 යෙසා 53:12 කියා ලියා තිබෙන ශුද්ධ ලියවිල්ල මා සම්බන්ධව ඉටු විය යුතු බවයි. මන්ද මා ගැන ලියවී ඇති දෑ සම්පූර්ණ වේ යැ” යි පැවසූ සේක.
38“ස්වාමිනි මේ බලන්න; කඩු දෙකක්ම මෙහි තියෙනවා” යි ඔවුහු කීහ.
“ඒ සෑහේයැ” යි උන්වහන්සේ ඔවුන්ට පැවසූ සේක.
ඔලීව කන්දේදී
39උන්වහන්සේ පිටතට අවුත්, පුරුදු පරිදි ඔලීව කන්දට ගිය සේක. ගෝලයෝ උන්වහන්සේ අනුව ගියහ. 40එතැනට පැමිණි උන්වහන්සේ, ගෝලයින් අමතා, “පරීක්ෂාවට නො වැටෙන පිණිස යාච්ඤා කරන්නැ” යි පැවසූ සේක. 41ගලක් වීසි කළ හැකි දුරක් ඔවුන් වෙතින් ඈත් වූ උන්වහන්සේ දණ ගසා යාච්ඤා කරමින්, 42“පියාණෙනි, ඔබවහන්සේ කැමති සේක් නම්, මේ කුසලාන මාගෙන් ඉවත් කළ මැනව; එහෙත් මාගේ කැමැත්ත නො ව, ඔබගේ කැමැත්ත කරනු ලැබේවා!” යි පැවසූ සේක. 43එවිට දේව දූතයෙක් ස්වර්ගයෙන් පහළ වී උන්වහන්සේ ශක්තිමත් කළේ ය. 44සිත් සන්තාපයෙන් යුතුව උන්වහන්සේ වඩාත් ලැදියාවෙන් යාච්ඤා කළ සේක්, උන්වහන්සේගේ ඩාදිය මහත් ලේ බිඳු මෙන් බිම ඇද හැලිණි.
45යාච්ඤාවෙන් නැගිට, ගෝලයින් වෙත ආ උන්වහන්සේ ඔවුන් ශෝකයෙන් බරව නිදා සිටිනු දුටු සේක. 46ඔවුන් ඇමතූ උන්වහන්සේ, “ඔබ නිදා සිටින්නේ ඇයි? පරීක්ෂාවට නො වැටෙන පිණිස, නැගිට, යාච්ඤා කරන්නැ” යි පැවසූ සේක.
යේසුස්වහන්සේ අත්අඩංගුවට ගැනීම
47උන්වහන්සේ එසේ කියද්දී, දොළොස් දෙනාගෙන් කෙනකු වූ යූදස් නම් මිනිසා පෙරමුණ ගත් සමූහයක් එහි ආහ. යේසුස්වහන්සේ සිපගන්නා පිණිස ඔහු උන්වහන්සේට ළං වූයේ ය. 48එහෙත් යේසුස්වහන්සේ ඔහු අමතමින්, “යූදස්, නුඹ මනුෂ්‍ය පුත්‍රයා පාවා දෙන්නේ සිඹීමෙන් දැ?” යි ඇසූ සේක.
49සිදුවන්නට යන්නේ කුමක්දැයි දුටු උන්වහන්සේ වටා සිටි අය, “ස්වාමිනි, අපි කඩුවෙන් පහර දෙන්න දැ?” යි ඇසූහ. 50එවිට ඔවුන්ගෙන් කෙනෙක්, උත්තම පූජකයාගේ දාසයාගේ දකුණු කන කැපෙන්නට ගැසී ය.
51එවිට “තවත් එපා!” යි කී යේසුස්වහන්සේ ඔහුගේ කන ස්පර්ශ කර, එය සුව කළ සේක.
52තමන්ට එරෙහිව පැමිණි නායක පූජකයින්, දේව මාලිග නිලධාරීන් හා වැඩිහිටියන් ඇමතූ යේසුස්වහන්සේ, “මංකොල්ලකරුවකුට එරෙහිව මෙන් නුඹලා කඩු මුගුරු අරන් ආවා ද? 53මා දිනපතා දේව මාලිගයේ නුඹලා සමඟ සිටියදී, නුඹලා මා පිට අත් හෙළුවේ නෑ. ඒත්, මේ නුඹලාගේ පැයයි. අන්ධකාරයේ බලයයි” කී සේක.
පේතෘස් යේසුස්වහන්සේ නාඳුනන බව පැවසීම
54ඔවුහු උන්වහන්සේ අල්ලා, පිටතට ගෙන යමින්, උත්තම පූජක මැදුර වෙත උන්වහන්සේ ගෙන ගියහ. පේතෘස් මදක් දුරින් ඒ පසුපසින් ගියේ ය. 55ඔවුහු පූජක මැදුරු මළුව මැද ගිනි මැලයක් දල්වා, ඒ වටා එක්ව හිඳ සිටියදී, පේතෘස් ද ඔවුන් අතර හිඳ ගත්තේ ය. 56ඔහු එහි හිඳ සිටිනු ගිනි එළියට දුටු එක් සේවිකාවක් ඔහු දෙස ළං වී බලා, “මේ මිනිහත් ඔහු සමඟ සිටියා” යි කීවා ය.
57එහෙත් ඒ කීම ප්‍රතික්ෂේප කළ පේතෘස්, “ස්ත්‍රිය, මම ඔහු අඳුනන්නේ නැහැ” යි කීවේ ය.
58මඳ වේලාවකට පසු තවත් කෙනෙක් ඔහු දැක, “නුඹත් ඔවුන්ගෙන් කෙනෙකැ” යි කීවේ ය.
එහෙත් පේතෘස්, “මා ඒ කෙනෙක් නො වෙයි මනුස්සයෝ!” යි කීවේ ය.
59ඉන් පැයකට පමණ පසු තවත් කෙනෙක්, “සැබවින් ම මොහුත් ඔහු සමඟ සිටියා; මොකද මොහු ගලීලයෙකැ” යි තරයේ කියා සිටියේ ය.
60එහෙත් පේතෘස්, “මිනිහෝ, ඔබ මොනවා දොඩවනවාදැයි මා දන්නේ නැතැ” යි කීවේ ය. ඔහු එසේ කියද්දීම, එකෙණෙහිම කුකුළා හැඬලී ය. 61එවිට ස්වාමින්වහන්සේ හැරී, එක එල්ලේ පේතෘස් දෙස බැලූ සේක. එකල, “අද කුකුළා හඬලන්නට පෙර තුන් වරක් ඔබ මා නාඳුනමි” යි ස්වාමින්වහන්සේ තමාට කී වචන සිහි කළ පේතෘස්, 62එතැනින් බැහැරව, පිටතට ගොස්, දැඩි සංවේගයෙන් හැඬී ය.
හේවායන් අවමන් කිරීම
63මේ අතර යේසුස්වහන්සේ අත්අඩංගුවේ රඳවාගෙන සිටි මිනිස්සු උන්වහන්සේට පහර දෙමින්, අවමන් කරන්නට වන්හ. 64ඔවුහු උන්වහන්සේගේ ඇස් බැඳ, “නුඹට පහර දෙන්නේ කවුරු ද? හා, දිවැසින් කියාපන්” යැයි කීහ. 65මෙසේ ඔවුහු තවත් නොයෙක් දෑ කියමින් උන්වහන්සේට අපහාස කළහ.
යේසුස්වහන්සේ පිලාත් හා හෙරෝද් ඉදිරිපිට
66දවස උදා වූ කල ජනතා වැඩිහිටි සභාව, නායක පූජකවරු හා දහම් පඬිවරු එකට රැස් වූහ. ඔවුන්ගේ මන්ත්‍රණ සභාව ඉදිරියට යේසුස්වහන්සේ පමුණුවන ලදින්, ඔවුහු කතා කරමින්, 67“ඔබ ක්‍රිස්තුස්වහන්සේ නම්,#22:67 මෙසියස්වහන්සේ නම් අපට කියන්නැ” යි කීහ.
යේසුස්වහන්සේ පිළිතුරු දෙමින්, “මා ඔබට කීවත් ඔබ විශ්වාස කරන්නේ නෑ. 68මා ඔබෙන් ඇසුවත් ඔබ උත්තර දෙන්නේ නෑ. 69එහෙත් මෙතැන් පටන් මනුෂ්‍ය පුත්‍රයාණන් දෙවියන්වහන්සේගේ පරාක්‍රමයේ දකුණු පස අසුන් ගෙන හිඳිනවා ඇතැ” යි පැවසූ සේක.
70“එසේ නම් ඔබ දෙවියන්වහන්සේගේ පුත්‍රයාණන් දැ?” යි එවිට ඔවුහු සියල්ලෝ ඇසුවෝ ය.
“ඒ මම ය කියා ඔබ කියනවා යැ” යි උන්වහන්සේ කී සේක.
71එවිට ඔවුහු, “තවත් සාක්ෂි අපට කුමට ද? ඔහුගේම කටින් අපි එය ඇසීමු” යි පැවසූහ.

Currently Selected:

ලූක් 22: SCV

Highlight

Share

Copy

None

Want to have your highlights saved across all your devices? Sign up or sign in