YouVersion Logo
Search Icon

ලූක් 24

24
නැවත නැගිටීම
1තමන් පිළියෙල කර ගත් සුවඳ ද්‍රව්‍ය ද ගෙන, සතියේ පළමු දින අරුණ උදෙන්, සොහොන් ලෙන වෙත ගිය ඔවුහු, 2ගල ඉවත පෙරළා තිබෙනු දුටහ. 3ඔවුහු ලෙන තුළට ගිය කල, යේසුස් ස්වාමින්වහන්සේගේ දේහය ඒ තුළ දුටුවේ නැත. 4ඔවුන් ඒ ගැන වියවුල්ව සිටියදී, මෙන්න! හදිසියේම, කාන්තිමත් වස්ත්‍රයෙන් යුතු මිනිසුන් දෙදෙනෙක් ඔවුන් පසෙකින් සිටගෙන! 5ඉන් බය වූ ඔවුන් තම මුහුණු බිමට නමාගනිද්දී, ඔවුන් ඇමතූ ඒ මිනිස්සු, “නුඹලා මළවුන් අතර ජීවතුන් සොයන්නේ මොකද? 6උන්වහන්සේ මෙහි නැත; උන්වහන්සේ නැගුටුණු සේක. උන්වහන්සේ ගලීලයේ සිටියදී නුඹලාට කී දේ මතක් කරන්න. එනම්, 7‘මනුෂ්‍ය පුත්‍රයාණන් පව්කාර මිනිසුන්ගේ අත්වලට බාර දෙනු ලබන්නටත්, කුරුසිපත් කරනු ලබන්නටත්, තුන් වන දවසේ නැගිටින්නටත් යුතු ය’ යනුයි” කීහ. 8එවිට උන්වහන්සේගේ වචන ඔවුන්ට මතක් විණි.
9සොහොන වෙතින් ආපසු පැමිණි ඔවුහු, සියලු පුවත් එකොළොස් දෙනාටත්, අනෙක් සැමටත් සැල කළහ. 10අපෝස්තුලුවරුන්ට මේ දෑ කීවේ, මග්දලායේ මරියා, යොවන්නා, යාකොබ්ගේ මව වූ මරියා හා ඔවුන් සමඟ සිටි අනෙක් ස්ත්‍රීන් ය. 11එහෙත් ඒ ස්ත්‍රීන් කී දේ ඔවුන් විශ්වාස කළේ නැත. ඒ කියමන් ඔවුන්ට පෙනුණේ හිස් ප්‍රලාප ලෙසිනි. 12එහෙත් පේතෘස් සොහොන වෙත දුව ගොස්, එබී බලා, හණ රෙදි වෙළුම පමණක් පසෙක තිබෙනු දැක, කුමක් සිදු වීදැයි පුදුමයෙන් ආපසු ගියේ ය.
එම්මාවුස් පාරේ
13එදිනම ඔවුන්ගෙන් දෙදෙනෙක් යෙරුසලමේ සිට කිලෝමීටර් එකොළහක පමණ දුරින් පිහිටි එම්මාවුස් නම් ගමට යමින් සිටියහ. 14ඔවුන් ගමන් කළේ සිදු වූ හැම සිදුවීමක් ගැන කතා කරමිනි. 15මෙසේ ඔවුන් කතා කරමින්, සාකච්ඡා කරමින් යද්දී යේසුස්වහන්සේ ඔවුන් වෙත ළඟා වී, ඔවුන් සමඟ ගමන් ගත් සේක. 16එහෙත් උන්වහන්සේ හැඳින ගැනීම ඔවුන්ගේ ඇස්වලින් වළක්වා තිබිණි.
17“ඔබ මේ ගමන් කරන අතරේ කතා කරමින් යන්නේ කුමක් ගැන දැ?” යි උන්වහන්සේ ඔවුන්ගෙන් ඇසූ සේක.
ඔවුහු දුක්බර මුහුණින් නිශ්චලව නැවතුණහ; 18ඒ දෙදෙනාගෙන් ක්ලියොපස් නැමැත්තා පිළිතුරු දෙමින්, “මේ දවස්වල යෙරුසලමේ සිදුවන දෑ ගැන නො දැන සිටින එකම ආගන්තුකයා ඔබදැ?” යි ඇසී ය.
19“මොන සිදුවීම් දැ?” යි උන්වහන්සේ ඇසූ සේක.
ඔවුහු කතා කරමින්, “ඇයි, නාසරෙත්හි යේසුස්වහන්සේ ගැන; එතුමා දෙවියන්වහන්සේ හා මුළු ජනතාව ඉදිරියේ ක්‍රියාවෙන් හා වචනයෙන් බලවත්ව සිටි දිවැසිවරයෙක්. 20අපේ නායක පූජකයෝ හා පාලකයෝ මරණ දඬුවමට එතුමා පවා දී, කුරුසියේ ඇණ ගැසුවා. 21එහෙත් අපේ බලාපොරොත්තුව වූයේ ඉශ්‍රායෙල් ගලවා ගන්නට සිටියේ මෙතුමාණන් කියායි. ඒ හැම දේට වඩා මේ දෑ සිදු වී අදට දවස් තුනයි. 22ඒ හැර අපේ කණ්ඩායමේ ස්ත්‍රීන් කිහිප දෙනෙක් අද අප පුදුමයට පත් කළා; උදේ පාන්දරින්ම ඔවුන් සොහොන වෙත ගිය නමුත්, 23එතුමන්ගේ සිරුර එහිදී ඔවුන්ට හමු වී නැහැ. ඔවුන් ආපසු පැමිණ අපට කීවේ, එතුමාණන් ජීවත් වන්නේ යයි පැවසූ දේව දූතයින් ඔවුන්ට දර්ශන වූ බවයි. 24එවිට අප සමඟ සිටි කීප දෙනෙක් සොහොන වෙත ගිය විට, හරියටම ඒ ස්ත්‍රීන් කී ලෙසම දැක ඇති නමුත් එතුමාණන් දකින්නට ලැබී නැතැ” යි පැවසූහ.
25එවිට උන්වහන්සේ ඔවුන් අමතමින්, “අහෝ! බුද්ධි හීන වූත්, දිවැසිවරුන් පැවසූ සියල්ල විශ්වාස කරන්නට ප්‍රමාද වූත් තැනැත්තෙනි, 26ක්‍රිස්තුස්වහන්සේ ඒ දේවල් විඳ, ඉන්පසු තේජසට පත් වන්නට තිබුණා නො වේ දැ?” යි පවසා, 27මෝසෙස්ගෙන් හා සියලු දිවැසිවරුන්ගෙන් පටන් ශුද්ධ ලියවිලිවල තමන්වහන්සේ ගැන වූ සියලු දෑ පැහැදිලි කළ සේක.
28ඔවුහු තමන් යමින් සිටි ගමට ළඟා වූහ. එහෙත් උන්වහන්සේ තවත් දුර යන නියා ඇඟවූ සේක. 29එවිට ඔවුහු වඩාත් පෙරැත්ත කරමින්, “අප සමඟ නවතින්න. දැන් සවස් වේගන එනවා; දවස හොඳටම ගෙවී ගොසිනැ” යි කීහ. එබැවින් උන්වහන්සේ ඔවුන් සමඟ නවතින්නට ඇතුළට ගිය සේක.
30පසුව උන්වහන්සේ ඔවුන් සමඟ කෑමට හිඳ, රොටි ගෙන, ඊට ආශිර්වාද කර, එය කඩා, ඔවුන්ට දුන් සේක. 31එවිට ඔවුන්ගේ ඇස් ඇරී, ඔවුහු උන්වහන්සේ හැඳින ගත්හ. එහෙත් උන්වහන්සේ ඔවුන්ගේ දෘෂ්ටියෙන් අතුරුදහන් වූ සේක. 32එවිට ඔවුහු එකිනෙකා අමතමින්, “උන්වහන්සේ මග එමින් අපට කතා කරමින්, ශුද්ධ ලියවිලි පහදා දෙද්දී අපගේ සිත් දෑවා නො වේ දැ!” යි කීහ.
33ඔවුහු ඒ පැයේදීම නැගිට, යෙරුසලමට ආපසු ආහ. එහිදී ඔවුන්ට දක්නට ලැබුණේ එකොළොස් දෙනා හා ඔවුන් සමඟ වූ සෙසු අය එක් රැස්ව, 34“එය ඇත්තයි! ස්වාමින්වහන්සේ නැවත නැගිටලා. උන්වහන්සේ සීමොන්ට පෙනී ඇතැ” යි කියන අයුරු ය. 35එවිට ඔවුහු දෙදෙනා ද තමන් ගමන් කරද්දී සිදු වූ දෑ ද රොටි කඩද්දී තමන් උන්වහන්සේ හැඳිනගත් අයුරු ද පැවසූහ.
යේසුස්වහන්සේ ගෝලයින්ට ප්‍රකාශ වීම
36ඔවුන් මේ දෑ ගැන කතා කරමින් සිටියදී, යේසුස්වහන්සේ ඔවුන් මැද සිටගෙන, “ඔබට සාමය වේවා!” යි කී සේක.
37තමන් අවතාරයක් දකිතැයි සිතූ ඔවුහු ත්‍රාසයටත්, භීතියටත් පත් වූහ. 38උන්වහන්සේ ඔවුන් අමතමින්, “මොකද ඔබ කැලඹිලා? ඔබේ සිත්වල සැකයක් නැගෙන්නේ ඇයි? 39බලන්න, මගේ අත් හා මගේ පාද; සැබවින් ම මේ මමයි. මා ස්පර්ශ කර බලන්න. මන්ද ඔබට පෙනෙන පරිදි, මස් හා ඇට මට තියෙන ලෙස, අවතාරයකට ඒවා නැතැ” යි පැවසූ සේක.
40එසේ පැවසූ උන්වහන්සේ තම අත් හා පා ඔවුන්ට පෙන්වූ සේක. 41ප්‍රීතිය නිසා තවමත් විශ්වාස කළ නො හැකිව, ඔවුන් විස්මයෙන් සිටියදී, උන්වහන්සේ ඔවුන් අමතමින්, “කෑමට යමක් මෙහි ඔබ ළඟ තියෙනවා දැ?” යි ඇසූ සේක. 42පුලුස්සන ලද මාළු කැබැල්ලක් ඔවුහු උන්වහන්සේට දුන්හ. 43උන්වහන්සේ එය ගෙන, ඔවුන් ඉදිරියේම කෑ සේක.
44උන්වහන්සේ යළි ඔවුන් අමතමින්, “මෝස‍ෙස්ගේ දහම් නීති සංග්‍රහයේත්, දිවැසිවරුන්ගේත්, ගීතාවලියෙත් මා ගැන ලියවුණු හැම දෙයක්ම ඉෂ්ට විය යුතු ය කියා ඔබ හා සිටියදී මා කී වචන මේ යැ” යි පැවසූ සේක.
45ඉන්පසු ශුද්ධ ලියවිලි වටහා ගත හැකි වන සේ ඔවුන්ගේ මනස විවර කළ උන්වහන්සේ, 46ඔවුන් අමතමින්, “ලියා තිබෙන්නේ මෙලෙසයි: ‘ක්‍රිස්තුස්වහන්සේ වධ-විඳින්ටත්, තුන් වන දවසේ මළවුන්ගෙන් නැගිටින්නටත් යුතුව ඇත. 47යෙරුසලමෙන් පටන් ගෙන සෑම ජාතියකටම උන්වහන්සේගේ නාමයෙන් පසුතැවිල්ලත්, පාප කමාවත් ප්‍රකාශ කරන්නටත් යුතුව ඇත’ යනුවෙනි. 48මේ දේවලට සාක්ෂිකරුවෝ ඔබයි. 49මෙන්න! මම මාගේ පියාණන්වහන්සේගේ පොරොන්දුව ඔබ වෙතට එවන්නෙමි. එහෙත් ඉහළින් එන බලයෙන් ඔබ සරසනු ලබන තෙක්, පුරවරය තුළම නැවතී සිටින්නැ” යි පැවසූ සේක.
ස්වර්ගාරෝහණය
50ඉන්පසු බෙතානිය දක්වා ඔවුන් කැඳවාගෙන ගිය උන්වහන්සේ, ස්වකීය අත් ඔසවා ඔවුන්ට ආශිර්වාද කළ සේක. 51එසේ ආශිර්වාද කරද්දීම, ඔවුන් වෙතින් වෙන් වූ උන්වහන්සේ ස්වර්ගයට ඔසවා ගනු ලැබූ සේක. 52උන්වහන්සේට නමස්කාර කර, මහත් ප්‍රීතියෙන් යෙරුසලමට හැරී ආ ඔවුහු 53දෙවියන්වහන්සේට ප්‍රශංසා කරමින් දිගටම දේව මාලිගයේ සිටියහ.

Currently Selected:

ලූක් 24: SCV

Highlight

Share

Copy

None

Want to have your highlights saved across all your devices? Sign up or sign in