YouVersion Logo
Search Icon

ලූක් 4

4
යේසුස්වහන්සේ හා යක්ෂයා
1යේසුස්වහන්සේ ශුද්ධාත්මයාණන්ගෙන් පූර්ණව යොර්දාන් වෙතින් ආපසු පැමිණ, ආත්මයාණන්වහන්සේගේ මඟපෙන්වීමෙන් පාළුකරයේ ගෙන යනු ලැබ, 2යක්ෂයා විසින් හතළිස් දවසක් පරීක්ෂා කරනු ලැබූ සේක. එදවස් ඇතුළත උන්වහන්සේ කිසි අහරක් ගත්තේ නැත. එදවස් කෙළවරදී උන්වහන්සේට කුසගිනි දැනිණි.
3එවිට යක්ෂයා උන්වහන්සේ අමතමින්, “ඔබ දෙවියන්වහන්සේගේ පුත්‍රයා නම්, මේ ගල රොටි වන්නට අණ කරන්නැ” යි කීවේ ය.
4යේසුස්වහන්සේ පිළිතුරු දෙමින්, “ ‘රොටිවලින් පමණක් මිනිසා ජීවත් නො වේ’#4:4 ද්වි 8:3 කියා ලියා ඇතැ” යි පැවසූ සේක.
5එවිට යක්ෂයා, උන්වහන්සේ ඉහළට ගෙන ගොස්, ලොව සියලු රාජ්‍යයන් එක් මොහොතකින් පෙන්වා, 6“ඔය මුළු ආධිපත්‍යයත්, තේජසත් ඔබට දෙන්නම්; මන්ද ඒවා දී තිබෙන්නේ මට ය; මා කැමති කෙනකුට මම ඒවා දෙන්නෙමි. 7එබැවින් ඔබ නමස්කාර කළොත්, මේ සියල්ලම ඔබගේ යැ” යි කීවේ ය.
8යේසුස්වහන්සේ පිළිතුරු දෙමින්, “ ‘ඔබේ දෙවියන්වහන්සේ වූ ස්වාමින්වහන්සේට නමස්කාර කරනු; උන්වහන්සේට පමණක් සේවය කරනු’#4:8 ද්වි 6:13 කියා ලියා ඇතැ” යි කී සේක.
9එවිට ඔහු යෙරුසලමට උන්වහන්සේ ගෙන ගොස්, දේව මාලිග මුදුනේ උන්වහන්සේ සිටුවා, “ඔබ දෙවියන්වහන්සේගේ පුත්‍රයා නම් මෙතැනින් බිමට පනින්න; 10මන්ද:
“ ‘ඔබ ආරක්ෂා කරන්නට උන්වහන්සේ ස්වකීය දූතයිනට
ඔබ ගැන අණ කරනු ඇත’ කියා ද,
11‘ඔබගේ පාද ගලක නො වදින ලෙසට
ඔවුහු තම අත්වලින් ඔබ උසුලා ගනු ඇත’#4:11 ගීතා 91:11,12 කියා ද ලියා ඇතැ” යි
කීවේ ය.
12යේසුස්වහන්සේ ඔහුට පිළිතුරු දෙමින්, “ ‘ඔබේ දෙවියන්වහන්සේ වූ ස්වාමින්වහන්සේ පරීක්ෂා නො කරනු’#4:12 ද්වි 6:16 යි කියා ඇතැ” යි පැවසූ සේක.
13මෙසේ සෑම පරීක්ෂාවක්ම නිම කළ යක්ෂයා සුදුසු අවස්ථාවක් එන තෙක් උන්වහන්සේ වෙතින් ඉවත්ව ගියේ ය.
නාසරෙත්හිදී සුළුකරනු ලැබීම
14ආත්මයාණන්වහන්සේගේ බලයෙන් යුක්තව යේසුස්වහන්සේ ගලීලයට යළි ආ කල, උන්වහන්සේ පිළිබඳ ප්‍රවෘත්තිය අවට පෙදෙස් පුරා පැතිරිණි. 15උන්වහන්සේ සියල්ලන්ගෙන් පැසසුම් ලබමින්, ඔවුන්ගේ සිනගෝගවල ඉගැන්වූ සේක.
16තමන් හැදී වැඩුණු නාසරෙත් වෙත පැමිණි උන්වහන්සේ සබත් දින සුපුරුදු ලෙස සිනගෝගයට ගිය සේක. කියවීමට උන්වහන්සේ නැගිට සිටගත් කල, 17දිවැසිවර යෙසායාගේ ලියවිල්ල උන්වහන්සේ අත තබන ලදී. උන්වහන්සේ එය දිග හැර, මෙසේ සඳහන් තැන සොයා ගත් සේක:
18“ස්වාමින්වහන්සේගේ ආත්මයාණන් මා පිට ය.
මන්ද දිළිඳුන්ට ශුභාරංචිය ප්‍රකාශ කරන්නට
උන්වහන්සේ මා ආලේප කළ සේක.
සිරකරුවන්ට නිදහස ප්‍රකාශ කරන්නට ද
අන්ධයනට පෙනීම ලැබීමට ද
පීඩිතයින්ට නිදහස දීමට ද
19ස්වාමින්වහන්සේගේ ප්‍රසාදයේ වසර ප්‍රකාශ කරන්නට ද උන්වහන්සේ මා එවූ සේක.”#4:19 යෙසා 61:1,2
20ඉන්පසු උන්වහන්සේ ලියවිල්ල අකුළා බාරකරු අතට දී අසුන් ගත් සේක. සිනගෝගයේ සියල්ලන්ගේ ඇස් යොමු වී තිබුණේ උන්වහන්සේ වෙත ය. 21උන්වහන්සේ ඔවුන් අමතමින්, “මේ ලියවිල්ල, අද දවසේ ඔබ අසා සිටියදී සම්පූර්ණ වුණා” යි කී සේක.
22එවිට සියල්ලෝ උන්වහන්සේගේ ගුණ වනමින්, උන්වහන්සේගේ මුවින් පිට වූ දයාන්විත වචන ගැන විස්මිතව, “මේ යෝසෙප්ගේ පුතා නො වේ දැ?” යි කීහ.
23උන්වහන්සේ ඔවුන් අමතමින්, “ ‘වෙදාණනි, තමාම සුව කරගන්න!’ යන ප්‍රස්තාව පිරුළ ගෙන හැර, නිසැකයෙන්ම ඔබ මට කියාවි: ‘අපට අසන්නට ලැබුණු පරිදි, ඔබ කපර්ණවුමේදී කළ දේ මෙහි ඔබ උපන් ගමේදීත් කරන්න’ ” කියා.
24“සැබවින් ම මා ඔබට කියන්නේ, ගමේ දිවැසිවරයා ගම පිළිගන්නේ නැත කියායි. 25සත්‍යය මෙයයි, එලියාගේ කාලයේ තුන් අවුරුදු හය මසක් අහස වසනු ලැබ දේශය මුළුල්ලේ දැඩි සාගතයක් පැවති කල, ඉශ්‍රායෙලයේ කොතෙකුත් වැන්දඹුවන් සිටියත්, 26සීදොන් දේශයේ සරෙප්තාහි වැන්දඹු ස්ත්‍රියක වෙත මිස, ඒ කිසිවකු වෙත එලියා යවනු ලැබුවේ නැත. 27දිවැසිවර එලිෂාගේ කාලයේ, ඉශ්‍රායෙලයේ කොතෙකුත් කුෂ්ඨ රෝගීන් සිටියත්, සිරියානු නාමන් මිස, ඒ කිසිවකුත් සුව කරනු ලැබුවේ නැතැ” යි කී සේක.
28සිනගෝගයේ වූ සියල්ලෝ ඒ ඇසූ කල ක්‍රෝධයෙන් පිරී, 29නැගිට, නගරෙන් පිටතට උන්වහන්සේ පන්නා, ඔවුන්ගේ නගරය ගොඩ නගා තිබූ කන්ද අද්දරට උන්වහන්සේ ගෙන ගියහ. එසේ කළේ, ප්‍රපාතයට උන්වහන්සේ හෙළා දමන පිණිස ය. 30එහෙත් උන්වහන්සේ ඔවුන් අතරින්ම ගමන් කොට, බැහැරව ගිය සේක.
දුෂ්ට ආත්මය පහ කිරීම
31ඉන්පසු උන්වහන්සේ ගලීලයේ නගරයක් වන කපර්ණවුම් වෙත ගොස් සබතේදී ඔවුන්ට ඉගැන්වූ සේක. 32උන්වහන්සේගේ ඉගැන්වීම ආධිපත්‍යයෙන් යුතු වූයෙන්, ඔවුහු විස්මිත වූහ.
33සිනගෝගයේ සිටි අශුද්ධ යක්ෂාත්මයක් ආවේශ වූ මිනිසෙක් ඉතා උස් හඬින් කෑ ගසා, 34“හා! අපෙන් ඔබට ඇති කාරිය මොකක් ද නාසරෙත්හි යේසුස්වහන්ස? ඔබ ආවේ අප විනාශ කර දමන්න ද? ඔබ කවුරුදැයි මා දන්නවා; ඔබ දෙවියන්වහන්සේගේ ශුද්ධ තැනැන්වහන්සේ යැ” යි කීවේ ය.
35එහෙත් යේසුස්වහන්සේ ඔහුට තරවටු කරමින්. “නිශ්ශබ්ද වනු! මොහුගෙන් පිට වනු!” යි කී සේක. එවිට ඔවුන් මධ්‍යයේ ඔහු බිම හෙළූ යක්ෂාත්මය, ඔහුට හානියක් නො කර, ඔහුගෙන් පිටතට ආවේ ය.
36ඉන් විස්මිත වූ ජනයා ඔවුනොවුන් අතර අදහස් දක්වමින්, “මේ කෙබඳු වචනයක් ද? මෙතුමා ආධිපත්‍යයයෙන් හා බලයෙන් යුතුව යක්ෂාත්මයන්ට අණ දෙනවා; එවිට උන් පිට වී යනවා!” යි කීහ. 37උන්වහන්සේ පිළිබඳ වාර්තා අවට පෙදෙස් පුරා පැතිර ගියේ ය.
බොහෝ දෙනා සුව කිරීම
38උන්වහන්සේ නැගිට, සිනගෝගයෙන් පිටත්ව, සීමොන්ගේ නිවසට ගිය සේක. සීමොන්ගේ නැන්දණිය තදබල උණෙන් පෙළෙමින් සිටියෙන්, ඇයට පිහිට වන ලෙස ඔවුහු උන්වහන්සේගෙන් ඉල්ලූහ. 39එවිට උන්වහන්සේ ඇය වෙත නැඹුරුව, උණ රෝගයට තරවටු කළ සේක; උණ ඇගෙන් බැස ගියේ ය. එකෙණෙහිම නැගිට්ට ඕ, ඔවුනට සත්කාර කරන්නට වූවා ය.
40හිරු අවරට යත්ම, ඔවුහු අනේකාකාර රෝගවලින් පෙළෙන්නවුන් උන්වහන්සේ වෙත ගෙන ආහ. ඒ හැම කෙනකු පිට අත් තැබූ උන්වහන්සේ ඔවුන් සුව කළ සේක. 41යක්ෂාත්මයෝ ද “ඔබ දෙවියන්වහන්සේගේ පුත්‍රයාණෝ යැ” යි කෑ ගසමින් බොහෝ දෙනකුගෙන් දුරුව ගියහ. එහෙත් උන්වහන්සේ උන්ට තරවටු කරමින්, කතා කරන්නට ඉඩ නො දුන් සේක. මන්ද උන්වහන්සේ ක්‍රිස්තුස්වහන්සේ වග උන් දැන සිටි නිසා ය.
42පසු දින පහන් වූ කල උන්වහන්සේ පිටත්ව, හුදෙකලා තැනකට ගිය සේක. ජනයා උන්වහන්සේ සොයමින්, උන්වහන්සේ වෙත අවුත්, ඔවුන් වෙතින් ඉවත්ව යා නො දී නවතා ගන්නට තැත් දැරූහ. 43එහෙත් උන්වහන්සේ ඔවුන් අමතමින්, “දෙවියන්වහන්සේගේ රාජ්‍යයේ ශුභාරංචිය මා අනෙක් නගරවලත් දේශනා කළ යුතුයි. මන්ද මා එවනු ලැබ ඇත්තේ ඒ සඳහා යැ” යි පැවසූ සේක. 44උන්වහන්සේ යුදයේ සිනගෝගවල දේශනා කිරීමෙහි නියැළුණු සේක.

Currently Selected:

ලූක් 4: SCV

Highlight

Share

Copy

None

Want to have your highlights saved across all your devices? Sign up or sign in