YouVersion Logo
Search Icon

මතෙව් 21

21
රජ සේ යෙරුසලමට සපැමිණීම
1ඔවුන් යෙරුසලමට ළඟා වෙමින්, ඔලීව කන්දේ පිහිටි බෙත්පාගයට ළඟා වූ කල, යේසුස්වහන්සේ ගෝලයන් දෙදෙනකු පිටත් කරමින්, 2ඔවුන් අමතා, “ඔබට ඉදිරියෙන් ඇති ගමට යන්න, එකෙණෙහි කොටළු දෙනක ද ඌ සමඟ කොටළු වස්සකු බැඳ සිටිනු ඔබට දකින්නට ලැබෙයි. උන් ලිහා මා වෙත ගෙනෙන්න. 3කිසිවකු ඔබට කිසිවක් කීවොත්, ‘ස්වාමින්වහන්සේට උන් උවමනා වී ඇතැ’ යි කියන්න. එවිට ඔහු එවෙලේම උන් එවනු ඇතැ” යි කී සේක.
4මෙය සිදු වූයේ දිවැසිවරයා මඟින් පැවසුණු දෑ ඉටු වන පිණිස ය:
5“ ‘ඔන්න, ඔබේ රජ
නිහතමානීව, බූරුවකු පිට නැගී,
කොටළු වස්සකු පිට නැගී, ඔබ වෙත එතැ’ යි
සියොන් දියණියට කියන්න”#21:5 සෙකරි 9:9
යනුයි.
6ගෝලයෝ පිටත්ව ගොස්, ඔවුනට යේසුස්වහන්සේ කියා දුන් පරිදි කළහ. 7ඔවුහු කොටළු දෙන හා වස්සා ගෙන අවුත්, තමන්ගේ උඩු කබා උන් පිට අතුළහ. උන්වහන්සේ ඒ පිට හිඳගත් සේක. 8අති මහත් ජනකායක් තම උඩු කබා මහ මඟ අතුළහ. සෙස්සෝ ගස්වල අතු කපා, ඒවා මග දිගේ අතුළහ. 9උන්වහන්සේට පෙරටුව හා උන්වහන්සේට පිටුපසින් ගමන් ගත් ජනතාවෝ,
“දාවිත්ගේ පුතණුවන්ට හෝසන්නා!#21:9 අප ගැලෙවුව මැනව යන අරුතැති හෙබ්‍රෙව් වචනයකි.
“ස්වාමින්වහන්සේගේ නාමයෙන් එන තැනැත්තාණන් ආශිර්වාදිත ය!”#21:9 ගීතා 118:26
“උසස් තැන්හි හෝසන්නා!” යි
මහ හඬ නැගුවෝ ය.
10උන්වහන්සේ යෙරුසලමට ඇතුල් වූ කල, මුළු මහත් පුරවරයම කැලඹී, “මේ කවුරු දැ?” යි විමසූහ.
11“උන්වහන්සේ ගලීලයේ නාසරෙත්හි දිවැසිවර යේසුස්වහන්සේ යැ” යි ජනයා කීහ.
දේව මාලිගයේ සිද්ධිය
12දේව මාලිගයට ඇතුළු වූ යේසුස්වහන්සේ, මාලිගය තුළ විකුණමින් ද මිලට ගනිමින් ද සිටි සියල්ලන් පලවා හැරිය සේක. විනිමය මාරුකරන්නන්ගේ මේස හා පරෙවි වෙළඳුන්ගේ බංකු පෙරළා දැමූ උන්වහන්සේ, 13ඔවුන් අමතමින්, “ලියා ඇත්තේ, ‘මාගේ ගෘහය යාච්ඤාවේ ගෘහයකි’#21:13 යෙසා 56:7 කියා ය. එහෙත් නුඹලා එය ‘සොරුන්ගේ ගුහාවක්’#21:13 යෙරමි 7:11 කරති” යි කී සේක.
14අන්ධයෝ ද කොරු ද දේව මාලිගයෙහි උන්වහන්සේ වෙත ආහ. උන්වහන්සේ ඔවුන් සුව කළ සේක. 15එහෙත් නායක පූජකයෝ හා දහම් පඬිවරු, උන්වහන්සේ කළ අරුම පුදුම හා “දාවිත්ගේ පුත්‍රයාණන්ට හෝසන්නා!” කියමින් දේව මාලිගය තුළ දරුවන්ගේ මොරගෑම දැක, කුපිත වූහ.
16“මොවුන් කියන දේ ඔබට ඇහෙනවා දැ?” යි ඔවුහු උන්වහන්සේගෙන් ඇසූහ.
යේසුස්වහන්සේ පිළිතුරු දෙමින්, “ඔව්, මට ඇසේ,
“ ‘ළදරුවන්ගේ ද කිරි දරුවන්ගේ ද මුවින්
ඔබ ප්‍රශංසාව සලසා ඇත’#21:16 ගීතා 8:2
යන්න කිසි කලෙක ඔබ කියවා නැද්දැ?” යි කී සේක.
17ඉන්පසු උන්වහන්සේ ඔවුන්ගෙන් බැහැරව, පුරවරයෙන් නික්ම, බෙතානිය වෙත පැමිණ, රාත්‍රිය එහි ගත කළ සේක.
අත්තික්කා ගහක් මැලවීම
18උදයේ ආපසු පුරවරයට එද්දී උන්වහන්සේට කුසගිනි දැනිණි. 19මග අසල වූ අත්තික්කා ගහක් දුටු උන්වහන්සේ එතැනට ගිය නමුදු, එහි කොළ මිස, අන් කිසිවක් නො වීය. එවිට උන්වහන්සේ, “යළි කිසි දින පල දැරීමක් නුඹට නො වෙත්වා!” යි ඒ ගසට කී සේක. එකෙණෙහිම ඒ ගස වියළී ගියේ ය.
20ඒ දුටු ගෝලයෝ ඉන් විස්මිතව, “එකපාරට මේ අත්තික්කා ගහ වියළුණේ කෙසේ දැ?” යි ඇසූහ.
21යේසුස්වහන්සේ පිළිතුරු දෙන සේක්, “සැබවින් ම මා ඔබට කියන්නේ, ඔබට ඇදහිල්ල ඇත්නම්, සැක නො කරන්නේ නම්, ඔබට කළ හැකි වන්නේ, මේ අත්තික්කා ගහට කළ දේ පමණක් නො වේ. මේ කන්දට කතා කොට, ‘ඉදිරී ගොස්, මුහුදේ වැටෙනු’ යි කීව ද එය සිදුවනු ඇත. 22ඇදහිල්ල ඇතුව, යාච්ඤාවෙන් ඔබ ඉල්ලන කවරක් වුව ද ඔබට ලැබෙනු ඇතැ” යි පැවසූ සේක.
යේසුස්වහන්සේගේ අධිකාරිත්වය ගැන පැණය
23යේසුස්වහන්සේ දේව මාලිගාවට ඇතුළුව, උගන්වමින් සිටියදී, ජනයාගේ නායක පූජකවරු හා වැඩිහිටියෝ, උන්වහන්සේ වෙත පැමිණ, “ඔබ මේ දේවල් කරන්නේ කවර අධිකාරී බලයකින් ද? මේ බලය ඔබට දුන්නේ කවුරු දැ?” යි ඇසූහ.
24යේසුස්වහන්සේ පිළිතුරු දෙමින්, “මමත් ඔබෙන් එක ප්‍රශ්නයක් අහන්නම්; ඔබ පිළිතුරු දුන්නොත්, මා මේ දේවල් කරන්නේ කවර අධිකාරිත්වයකින් ද කියා මම ඔබට කියන්නම්; 25යොහන්ගේ බව්තීස්මය කොහෙන් පැමිණි එකක් ද? ස්වර්ගයෙන් ද? නැතිනම් මිනිසාගෙන් දැ?” යි ඇසූ සේක.
එවිට ඔවුහු තම තමන් අතරේ සාකච්ඡා කරමින්, “ ‘ස්වර්ගයෙනි’ යි කීවොත්, ‘එසේ නම් ඔබ ඔහු විශ්වාස නො කළේ මන්දැ?’ යි ඔහු අපෙන් අසනු ඇත. 26‘මිනිසුන්ගෙනි’ යි කියා අප කීවොත්, සමූහයාට අප බය ය; මන්ද යොහන්, දිවැසිවරයකු බවට සියලු ජනයා තුළ පිළිගැනීමක් ඇතැ” යි කීහ.
27එබැවින් ඔවුහු යේසුස්වහන්සේට පිළිතුරු දෙමින්, “අප දන්නේ නැතැ” යි කීහ.
එවිට උන්වහන්සේ ද “මා මේ දේවල් කරන්නේ කවර අධිකාරී බලයක් පිට ද කියා මාත් ඔබට කියන්නේ නැතැ” යි කී සේක.
පුතුන් දෙදෙනා ගැන උපමාව
28“ඔබ සිතන්නේ කුමක් ද? එක් මිනිසකුට පුතුන් දෙදෙනකු සිටියා. ඔහු පළමු වැන්නා වෙත ගොස්, ‘පුත, ගොස් අද මිදි වත්තේ වැඩ කරන්නැ’ යි කීවා.
29“ඔහු පිළිතුරු දෙමින්, ‘මට බැරි යැ’ යි කී නමුත්, පසුව ඔහු සිත වෙනස් කරගෙන, එහි ගියා.
30“පියා අනෙක් පුතු වෙත ගොස් ඒ දේම කීවා. ‘හොඳමයි මම යන්නම් ස්වාමිනි’ යි කීවත්, ඔහු ගියේ නැහැ.
31“තම පියාගේ කැමැත්ත ඉටු කළේ මේ දෙදෙනාගෙන් කවරෙක් දැ?” යි ඇසූ සේක.
“පළමු වැන්නා” යි ඔවුහු පිළිතුරු දුන්හ.
යේසුස්වහන්සේ ඔවුන්ට කතා කරමින්, “සැබවින් ම මා ඔබට කියන්නේ, අයබදුකරුවන් හා වෙසඟනන් ඔබට පළමුවෙන් දෙවියන්වහන්සේගේ රාජ්‍යයට ඇතුළු වන බවයි. 32මන්ද යොහන් ධර්මිෂ්ඨකමේ මාවත පෙන්වමින් ඔබ වෙත ආයේ ය. ඔබ, ඔහු විශ්වාස කළේ නැත. එහෙත් අයබදුකරුවෝ හා වෙසඟනෝ ඔහු විශ්වාස කළහ. එය දුටු පසු වුව ද සිත වෙනස් කරගෙන, ඔබ ඔහු විශ්වාස කළේ නැත.
වතු හිමියා සහ බදුකරුවන් ගැන උපමාව
33“තවත් උපමාවකට සවන් දෙන්න: ඉඩම් හිමියෙක් සිටියේ ය. ඔහු මිදි වත්තක් වවා, වත්ත වටා තාප්පයක් බැඳ, මිදි මඩින මෝලක් එහි කැණ, මුර ටැඹක් ද ගොඩ නැගී ය. පසුව මිදි වත්ත ගොවීනට බදු දී, පිට රටකට ගියේ ය. 34පල නෙළන කාලය උදා වූ කල, තම කොටස ලබන පිණිස, ඔහු බදුකරුවන් වෙත තම සේවකයින් යැවී ය.
35“බදුකරුවෝ ඔහුගේ සේවකයන් අල්ලා, එකකුට තැලූහ; තවකකු මැරූහ; අනෙකාට ගල් ගැසූහ. 36එවිට ඔහු පළමු වතාවට වඩා වැඩි සේවක පිරිසක් යැවී ය. ඔවුහු ඔවුනටත් ඒ දේම කළහ. 37අන්තිමට ඔහු තම පුත්‍රයා ඔවුන් වෙත යැවී ය. ‘ඔවුන් මගේ පුත්‍රයාට ගරු කරනු ඇතැ’ යි කීවේ ය.
38“එහෙත් බදුකරුවෝ ඔහුගේ පුත්‍රයා දුටු කල, ‘මෙන්න උරුමක්කාරයා! එමු; ඔහු මරා, ඔහුගේ උරුමය ගනිමු’ යි එකිනෙකාට පැවසූහ. 39මෙසේ ඔවුහු, ඔහු අල්ලා, මිදි වත්තෙන් පිටත හෙළා, ඔහු මරා දැමූහ.
40“එබැවින්, මිදි වතු හිමියා ආ කල, ඒ බදුකරුවනට කුමක් කරනු ඇද්දැ?” යි ඇසූ සේක.
41ඔවුහු පිළිතුරු දෙමින්, “ඔහු එම අධමයින් කාලකණ්ණි මරණයකට පත් කරනු ඇත. තවද නිසි වාරයට තම පලදාව තමාට දෙන වෙනත් බදුකරුවනට ඔහු ඒ මිදි වත්ත බාර දෙනු ඇතැ” යි කීහ.
42එවිට ඔවුන් ඇමතූ යේසුස්වහන්සේ,
“ ‘ඉදිකරන්නන් විසින් ඉවත ලූ ගල,
ප්‍රධාන ඉදිකිරීම් ගල බවට පත්ව ඇත;
මෙය ස්වාමින්වහන්සේම කළ දෙයකි,
අපගේ ඇස්වලට එය හරි අරුමයකි’#21:42 ගීතා 118:22,23 යන ශුද්ධ ලියවිලි පාඨය ඔබ කෙදිනකවත් කියවා නැද්ද?
43“එබැවින් මම ඔබට කියන්නේ, දෙවියන්වහන්සේගේ රාජ්‍යය ඔබගෙන් ඉවතට ගෙන, එහි පල උපද්දන වෙනත් ජනතාවකට දෙනු ලබන්නේ ය. 44මේ ගල පිට වැටෙන්නා, කැබලිවලට කඩා දමනු ලැබේ; ඒ ගල යමකු පිට වැටුණ කල, එය ඔහු සුණු විසුණු කරනු ලැබේ යැ” යි පැවසූ සේක.#21:44 ඇතැම් අත්පිටපත්වල 44 වන පදය සඳහන් නො වේ.
45නායක පූජකවරු හා පරිසිවරු උන්වහන්සේගේ එම උපමා ඇසූ කල ඒවා තමන්ට එරෙහිව එල්ල කරන ලද්දක් බැව් වටහා ගත්හ. 46උන්වහන්සේ අත්අඩංගුවට ගැනීමට මං සොයමින් සිටි නමුදු ඔවුහු ජන සමූහයාට බය වූහ. මන්ද උන්වහන්සේ දිවැසිවරයකු වශයෙන් ජනයා පිළිගෙන තිබූ බැවිනි.

Currently Selected:

මතෙව් 21: SCV

Highlight

Share

Copy

None

Want to have your highlights saved across all your devices? Sign up or sign in