YouVersion Logo
Search Icon

මතෙව් 26

26
කුමන්ත්‍රණය
1යේසුස්වහන්සේ මේ සියල්ල කියා නිම කළ පසු, තම ගෝලයින් අමතමින්, 2“තව දවස් දෙකකින් පාස්කු උළෙල එන වග ඔබ දනී. මනුෂ්‍ය පුත්‍රයාණන් ද කුරුසිපත් කරනු ලබන්නට පාවා දෙනු ලබන්නේ යැ” යි කී සේක.
3එකල නායක පූජකයෝ හා ජනයාගේ වැඩිහිටියෝ කායාපස් නම් වූ උත්තම පූජකයාගේ මන්දිරයට රැස් වූවෝ, 4රහසේම යේසුස්වහන්සේ අත්අඩංගුවට ගෙන, මරා දමන්නේ කෙසේදැයි කුමන්ත්‍රණ කළෝ ය. 5නමුත්, “උළෙල දවස්වල නො වෙයි; නැතහොත් ජනයා කැලඹෙන්නට පුළුවනි” යි කීහ.
බෙතානියේදී ආලේපය
6යේසුස්වහන්සේ බෙතානි ගම්මානයේ කුෂ්ඨ රෝගියා වූ සීමොන්ගේ නිවසේ සිටියදී, 7කිරිගරුඬ බඳුනක ඉතා මිල අධික සුවඳ විලවුන් රැගෙන ආ එක් ස්ත්‍රියක්, උන්වහන්සේ මේසයට හිඳ සිටියදී, ඒ සුවඳ විලවුන් උන්වහන්සේගේ හිසේ වත් කළා ය.
8ඒ දුටු ගෝලයෝ කුපිතව, “මේ මොන නාස්තියක් ද? 9මේ සුවඳ විලවුන් වැඩි මිලකට විකුණා ඒ මුදල් දුප්පතුන්ට බෙදා දෙන්න තිබුණා” යි කීවෝ ය.
10යේසුස්වහන්සේ ඒ බව දැන, ඔවුන් අමතමින්, “මේ ස්ත්‍රියට කරදර කරන්නේ ඇයි? ඇය මට කර තිබෙන්නේ මනහර දෙයක්. 11මන්ද දිළිඳුන් හැමදා ඔබ අතරේ සිටිනවා. එහෙත් මා හැමදා ඔබ සමඟ සිටින්නේ නැහැ. 12මෙම විලවුන් මා සිරුරේ වත් කිරීමෙන් ඇය කළේ, භූමදානයට මා සූදානම් කිරීමයි. 13සැබවින් ම මා ඔබට කියන්නේ, ලොව මුළුල්ලේ මේ ශුභාරංචිය ප්‍රකාශ කරන කොතැනක වුව ද, මැය සිහිපත් කරමින්, ඇය කළ කළ දෑ ගැන ද කියනු ලබනු ඇතැ” යි පැවසූ සේක.
පාවා දෙන්නා
14එකල දොළොස් දෙනාගෙන් කෙනකු වූ යූදස් ඉස්කාරියොත් නැමැත්තා නායක පූජකවරුන් වෙත ගොස්, 15“මා, ඔබට එතුමන් පාවා දුන්නොත් ඔබ මට දෙන්නේ මොනවා දැ?” යි ඔවුන්ගෙන් ඇසී ය. ඔවුහු රිදී කාසි තිහක් කිරා ඔහුට දුන්හ. 16එවෙලේ පටන් ඔහු උන්වහන්සේ පාවා දීමට සුදුසු අවස්ථාවක් ගැන සෙවිල්ලෙන් සිටියේ ය.
අවසන් රාත්‍රි භෝජනය
17නුමුහුන් රොටි උළෙලේ පළමු දවසේ යේසුස්වහන්සේ වෙත ආ උන්වහන්සේගේ ගෝලයෝ, “ඔබට පාස්කුව වැළඳීමට අප පිළියෙල කළ යුත්තේ කොතැනක දැ?” යි ඇසූහ.
18උන්වහන්සේ පිළිතුරු දෙමින්, “නගරයට ඇතුල්ව, අසවලා වෙත ගොස්, ‘මගේ වේලාව ළඟයි; මාගේ ගෝලයින් සමඟ මා පාස්කුව පවත්වන්නේ ඔබේ නිවසේදී ය’ කියා ගුරුතුමා කියනවායි ඔහුට කියන්නැ” යි පැවසූ සේක. 19ගෝලයෝ යේසුස්වහන්සේ දුන් උපදෙස් ලෙස පාස්කුව එහි පිළියෙල කළෝ ය.
20සවස් වූ කල උන්වහන්සේ දොළොස් දෙනා සමඟ මේසයට හිඳගත් සේක. 21එසේ ආහාර ගනිමින් සිටියදී ඔවුන් ඇමතූ උන්වහන්සේ, “සැබවින් ම මා ඔබට කියන්නේ, ඔබගෙන් කෙනෙක් මා පාවා දෙන්නේ යැ” යි පැවසූ සේක.
22ඉන් මහත් සොවට පත් ගෝලයෝ, “ඒ මම ද ස්වාමිනි?” යි එකකුට පසුව එකකු බැගින් අසන්නට වූහ.
23උන්වහන්සේ පිළිතුරු දෙමින්, “මා සමඟ එක පතේ අත ලූ තැනැත්තාම මා පාවා දෙනු ඇත. 24උන්වහන්සේ ගැන ලියවී ඇති පරිදි මනුෂ්‍ය පුත්‍රයා යනු ඇත. එහෙත් මනුෂ්‍ය පුත්‍රයා පාවා දෙන මිනිසාට වන විපතක මහත! ඒ මිනිසා නූපන්නා නම් ඔහුට වඩා හොඳ යැ” යි කී සේක.
25එවිට උන්වහන්සේ පාවා දෙන්නා වූ යූදස්, “ඒ මම ද රබ්බී?” යි ඇසී ය.
“ඔබම කීවා” යි යේසුස්වහන්සේ ඔහුට පිළිතුරු දුන් සේක.
26ඔවුන් අහර ගනිමින් සිටියදී, යේසුස්වහන්සේ රොටි ගෙන, ආශිර්වාදය පවසා, එය කඩා, ගෝලයන්ට දෙමින්, “ගන්න, ගෙන කන්න; මෙය මාගේ ශරීරය යැ” යි කී සේක.
27ඉන්පසු උන්වහන්සේ කුසලානක් ගෙන, ස්තුති පුදා, ඔවුන්ට දෙමින්, “ඔබ හැම මෙයින් ගෙන බොන්න; 28මන්ද මෙය බොහෝ දෙනකු උදෙසා, පාප කමාව සඳහා වගුරුවන ලබන ගිවිසුමේ මාගේ ලෙයයි. 29මාගේ පියාණන්වහන්සේගේ රාජ්‍යයේදී ඔබ සමඟ අලුතින් පානය කරන දවස දක්වා මෙතැන් පටන් මම මේ මිදි වැලේ පලයෙන් පානය නො කරන බැව් ඔබට කියමි” යි පැවසූ සේක.
30ගීතිකාවක් ගැයීමෙන් පසු, ඔවුහු ඔලීව කන්ද වෙත ගියහ.
පේතෘස් ගැන යේසුස්වහන්සේගේ අනාවැකිය
31ඉන්පසු ඔවුන් ඇමතූ යේසුස්වහන්සේ, “මා නිසා ඔබ හැම මේ රැයේම මා අතහැර යනු ඇත. මන්ද,
“ ‘මම එඬේරාට පහර දෙන්නෙමි;
රැළේ බැටළුවෝ එවිට විසිරවනු ලබති’#26:31 සෙකරි 13:7 යි
ලියා ඇත.
32“එහෙත් යළි මා නැගිටුවනු ලැබූ පසු, ඔබට කලින් මම ගලීලයට යන්නෙමි” යි පැවසූ සේක.
33එවිට පේතෘස් කතා කරමින්, “ඔබ නිසා හැමදෙනා ඔබ හැරදා ගියත්, මම කිසි කලෙක හැර නො යමි” යි කී ය.
34යේසුස්වහන්සේ ඔහුට පිළිතුරු දෙමින්. “සැබවින් ම මා ඔබට කියන්නේ, අද මේ රැයේ, කුකුළා හඬලන්නට පළමු මා හඳුනන්නේ නැතැයි ඔබ තුන් වතාවක්ම කියනු ඇතැ” යි පැවසූ සේක.
35“ඔබ සමඟ මට මියෙන්නට සිදු වෙතත්, කිසි කලෙක මා ඔබ ප්‍රතික්ෂේප කරන්නේ නැතැ” යි පේතෘස්, ප්‍රකාශ කළේ ය. සෙසු ගෝලයෝ සැවොම ඒ දේම කීහ.
ගෙත්සෙමනේදී
36ඉන්පසු තම ගෝලයින් සමඟ ගෙත්සෙමන නම් ස්ථානයට පැමිණි යේසුස්වහන්සේ, “මා අතැනට ගොස්, යාච්ඤා කරන තුරු, මෙහි හිඳ සිටින්නැ” යි ඔවුනට කී සේක. 37උන්වහන්සේ පේතෘස් හා සෙබදීගේ පුතුන් දෙදෙනා කැටිව ගොස්, ශෝක වන්නටත්, සංවේගී වන්නටත් විය. 38එකල උන්වහන්සේ ඔවුන් අමතමින්, “මැරෙන තරමට මගේ ජීවය ශෝකයෙන් මිරිකෙයි. මා සමඟ මෙහි අවදියෙන් ඉන්නැ” යි පැවසූ සේක.
39ඉන්පසු එයින් මදක් ඔබ්බට ගිය උන්වහන්සේ බිම වැටී, මුහුණ බිම ඔබා, යාච්ඤා කරමින්, “මාගේ පියාණෙනි, කළ හැකි නම් මේ කුසලාන මා වෙතින් ඉවත් කළ මැනව. එහෙත්, මාගේ කැමැත්ත ලෙස නො ව, ඔබගේ කැමැත්ත ලෙස වේවා!” යි කී සේක.
40ඉන්පසු ගෝලයින් වෙත පැමිණි කල, ඔවුන් නිදා සිටිනු දුටු උන්වහන්සේ පේතෘස් අමතමින්, “මා සමඟ එක පැයක් අවදියෙන් ඉන්න ඔබට බැරි වුණා ද? 41පරීක්ෂාවට නො වැටෙන පිණිස, අවදිව සිටිමින් යාච්ඤා කරන්න. ආත්මය කැමතියි. එහෙත් මාංසය දුර්වල යැ” යි කී සේක.
42දෙවන වරටත් ඔවුන් වෙතින් මෑත් වූ යේසුස්වහන්සේ, “මාගේ පියාණෙනි, මා පානය කරනු ලැබීමෙන් තොරව මේ කුසලාන ඉවත් කළ නො හැකි නම්, ඔබගේ කැමැත්තම වේවා!” යි යාච්ඤා කළ සේක.
43යළි ගෝලයින් වෙත ආ උන්වහන්සේ ඔවුන් යළි නිදා සිටිනු දුටු සේක. මන්ද ඔවුන්ගේ ඇස් නිදි බරව තිබිණි. 44ඔවුන් වෙතින් යළිත් මෑතට ගිය උන්වහන්සේ, තුන් වන වරටත් යාච්ඤා කරමින්, එම වචන ම පැවසූ සේක.
45ඉන්පසු යළිත් ගෝලයින් වෙත ආ උන්වහන්සේ ඔවුන් අමතමින්, “ඔබ තවමත් නිදාගෙන විවේක ගන්නවා ද? මෙන්න, පැය ළං වෙලා; මනුෂ්‍ය පුත්‍රයාණන් පව්කරුවන්ගේ අත්වලට පාවා දෙනු ලබයි. 46නැගිටින්න; අපි යමු. මෙන්න, මා පාවා දෙන්නා එන්නේ යැ!” යි පැවසූ සේක.
අත්අඩංගුවට ගැනීම
47උන්වහන්සේ කතා කරද්දීම, දොළොස් දෙනාගෙන් කෙනකු වූ යූදස් එහි ළඟා වූයේ, නායක පූජකයින් හා ජනයාගේ වැඩිහිටියන් විසින් එවනු ලැබූ, කඩු මුගුරු රැගත් මහා පිරිසක් ද සමඟ ය. 48පාවා දෙන්නා කණ්ඩායමට ලකුණක් දෙමින්, “මම යමකු සිඹිම් ද තැනැත්තා ඔහුයි; ඔහු අල්ලා ගන්නැ” යි සූදානම් කොට තිබිණි. 49ඔහු කෙළින්ම යේසුස්වහන්සේ වෙත ගොස්, “සෙත් වේවා රබ්බී!” යි කියා උන්වහන්සේ සිප ගත්තේ ය.
50“මිත්‍රය, ඔබ කරන්නට ආ දේ කරන්නැ” යි යේසුස්වහන්සේ ඔහුට පැවසූ සේක.
පැමිණි පිරිස එවිට ඉදිරියට අවුත්, යේසුස්වහන්සේ පිට අත් හෙළා, උන්වහන්සේ අත්අඩංගුවට ගත්හ. 51එවිට මෙන්න, යේසුස්වහන්සේ සමඟ සිටි කෙනෙක් අත දිගු කොට, තම කඩුව ඇද, උත්තම පූජකයාගේ දාසයාගේ කන කැපෙන්නට කඩු පහරක් ගැසී ය.
52යේසුස්වහන්සේ, එවිට ඔහු අමතමින්, “ඔබේ කඩුව යළි කොපුවේ දමා ගන්න. මන්ද කඩුගත් සියල්ලෝ කඩුවෙන්ම නසිති. 53මාගේ පියාණන්වහන්සේගෙන් ආධාර ඉල්ලන්නට මට බැරියැයි ඔබ සිතනවා ද? එවිට මේ දැන් මා වෙත දේව දූත සේනාංක දොළහක් උන්වහන්සේ නො එවාවි ද? 54එසේ කළහොත් විය යුතු යයි කියැවෙන ශුද්ධ ලියවිලි පාඨ ඉටු වන්නේ කෙසේ දැ?” යි පැවසූ සේක.
55ඒ පැයේදී යේසුස්වහන්සේ පිරිස් අමතමින්, “මංකොල්ලකරුවකුට එරෙහිව මෙන් කඩු මුගුරු ගෙන නුඹලා මා අල්ලන්නට ආවා ද? දවස්පතා මම දේව මාලිගයේ හිඳ ඉගැන්වූයෙමි. එහෙත් නුඹලා මා අල්ලා ගත්තේ නැත. 56සැබවින් ම මේ හැම එකක්ම සිදු වූයේ දිවැසිවරුන්ගේ ලියවිලි ඉටු වන පිණිස යැ” යි කී සේක. එවිට උන්වහන්සේගේ ගෝලයෝ හැම උන්වහන්සේ අත්හැර පලා ගියහ.
මන්ත්‍රණ සභාව ඉදිරිපිට
57ඉන්පසු, යේසුස්වහන්සේ අල්ලාගත් අය, උත්තම පූජක කායාපස් වෙත උන්වහන්සේ ගෙන ගියහ. දහම් පඬිවරුන් හා ජනයාගේ වැඩිහිටියෝ එහි රැස් වී සිටියහ. 58උත්තම පූජක මැදුරේ මිදුල තෙක් මදක් දුරින්, යේසුස්වහන්සේ පසුපසින් ගිය පේතෘස් ඉන්පසු එහි ඇතුළුව, කුමක් වේ දෝයි බලනු පිණිස, මුර සේවකයන් හා හිඳ ගත්තේ ය.
59නායක පූජකවරු හා මුළු මන්ත්‍රණ සභාව යේසුස්වහන්සේ මරණයට පමුණුවන පිණිස, උන්වහන්සේට විරුද්ධව බොරු සාක්ෂි සොයන්නට වූහ. 60බොරු සාක්ෂිකරුවන් බොහෝ දෙනෙක් ඉදිරිපත් වුව ද, ඔවුන්ට කිසිවක් සොයාගත නො හැකි විය.
අන්තිමේදී දෙදෙනෙක් ඉදිරිපත් වී, 61“ ‘දෙවියන්වහන්සේගේ දේව මාලිගය කඩා දමා, තුන් දවසකින් එය යළි ගොඩ නගන්න මට පුළුවන් ය’ කියා මොහු කීවා” යි ප්‍රකාශ කළහ.
62එවිට උත්තම පූජකයා නැගිට, “ඔබට දෙන්නට උත්තර නැති ද? මේ මිනිසුන් ඔබට විරුද්ධව ගෙනෙන මේ සාක්ෂිය කුමක් දැ?” යි ඇසී ය. 63එහෙත් යේසුස්වහන්සේ නිහඬව සිටි සේක.
එවිට උත්තම පූජකයා උන්වහන්සේ අමතමින්, “දෙවියන්වහන්සේගේ පුත්‍රයාණන් වූ ක්‍රිස්තුස්වහන්සේ ඔබ නම්, ඒ වග අපට කියන ලෙස, ජීවමාන දෙවියන්වහන්සේගේ නාමයෙන් දිවුරා ඔබට අණ කරමි” යි පැවසී ය.
64යේසුස්වහන්සේ ඔහුට පිළිතුරු දෙමින්, “ඔබම කීවෙහි ය. එහෙත් මා ඔබට කියන්නේ, මනුෂ්‍ය පුත්‍රයාණන් පරාක්‍රමයාණන්වහන්සේගේ දකුණු පස අසුන් ගෙන සිටිනු ද අහසේ වලාකුළු මතින් පැමිණෙනු ද මෙතැන් පටන් ඔබ දකිනු ඇත කියා යැ” යි පැවසූ සේක.#26:64 ගීතා 110:1; දානි 7:13.
65එවිට තම හැඳිවත් ඉරා ගත් උත්තම පූජකයා, “ඔහු කීවේ දේවාපහාස! තවත් සාක්ෂිකරුවන් අපට කුමට ද? මේ දැන් ඔහුගේ දේවාපහාසය ඔබට ඇහුණා; 66ඔබේ තීරණය කුමක් දැ?” යි පැවසී ය.
“ඔහු සුදුසු මරණයට යැ” යි ඔවුහු පිළිතුරු දුන්හ.
67එවිට ඔවුහු, උන්වහන්සේගේ මුහුණට කෙළ ගැසූහ; මිට මොළවා පහර දුන්හ. සෙසු අය උන්වහන්සේට අත්මිටින් පහර දෙමින්, 68“ඔබට ගැහුවේ කවුරු ද කියා දිවැසින් අපට කිව මැනව ක්‍රිස්තුනි” යි කීහ.
පේතෘස්ගේ ප්‍රතික්ෂේපය
69මේ අතර පේතෘස් පිටත මිදුලේ හිඳගෙන සිටියේ ය. සේවිකාවක් ඔහු වෙත අවුත්, “ගලීල යේසුස් සමඟ ඔබත් සිටියා” යි කීවා ය.
70එහෙත් ඒ සියල්ලන් ඉදිරියේ එය ප්‍රතික්ෂේප කළ ඔහු, “ඔබ මොනවා කියනවාදැයි මා දන්නේ නැතැ” යි කීවේ ය.
71ඉන්පසු ඔහු පිටත දොරකඩ වෙත ගියේ ය. එහිදී වෙනත් සේවිකාවක් ඔහු දැක, “මේ මිනිහා අර නාසරෙත්හි යේසුස් සමඟ සිටියා” යි එහි සිටියවුනට කීවා ය.
72යළිත් ඔහු එය ප්‍රතික්ෂේප කරමින්, “මා ඒ මිනිසා හඳුනන්නේ නැතැ!” යි දිවුරා කීවේ ය.
73මද වේලාවකට පසු ඔහු අසල සිටි අය ඔහු ළඟට අවුත්, “ඇත්තෙන්ම ඔබ ඔවුන්ගෙන් කෙනෙක් තමයි. ඔබගේ උච්චාරණය ඔබ පාවා දේ යැ” යි කීහ.
74එවිට ඔහු තමාටම ශාප කර ගන්නටත්, “මා ඒ මිනිසා හඳුනන්නේ නෑ!” යි කියමින් දිවුරන්නටත් වන්නේ ය.
එකෙණෙහිම කුකුළා හැඬලී ය. 75එවිට, “කුකුළා හඬලන්නට පෙර ඔබ, මා හඳුනන්නේ නැතැයි තුන් වරක්ම කියනු ඇතැ” යි යේසුස්වහන්සේ පැවසූ වචන පේතෘස් සිහි කොට, එතැනින් පිටව ගොස්, දැඩි සංවේගයෙන් හැඬී ය.

Currently Selected:

මතෙව් 26: SCV

Highlight

Share

Copy

None

Want to have your highlights saved across all your devices? Sign up or sign in