YouVersion Logo
Search Icon

මාර්ක් 11

11
ජයාන්විතව යෙරුසලමට පැමිණීම
1ඔවුහු යෙරුසලමට ළඟා වෙමින්, ඔලීව කඳු බෑවුමේ පිහිටි බෙත්පාගේ හා බෙතානිය වෙත ළඟා වූ කල, යේසුස්වහන්සේ තම ගෝලයින් දෙදෙනකු පිටත් කර යවමින්, 2ඔවුන් අමතා, “ඔබට ඉදිරියෙන් ඇති ගමට යන්න; ඔබ ඇතුල් වන කෙණෙහි, කිසි කලෙක කිසිවකු නො නැගුණු, බැඳ සිටින කොටළු වස්සකු ඔබට හමු වෙයි. ඌ ලිහා මෙහි ගෙනෙන්න. 3යම් කෙනෙක් ඔබට කතා කොට, ‘ඇයි ඔබ මෙහෙම කරන්නේ?’ යි ඇසුවහොත් ‘ස්වාමින්වහන්සේට ඌ උවමනා ය, නො පමාව ඌ නැවත මෙහි එවනු ලැබේ ය’ කියා කියන්නැ” යි කී සේක.
4ඔවුහු ගොස්, වීදියෙන් පිටත ගෙපිලක් අසල බැඳ සිටි කොටළු වස්සකු දැක, ඌ ලිහත්ම, 5එහි සිටි අයගෙන් ඇතමෙක්, “මොකද මේ කරන්නේ? කොටළු වස්සා ලිහන්නේ ඇයි දැ?” යි ඇසූහ. 6ඔවුන් යේසුස්වහන්සේ පැවසූ ලෙස පිළිතුරු දුන් කල ඔවුහු ඔවුන්ට යන්න හැරියෝ ය. 7ඔවුහු කොටළු වස්සා යේසුස්වහන්සේ වෙත ගෙන අවුත්, ඌ පිට තමන්ගේ උඩු කබා අතුළහ. උන්වහන්සේ ඌ පිට හිඳගත් සේක. 8එවිට බොහෝ දෙනෙක් තම උඩු කබා ද අනෙක් අය වතුවලින් කපා ගත් කොළ අතු ද මඟ අතුළෝ ය. 9උන්වහන්සේ පෙරටුවෙන් ද පසුපසින් ද ගමන් කළ අය මහ හඬ නැගුවෝ ය,
“හෝසන්නා!#11:9 අප ගැලෙවුව මැනව යන අරුතැති හෙබ්‍රෙව් වචනයකි.
“ස්වාමින්වහන්සේගේ නාමයෙන් එන තැනැත්තාණන් ආශිර්වාදිත ය!”#11:9 ගීතා 118:25,26
10“අප පිය වූ දාවිත්ගේ මතු පැමිණෙන රාජ්‍යය ආශිර්වාදිත ය!”
“ඉතාම උසස් තැන්හි හෝසන්නා!”
11උන්වහන්සේ යෙරුසලමට පැමිණ, දේව මාලිගයට ඇතුළුව එහි වූ සියල්ල දෙස බලා, ඒ වන විටත් සවස්ව තිබූ බැවින්, දොළොස් දෙනා ද කැටිව බෙතානිය බලා ගිය සේක.
අත්තික්කා ගසට කළ ශාපය හා දේව මාලිගාව පිරිසිදු කිරීම
12පසු දා ඔවුන් බෙතානියෙන් නික්ම එන කල, යේසුස්වහන්සේට කුසගිනි විය. 13කොළ සහිත අත්තික්කා ගහක් උන්වහන්සේ දුරදීම දැක, එයින් යමක් හමුවේදැයි බැලීමට ගිය සේක්, ගස ළඟට පැමිණි කල, කොළ මිස අන් දෙයක් උන්වහන්සේ දුටුවේ නැත. මන්ද එය අත්තික්කා වාරය නො වීය. 14එවිට උන්වහන්සේ ඒ ගස අමතා, “කිසිවෙක් යළි කිසි දින නුඹෙන් පල අනුභව නො කරත්වා” යි පැවසූ සේක. උන්වහන්සේගේ ගෝලයින්ට එය ඇසිණි.
15ඔවුහු යෙරුසලමට පැමිණියහ. යේසුස්වහන්සේ දේව මාලිගයට ඇතුළුව, දේව මාලිගය තුළ විකුණමින් හා මිලයට ගනිමින් සිටියවුන් පිටතට පලවා හරින්නට පටන් ගත් සේක්, මුදල් මාරුකරන්නන්ගේ මේස ද පරෙවි වෙළඳුන්ගේ ආසන ද පෙරළා දැමූ සේක. 16දේව මාලිගය මැදින් කිසිවක් ගෙන යෑමට උන්වහන්සේ කිසිවකුට ඉඩ දුන්නේ නැත. 17ඉන්පසු යේසුස්වහන්සේ ඔවුන්ට උගන්වමින්, “ ‘මාගේ ගෘහය සියලු ජාතීන්ට යාච්ඤාවේ ගෘහයක් වන්නේ ය’#11:17 යෙසා 56:7 කියා ලියා නැද්ද? එහෙත් නුඹලා එය ‘සොරුන්ගේ ගුහාවක්’#11:17 යෙරමි 7:11 කර තිබේ යැ” යි පැවසූ සේක.
18ඒ ඇසූ නායක පූජකවරු හා දහම් පඬිවරු, උන්වහන්සේ මරා දැමීමට සෙවූහ. මන්ද මුළු පිරිස උන්වහන්සේගේ ඉගැන්වීම් ගැන විස්මිත වූ බැවින් ඔවුහු උන්වහන්සේට බය වූහ.
19සවස් වූ කල යේසුස්වහන්සේ නුවරින් නික්ම ගිය සේක.
20උදෑසන ඔවුහු යද්දී අත්තික්කා ගහ මුල සිටම වියළී ඇති බව දුටහ. 21පේතෘස් සිද්ධිය සිහිවී, උන්වහන්සේ අමතා, “රබ්බී, බලන්න! ඔබ ශාප කළ අත්තික්කා ගහ වියළී ගොසිනැ!” යි කීවේ ය.
22යේසුස්වහන්සේ ඔවුන්ට පිළිතුරු දෙමින්, “දෙවියන්වහන්සේ තුළ අදහන්න. 23සැබවින් ම මා ඔබට කියන්නේ, යමෙක් මේ කන්දට කතා කොට, ‘ඉදිරී ගොස්, මුහුදේ වැටෙනු’ කියා, ඔහුගේ හදින් සැක නො කොට, තමන් අණ කළ දෙය එලෙසින්ම සිදු වෙතැයි විශ්වාස කරන්නේ නම්, ඔහු කියන දේ සිදු වේ. එය ඔහුට ඉටුකර දෙනු ලැබේ. 24එබැවින් මා ඔබට කියන්නේ, ඔබ යාච්ඤාවෙන් ඉල්ලන කවර දෙයක් වුව, ඔබට ලැබුණේ යැයි විශ්වාස කරන්න; එය ඔබටම වන්නේ ය. 25ඔබ යාච්ඤා කරන්නට සිටගන්නා විට, යමකුට විරුද්ධව යම් දෙයක් ඇත්නම්, ස්වර්ගයේ වෙසෙන ඔබගේ පියාණන්වහන්සේත් ඔබේ වැරදි කමා කරන පිණිස, ඔහුට කමාව දෙන්න. 26#11:26 ඇතැම් පුරාණ අත්පිටපත්වල මෙම පදය ඇතුළත් නො වේ.එහෙත් ඔබ කමා නො කරන්නේ නම්, ස්වර්ගයේ සිටින පියාණන්වහන්සේ ද ඔබේ වැරදි කමා නො කරන සේකැ” යි කී සේක.
යේසුස්වහන්සේගේ අධිකාරී බලය ගැන පැණයක්
27ඔවුහු යළිත් යෙරුසලමට පැමිණියහ. යේසුස්වහන්සේ දේව මාලිගයේ සක්මන් කරමින් සිටියදී, නායක පූජකවරු, දහම් පඬිවරු හා වැඩිහිටියෝ උන්වහන්සේ වෙත පැමිණ, 28“ඔබ මේ දේවල් කරන්නේ කවර අධිකාරී බලයකින් ද? ඔබට මේවා කිරීමට බලය දුන්නේ කවුරු දැ?” යි උන්වහන්සේගෙන් ඇසූහ.
29යේසුස්වහන්සේ ඔවුන් අමතමින්, “මමත් ඔබෙන් එක ප්‍රශ්නයක් අහන්නම්; එයට පිළිතුරු දුන්නොත්, එවිට මේ දේවල් මා කරන්නේ කවර අධිකාරිත්වයකින් ද කියා ඔබට කියන්නම්; 30යොහන්ගේ බව්තීස්මය ස්වර්ගයෙන් ද? නැතිනම් මිනිසුන්ගෙන් ද? මට උත්තර දෙන්නැ!” යි කී සේක.
31එවිට ඔවුහු තම තමන් අතරේ සාකච්ඡා කරමින්, “ ‘ස්වර්ගයෙනි’ යි කීවොත්, ‘එසේ නම් ඔබ ඔහු විශ්වාස නො කළේ මන්දැ?’ යි ඔහු අසාවි. 32‘මිනිසුන්ගෙනි’ යි කීවොත්” (යොහන් සැබවින් ම දිවැසිවරයකු බව මුළු ජනතාව පිළිගෙන තිබූ හෙයින් එසේ කීමට ඔවුහු බිය වූහ.)
33එබැවින් ඔවුහු යේසුස්වහන්සේට පිළිතුරු දෙමින්, “අප දන්නේ නැතැ” යි කීහ.
යේසුස්වහන්සේ ද පිළිතුරු දෙමින්, “මා මේ දේවල් කරන්නේ කවර අධිකාරී බලයක් පිටදැයි මා ද ඔබට කියන්නේ නැතැ” යි පැවසූ සේක.

Currently Selected:

මාර්ක් 11: SCV

Highlight

Share

Copy

None

Want to have your highlights saved across all your devices? Sign up or sign in