Logo de l'Aplicació de la Bíblia
Icona de cerca

දානියෙල් 1

1
දානියෙල් සහ සගයෝ
1යූදාහි රජු වූ යෙහෝයාකීම්ගේ රාජ්‍ය සමයේ තුන් වන වසරේ බබිලෝනියේ නෙබුකද්නෙසර් රජු යෙරුසලමට අවුත්, එය වැටලී ය. 2ස්වාමින්වහන්සේ යූදාහි රජු වූ යෙහෝයාකීම් ඔහුගේ අතට යටත් කර දුන් සේක්, දෙවියන්වහන්සේගේ ගෘහයේ වූ ඇතැම් භාණ්ඩ ද ඒ සමඟ දුන් සේක. ඔහු ඒවා ෂිනාර් දේශයේ තම දෙවියන්ගේ දෙවොලට ගෙන ගොස්, තම දෙවියන්ගේ ගබඩා නිවසෙහි දැමුවේ ය.
3ඉන්පසු රජු, තම මාලිග නිලධාරීන්ගේ ප්‍රධානී අෂ්පෙනස් අමතා, රාජකීයය වූ වංශවත් වූ ඉශ්‍රායෙල් ඇතැම් දෙනකු ගෙනෙන ලෙස අණ කළේ ය. 4ඔවුහු ශාරීරික දෝෂයකින් තොර, යෞවන, කඩවසම්, සකල ප්‍රඥාවෙහි සමත්, දැනගැන්ම, වටහාගැන්ම හා දැනුම් තේරුම් ඇති, රජ මාලිගයේ සේවයට සුදුස්සන් වූවන් විය යුතු විය. කල්දිවරුන්ගේ භාෂාව හා සාහිත්‍යය ඔවුනට ඉගැන්විය යුතු විය. 5රජු අහරට ගන්නා භෝජන හා රජු පානය කරන මිදි යුෂ යන දැයින් දිනපතා කොටසක් රජු ඔවුනට නියම කළේ ය. ඔවුන් තුන් අවුරුදු පුහුණුවක් ලැබිය යුතු විය. රජු ඉදිරියේ ඔවුන් පෙනී සිටිය යුතු වූයේ ඉන්පසුව ය.
6ඔවුන් අතරෙහි යූදා පුත්‍රයින් වූ දානියෙල්, හනනියා, මිෂායෙල් හා අසරියා ද වූහ. 7ප්‍රධාන නිලධාරී ඔවුනට අලුත් නම් තැබී ය: දානියෙල්ට බේල්ටෙෂසර් ද හනනියාට ෂද්‍රක් ද මිෂායෙල්ට මේෂක් ද අසරියාට අබේද්-නෙගෝ ද යන වශයෙනි.
8එහෙත් දානියෙල්, රාජ භෝජනයෙන් හා රජුගේ මිදි යුෂවලින් තමා අපවිත්‍ර කර නො ගැනීමට අධිෂ්ඨාන කර ගත්තේ ය. එබැවින් එසේ අපවිත්‍ර නො වී සිටීමට ප්‍රධාන නිලධාරියාගෙන් ඔහු අවසර ඉල්ලී ය. 9ප්‍රධාන නිලධාරී වෙතින් ප්‍රසාදයත්, අනුකම්පාවත් දානියෙල්ට ලැබෙන්නට දෙවියන්වහන්සේ සැලසූ සේක. 10එහෙත් දානියෙල් ඇමතූ ප්‍රධාන නිලධාරී, “ඔබගේ ආහාරත්, පානත් නියම කළ මගේ ස්වාමියා වන රජ්ජුරුවන්ට මම භය ඇත්තෙමි. ඔබේ වයසේ සෙසු තරුණයින්ට වඩා ඔබ වැහැරී සිටිනු ඔහු දැකිය යුත්තේ ඇයි? එසේ වුවහොත් රජු, ඔබ නිසා මගේ හිස ගනු ඇතැ” යි පැවසී ය.
11පසුව දානියෙල්, හනනියා, මිෂායෙල් හා අසරියා සම්බන්ධ ව ප්‍රධාන නිලධාරී විසින් පත් කරන ලද භාරකාර නිලධාරී ඇමතූ දානියෙල්, 12“කරුණාකර, ඔබේ සේවක අප දහ දවසක් පරීක්ෂා කර බලන්න; අපට ආහාර වශයෙන් එළවළුත්, පානයට වතුරත් පමණක් දෙන්න. 13ඉන්පසු අපගේ ස්වභාව, රාජ භෝජන වළඳන තරුණයින්ගේ ස්වභාව හා සසඳා බලා, ඔබට පෙනෙන දේට අනුකූලව අප ගැන කටයුතු කරන්නැ” යි ඉල්ලී ය. 14එබැවින් ඊට එකඟ වූ ඔහු දහ දවසක් ඔවුන් පරීක්ෂා කළේ ය.
15දස දවස කෙළවරදී මොවුන්, රාජ භෝජන වැළඳූ අන් කවර තරුණයකුටත් වඩා සෞඛ්‍ය සම්පන්න ව පුෂ්ටිමත් ව සිටිනු පෙනිණි. 16එබැවින් ඔවුනට නියමිත ප්‍රණීත ආහාර හා ඔවුන්ගේ පානයට නියමිත මිදි යුෂ ඉවත් කළ භාරකාර නිලධාරී ඒ වෙනුවට ඔවුනට එළවළු දුන්නේ ය.
17මෙම තරුණයින් සිවුදෙනාට දෙවියන්වහන්සේ, සාහිත්‍යයේ හා ශිල්ප ශාස්ත්‍රයේ හැම අංගයක් ගැන ම දැනුමත්, ප්‍රඥාවත් දුන් සේක. තවද සියලු ආකාර දර්ශන හා ස්වප්න පිළිබඳ වැටහීමක් දානියෙල්ට තිබිණි.
18ඔවුන් කැඳවීමට රජු නියම කළ කාලය සම්පූර්ණ වූ කල, ප්‍රධාන නිලධාරී ඔවුන් නෙබුකද්නෙසර් ඉදිරියට පැමිණ වී ය. 19රජු ඔවුන් සමඟ කතා බහ කළේ ය. ඔවුන් සියල්ලන් අතරේ දානියෙල් ද හනනියා ද මිෂායෙල් ද අසරියා ද හා සමාන කිසිවකුත් හමු වූයේ නැත. එබැවින් ඔවුහු රජු ඉදිරියෙහි වූහ. 20ප්‍රඥාව හා අවබෝධය පිළිබඳව රජු ප්‍රශ්න කළ හැම කරුණකදී ම ඔහුගේ රාජධානියේ වූ සියලු ඉන්ද්‍රජාලිකයින්ට හා මන්ත්‍රකරුවනට වඩා දස ගුණයක් ඔවුන් සමත් බැව් රජු දැනගත්තේ ය.
21කෝරෙෂ් රජුගේ පළමු වසර දක්වා දානියෙල් එහි සිටියේ ය.

Subratllat

Copia

Compara

Comparteix

None

Vols que els teus subratllats es desin a tots els teus dispositius? Registra't o inicia sessió