Logo de l'Aplicació de la Bíblia
Icona de cerca

දානියෙල් 3

3
යෝධ රන් පිළිමය
1නෙබුකද්නෙසර් රජු හැට රියනක්#3:1 මීටර් 27ක් පමණ. උස, හය රියනක්#3:1 මීටර් 2.7ක් පමණ. පළල රන් පිළිමයක් සාදා, බබිලෝනි පළාතේ දූරා තැන්නෙහි එය සිටුවී ය. 2පසුව නෙබුකද්නෙසර් රජු පිහිටුවා තිබූ පිළිමය කැප කිරීමේ අවස්ථාවට එක් වන ලෙස දේශාධිපතීන්, ප්‍රදේශාධිපතීන්, ආණ්ඩුකාරයින්, උපදේශකයින්, භාණ්ඩාගාරිකයින්, විනිශ්චයකරුවන්, මහේස්ත්‍රාත්වරුන් හා ඒ ඒ පළාත්හි සියලු නිලධාරීන් කැඳවමින්, නෙබුකද්නෙසර් රජු පණිවුඩ යැවී ය. 3එවිට දේශාධිපතීහු, ප්‍රදේශාධිපතීහු, ආණ්ඩුකාරවරු, උපදේශකයෝ, භාණ්ඩාගාරිකයෝ, විනිශ්චයකරුවෝ, මහේස්ත්‍රාත්වරු හා පළාත්හි සෙසු සියලු නිලධාරීහු නෙබුකද්නෙසර් රජ පිහිටුවා තිබූ පිළිමය කැප කිරීමට එක් රැස් වූවෝ, නෙබුකද්නෙසර් රජු පිහිටුවා තිබූ පිළිමය අබියස සිටගත්හ.
4එවිට රාජ-ප්‍රකාශකයා උස් හඬ නගා මෙසේ ප්‍රකාශ කළේ ය: “එම්බා ජනයිනි, ජාතීනි, විවිධ භාෂා කතාකරන්නනි, නුඹලාට මෙසේ අණ කරනු ලැබේ; 5හොරණෑ, බටනළා, සිතාර, වීණා, මහ වීණා, නළා හා සකල විධ සංගීත නාදය ඔබට ඇසුණු විගස, බිම වැතිර, නෙබුකද්නෙසර් රජු පිහිටුවා ඇති රන් පිළිමයට නමස්කාර කළ යුතුයි. 6බිම වැටී නමස්කාර නො කරන කවරකු වුව ඇවිළෙන ගිනි උදුනක් තුළට එවේලේ ම හෙළා දැමේ.”
7එබැවින් හොරණෑ, බටනළා, සිතාර, වීණා, මහ වීණා, නළා හා සකල විධ සංගීත නාදය ඇසුණු විගස ජනතාවෝ, ජාතීහු හා ඒ ඒ භාෂා කතාකරන්නෝ යන සියල්ලෝ බිම වැතිරී, නෙබුකද්නෙසර් රජු පිහිටුවා තිබූ රන් පිළිමයට නමස්කාර කළෝ ය.
8ඒ අවස්ථාවේ කල්දිවර ඇතමෙක් ඉදිරියට අවුත්, යුදෙව්වනට එරෙහිව ප්‍රසිද්ධියේ චෝදනා නගන්නට වන්හ. 9ඔවුහු කතා කරමින්, නෙබුකද්නෙසර් රජු අමතා, “අහෝ රජතුමනි, ඔබ සැම කල් දිනේවා! 10රජතුමනි, ඔබ ආඥාවක් නිකුත් කර තිබේ; හොරණෑ, බටනළා, සිතාර, වීණා, මහ වීණා, නළා හා සකල විධ සංගීත නාදය අසන හැම කෙනකු ම බිම වැතිරී, රන් පිළිමයට නමස්කාර කළ යුතු ය කියාත්, 11එසේ බිම වැටී නමස්කාර නො කරන කවරකු වුව, ඇවිළෙන ගිනි උදුනක් තුළට හෙළා දැමේය කියාත් ඉන් දැක් වේ. 12එහෙත් බබිලෝනි පළාතේ පරිපාලන කටයුතු සඳහා ඔබ පත් කළ ෂද්‍රක්, මේෂක් හා අබේද්-නෙගෝ යන යුදෙව්වන් ඔබට කිසි සැලකිල්ලක් දක්වන්නේ නැත. අහෝ රජතුමනි, ඔවුන් ඔබේ දෙවිවරුනට සේවය කරන්නේවත්, ඔබ පිහිටුවා ඇති රන් පිළිමයට නමස්කාර කරන්නේවත් නැතැ” යි කීහ.
13එවිට කෝපයෙන් වියරු වූ නෙබුකද්නෙසර්, ෂද්‍රක් ද මේෂක් ද අබේද්-නෙගෝ ද ගෙනෙන්නට නියෝග කළේ ය. එබැවින් ඒ මිනිස්සු රජු ඉදිරියට පමුණු වන ලදහ. 14ඔවුන් ඇමතූ නෙබුකද්නෙසර්, “ඒක ඇත්ත ද! එම්බා ෂද්‍රක්, මේෂක්, අබේද්-නෙගෝ! නුඹලා මගේ දෙවිවරුන්ට සේවය කරන්නේත්, මා පිහිටූ රන් පිළිමයට නමස්කාර කරන්නේත් නැතැයි කියන එක? 15දැන් හොරණෑ, බටනළා, සිතාර, වීණා, මහ වීණා, නළා හා සකල සංගීත නාදය ඔබට ඇසෙන කල, මා හදා ඇති පිළිමයට බිම වැතිරී නමස්කාර කරන්නට ඔබ සූදානම් වූවොත් යෙහෙකි. එහෙත් ඔබ ඊට නමස්කාර නො කරන්නේ නම්, ඇවිළෙන ගිනි උදුනක් තුළට එවේලේ ම ඔබ හෙළා දැමේ. එවිට මගේ අතින් ඔබ මුදාලීමට සමත් දෙවියා කවුරු දැ?” යි ඇසී ය.
16ෂද්‍රක්, මේෂක් හා අබේද්-නෙගෝ රජුට පිළිතුරු දෙමින්, “එම්බා නෙබුකද්නෙසර්, මේ කාරණයේදී ඔබ ඉදිරියේ නිදහසට කරුණු කීමේ වුවමනාවක් අපට නැත. 17එසේ කරනු ලැබුවත්, ඇවිළෙන ගිනි උදුනෙන් අප ගලවා ගන්නට අප සේවය කරන අපේ දෙවියන්වහන්සේට පුළුවන. එම්බා රජ්ජුරුවනි, ඔබේ අතින් උන්වහන්සේ අප මුදාලන සේක. 18උන්වහන්සේ එසේ නො කළත්, අහෝ රජ්ජුරුවනි, ඔබේ දෙවිවරුන්ට අප සේවය කරන්නේ නැති වගත්, ඔබ පිහිටූ රන් පිළිමයට අප නමස්කාර කරන්නේ නැති වගත් දැනගන්න” යි කීහ.
19එවිට නෙබුකද්නෙසර් මුළුමනින් කෝපාවිෂ්ට විය. ෂද්‍රක්, මේෂක් හා අබේද්-නෙගෝ වෙත ඔහුගේ මුහුණේ ස්වාභාව වෙනස් විය. ගිනි උදුන එහි සාමාන්‍ය උෂ්ණත්වයට වඩා හත් ගුණයකින් රත් කරන්නට ඔහු නියෝග කළේ ය. 20ෂද්‍රක් ද මේෂක් ද අබේද්-නෙගෝ ද බැඳ, ඇවිළෙන ගිනි උදුනට ඔවුන් හෙළා දමන ලෙස, ඔහු තම හමුදාවේ වඩා ශක්තිමත් හේවායින් කීපදෙනකුට නියෝග කළේ ය. 21එබැවින් ඒ මිනිස්සු ඔවුන් ඇඳ සිටි සළු, කබා, තලප්පා හා සෙසු ඇඳුම් පිටින් ම බැඳ, ඇවිළෙන ගිනි උදුනට හෙළා දමන ලදහ. 22රජුගේ අණ ඒ සා හදිසි වූ නිසාත්, ගිනි උදුන අධික ලෙස රත් ව තිබූ නිසාත් ඒ වියරු ගිනි දළුවලින් ෂද්‍රක්, මේෂක් හා අබේද්-නෙගෝ ඔසවාගෙන ගිය සෙබළුන් මරා දැමිණ. 23ෂද්‍රක්, මේෂක් හා අබේද්-නෙගෝ යන තිදෙනා ම බැඳි බැමි පිටින් ම ඇවිළෙන ගිනි උදුන තුළට වැටුණහ.
24එවිට විස්මයෙන් ඇලළී හදිසියෙන් ම නැගී සිටි නෙබුකද්නෙසර්, “අප ගින්නට හෙළා දැම්මේ බඳිනු ලැබූ මිනිසුන් තුන් දෙනෙක් නො වේ දැ?” යි ඔහුගේ උපදේශකයන්ට කියා පෑවේ ය.
“සත්තකින් ම එසේය රජතුමනි” යි ඔවුහු පිළිතුරු දුන්හ.
25එවිට ඔහු, “අර බලන්න! මිනිසුන් සතර දෙනෙක් බැඳුම් නොමැතිව, ගින්න මැද ඇවිදිනු මට පෙනේ; ඔවුන්ට උපද්‍රවයක් නැත. සතරවැන්නා පෙනුමෙන් දෙවියන්ගේ පුත්‍රයකු වගේ” යි පැවසී ය.
26එවිට නෙබුකද්නෙසර් ඇවිළෙන උදුනෙහි පිවිසුම අසලට ළං වී, මොර ගසා, “ෂද්‍රක්, මේෂක්, අබේද්-නෙගෝ! මහෝත්තම දෙවියන්වහන්සේගේ සේවකයිනි, පිටතට එන්න! මෙහි එන්නැ” යි කියා පෑ ය.
එවිට ෂද්‍රක්, මේෂක් හා අබේද්-නෙගෝ ගින්නෙන් පිටතට ආහ. 27දේශාධිපතීහු, ප්‍රදේශාධිපතීහු, ආණ්ඩුකරුවෝ හා රාජකීය උපදේශකයෝ ද ඔවුන් වටකර ගත්හ. ඒ තිදෙනාගේ සිරුරුවලට ගින්න කිසි උපද්‍රවයක් කර නැති වග, ඔවුන්ගේ හිස කෙසකුදු දැවී නැති වග ඔවුහු දුටුවහ. ඔවුන්ගේ සළුවලට ගින්න වැදී තිබුණේ නැත. ඔවුන් ළඟ ගිනි ගඳ තිබුණේ ද නැත.
28එවිට නෙබුකද්නෙසර්, “ෂද්‍රක්ගේ, මේෂක්ගේ හා අබේද්-නෙගෝගේ දෙවියන්වහන්සේට ප්‍රශංසා වේවා! ස්වකීය දූතයා එවා, උන්වහන්සේ තම සේවකයින් මුදා ගත් සේක. ඔවුහු උන්වහන්සේ පිට විශ්වාසය තැබුවෝ, රජුගේ අණට පිටුපාමින්, තමන්ගේ දෙවියන්වහන්සේට මිස, අන් දෙවියකුට සේවය කරනවාටත්, නමස්කාර කරනවාටත් වඩා තම ජීවිතය දෙන්නට කැමති වූහ. 29එබැවින් ෂද්‍රක්ගේ ද මේෂක්ගේ ද අබේද්-නෙගෝගේ ද දෙවියන්වහන්සේට එරෙහිව කතා කරන කවර ජනතාවකට, කවර ජාතියකට, කවර භාෂාවකට අයත් කවරකු වුව ද, අවයවයෙන් අවයවය කපා දමනු ලබන බවටත්, ඔවුන්ගේ නිවෙස් සුන්බුන් ගොඩවල් කර දමනු ලබන බවටත් මම නියෝග කරමි. මන්ද මේ අයුරින් ගලවන්නට සමත් අන් දෙවි කෙනකු නැතැ” යි කීවේ ය.
30රජු, ඉන්පසුව ෂද්‍රක් ද මේෂක් ද අබේද්-නෙගෝ ද බබිලෝනි පළාතේ තත්වයෙන් වඩාත් උසස් කළේ ය.

Subratllat

Copia

Compara

Comparteix

None

Vols que els teus subratllats es desin a tots els teus dispositius? Registra't o inicia sessió