Logo de l'Aplicació de la Bíblia
Icona de cerca

නික්මයාම 6

6
1එවිට ස්වාමින්වහන්සේ මෝසෙස් අමතමින්, “පාරාවෝට මා කරන දේ දැන් ඔබ දකිනු ඇත. මගේ බලගතු හස්තය හේතු කොට ඔහු ඔවුන්ට යන්නට දෙනු ඇත. මගේ බලවත් හස්තය නිසා, ඔහු තම රටින් ඔවුන් පලවා හරිනු ඇතැ” යි කී සේක.
2දෙවියන්වහන්සේ මෝසෙස් අමතමින්, “මම ස්වාමින්වහන්සේ ය. 3මම ආබ්‍රහම්ට ද ඊසාක්ට ද යාකොබ්ට ද සර්ව පරාක්‍රම දෙවියන්වහන්සේ#6:3 සර්ව පරාක්‍රම දෙවියන්වහන්සේ හෙබ්‍රෙව් එල්-ෂද්දායි වශයෙන් ප්‍රකාශ වුණෙමි. එහෙත්, ස්වාමින්වහන්සේ යන මගේ නාමයෙන් ඔවුනට මා හඳුන්වා නො දුන්නෙමි. 4විදෙස්සන් සේ ඔවුන් විසූ කානාන් දේශය, ඔවුන්ට දෙන ලෙසට මම මගේ ගිවිසුම ද ඔවුන් සමඟ පිහිටෙවුවෙමි. 5එපමණක් නො ව, ඊජිප්තුවරුන් විසින් දාස භාවයේ යොදවනු ලබන ඉශ්‍රායෙල් ජනයාගේ කෙඳිරිගෑම අසා, මම මගේ ගිවිසුම සිහි කළෙමි.
6“එබැවින් ඉශ්‍රායෙල්වරුන්ට කියන්න: මම ස්වාමින්වහන්සේ ය. ඊජිප්තුවරුන්ගේ බර වැඩ යටතින් මම ඔබ පිටතට ගෙනෙන්නෙමි. ඔවුන්ට වහල් ව සිටීමෙන් ඔබ නිදහස් කර, දිගු කළ බාහුවකින් හා විනිශ්චයේ බලගතු ක්‍රියා මගින් මම ඔබ මුදා ගන්නෙමි. 7මගේ ජනයා වශයෙන් ඔබ බාරගෙන, මම ඔබේ දෙවියන්වහන්සේ වන්නෙමි. ඊජිප්තුවරුන්ගේ බර වැඩ යටතින් ඔබ පිටතට ගෙන ආ ඔබගේ දෙවියන්වහන්සේ වන ස්වාමින්වහන්සේ මා වග එවිට ඔබ දැනගනු ඇත. 8මගේ අත ඔසවා, ආබ්‍රහම්ට ද ඊසාක්ට ද යාකොබ්ට ද දෙන්නට මා දිවුළ දේශයට මම ඔබ ගෙන එන්නෙමි. මම එය උරුමයක් කොට ඔබට දෙන්නෙමි. මම ස්වාමින්වහන්සේ යැ” යි පැවසූ සේක.
9මෝසෙස් ඉශ්‍රායෙල්වරුන්ට එය පැවසී ය. එහෙත් ඔවුන් තුළ වූ කලකිරීමත්, කුරිරු වහල් බන්ධනයත් නිසා, ඔවුන් ඔහුට සවන් දුන්නේ නැත.
10එවිට ස්වාමින්වහන්සේ මෝසෙස්ට කතා කොට, 11“ඊජිප්තු රජ වූ පාරාවෝට කතා කොට, ඉශ්‍රායෙල් ජනයාට ඔහුගේ රටින් පිට වී යන්නට ඉඩ හරින්න කියා කියන්නැ” යි කී සේක.
12එහෙත් මෝසෙස් ස්වාමින්වහන්සේට පිළිතුරු දෙමින්, “අහෝ! ඉශ්‍රායෙල්වරුන් පවා මට සවන් නුදුන් කොට, කතාවෙහි පැකිළෙන තොල් ඇති මට පාරාවෝ සවන් දේවි දැ?” යි කීවේ ය.
මෝසෙස් හා ආරොන්ගේ පවුල්-පෙළපත්
13 ස්වාමින්වහන්සේ මෝසෙස්ටත්, ආරොන්ටත් ඉශ්‍රායෙල්වරුන් හා ඊජිප්තු රජු වූ පාරාවෝ ගැන කතා කළ සේක්, ඉශ්‍රායෙල් ජනයා ඊජිප්තුවෙන් පිටතට ගෙන ඒමට, ඔවුන් දෙදෙනාට නියෝග කළ සේක.
14ඔවුන්ගේ පියවංශ ප්‍රධානීහු මොවුහු ය:
ඉශ්‍රායෙල්ගේ කුලුඳුලා වූ රූබෙන්ගේ පුත්‍රයෝ:
හනොක්, පල්ලු, හෙස්රොන් හා කර්මී.
රූබෙන් පෙළපත් ඒවා ය.
15සිමියොන්ගේ පුත්‍රයෝ:
යෙමුවෙල්, යාමීන්, ඔහද්, යාකින්, සොහර් හා ෂාවුල්; ඔහු කානානි කතගෙන් උපන් පුත්‍රයා ය.
සිමියොන් පෙළපත් ඒවා ය.
16තමන්ගේ පරම්පරා අනුව ලෙවී පුත්‍රයන්ගේ නාම:
ගෙර්ෂොන්, කොහාත් හා මෙරාරී.
ලෙවීගේ ජීවිත කාලය අවුරුදු එකසිය තිස්හතකි.
17තමන්ගේ පෙළපත් අනුව ගෙර්ෂොන්ගේ පුත්‍රයෝ:
ලිබ්නි හා ෂිමෙයි.
18කොහාත්ගේ පුත්‍රයෝ:
අම්රාම්, ඉස්හාර්, හෙබ්‍රොන් හා උස්සියෙල්.
කොහාත්ගේ ජීවිත කාලය අවුරුදු එකසිය තිස් තුනකි.
19මෙරාරීගේ පුත්‍රයෝ:
මාලී හා මූෂී.
ඔවුන්ගේ පරම්පරා අනුව ලෙවී පෙළපත් ඒවා ය.
20අම්රාම්, තම පියාගේ සොයුරිය වන යොකෙබෙද් ආවාහ කොට ගත්තේ ය. ඈ ඔහුට ආරොන් හා මෝසෙස් බිහි කර දුන්නා ය.
අම්රාම්ගේ ජීවිත කාලය අවුරුදු එකසිය තිස්හතකි.
21ඉස්හාර්ගේ පුත්‍රයෝ:
කෝරා, නෙෆෙග් හා සික්රී.
22උස්සියෙල්ගේ පුත්‍රයෝ:
මිෂායෙල්, එල්සාෆාන් හා සිත්රී.
23ආරොන්, අම්මිනාදාබ්ගේ දියණිය වූත්, නාෂොන්ගේ සොහොයුරිය වූත් එලිෂෙබා ආවාහ කොට ගත්තේ ය. ඈ ඔහුට නාදාබ් හා අබීහූ ද එලෙයාසර් හා ඊතාමර් ද බිහි කර දුන්නා ය.
24කෝරාගේ පුත්‍රයෝ:
අස්සීර්, එල්කානා හා අබියාසාෆ්.
කොර්හී පෙළපත් ඒවා ය.
25ආරොන්ගේ පුත් එලෙයාසර්, පූතියෙල්ගේ දියණියක ආවාහ කොට ගත්තේ ය. ඈ ඔහුට පීනෙහාස් බිහි කර දුන්නා ය.
පෙළපත් වශයෙන් වූ ලෙවී පියවංශ ප්‍රධානීහු ඔවුහු ය.
26“ඉශ්‍රායෙල් ජනයා ඔවුන්ගේ සේනාංක වශයෙන් ඊජිප්තුවෙන් පිටතට ගෙනෙන්නැ” යි ස්වාමින්වහන්සේ කීවේ මෙම ආරොන්ට හා මෝසෙස්ට ය. 27ඉශ්‍රායෙල්වරුන් ඊජිප්තුවෙන් පිටතට ගෙන ඒම ගැන ඊජිප්තු රජු වූ පාරාවෝට කතා කළෝ ඔවුහු ය. ඒ මෙම මෝසෙස් හා ආරොන් ය.
ආරොන්, මෝසෙස් වෙනුවෙන් කතා කරයි
28ඊජිප්තුවේදී ස්වාමින්වහන්සේ මෝසෙස් ඇමතූ දවසේ 29ස්වාමින්වහන්සේ මෝසෙස්ට කතා කොට, “මම ස්වාමින්වහන්සේ ය. මා ඔබට පවසන සියල්ල ඊජිප්තු රජු වූ පාරාවෝට කියන්නැ” යි පැවසූ සේක.
30එහෙත් මෝසෙස් එවිට ස්වාමින්වහන්සේට පිළිතුරු දුන්නේ, “අහෝ! කතාවෙහි පැකිළෙන තොල් ඇති මට පාරාවෝ සවන් දෙනු ඇද්ද?” යනුවෙනි.

Subratllat

Copia

Compara

Comparteix

None

Vols que els teus subratllats es desin a tots els teus dispositius? Registra't o inicia sessió