لۆگۆی ئەپی پەرتووکی پیرۆز
ئایکۆنی گەڕان

ජෝබ් 28

28
ප්‍රඥාවට ප්‍රශංසා
1රිදී කණින ආකර ඇත;
රන් පවිත්‍ර කරන කෝව ඇත.
2මිනිස්සු පොළොවෙන් යකඩ හාරාගනිති;
ගල් උණු කර තඹ ලබාගනිති.
3මිනිස්සු ගන ‘ඳුර ඉක්මවා බලති;
පොළෝ ගැබෙහි යට තැන් සොයති.
අඳුරෙන් වැසුණු පර්වත සොයා හාරති.
4මිනිස් වාසයෙන් ඈත, මිනිසෙකු කිසි දා පා නොතැබූ තැන්වල මිනිස්සු පතල් හාරති.
කඹවල එල්ලී ඒවාට බැස තනියම වැඩ කරති.
5මහ පොළොවෙන් ආහාර හට ගනියි;
එහි යට පෙදෙස්වල පස ගින්නෙන් මෙන් දැවෙනු ඇත.
6එහි ගල් අතර නිල්මිණි ද එහි දූවිල්ලෙහි රන් කුඩු ද ඇත.
7පතල්වලට යන මාවත උකුස්සාට නොපෙනෙයි;
ඊට උඩින් පියාඹා යන්නට ගිජු ලිහිණියාට එය නොපෙනෙයි.
8සිංහයෙක් වත්, අන් කිසි චණ්ඩ මෘගයෙක් වත් ඒ හුදකලා මාවත්වල කිසි දා නොයයි.
9මිනිස්සු කළුගල් පර්වත හාරති;
කඳු හෙල් මුලින් ම උදුරා දමති.
10ඔව්හු පර්වතවල බිංගෙවල් හාරා නන් වැදෑරුම් මැණික් සොයාගනිති.
11ඔව්හු ගංගා නොගලන ලෙස අමුණු බැඳ, සැඟවී ඇති ධන සම්පත් හාරා පාදා ගනිති.
12එහෙත්, ප්‍රඥාව සම්බ වන්නේ කොතැන්හි ද?
නැණ නුවණ ඇත්තේ කොතැන ද?
13ප්‍රඥාව මිනිසුන් අතර සම්බ වන්නේ නැත;
කිසිවෙක් එහි අගය නොදනිති.
14‘එය මා තුළ නැතැ’යි ගැඹුරු මහ සයුර කියයි;
‘එය මා වෙත නොවේ ය’යි මහ මුහුද පවසයි.
15රත්රන් දී, එය මිලට ගත නොහැකි ය;
එහි වටිනාකම රිදීයෙන් මිල කළ නොහැකි ය.
16එය ඕපීර් රටේ රනින් වත්, අනගි නඛමාණික්‍යයෙන් වත්, නීල මාණික්‍යයෙන් වත් මිල කළ නොහැකි ය.
17රන් වත්, වෛදූර්ය වත් ඊට සම කළ නොහැකි ය;
පිවිතුරු රන් ආභරණවලට එය මාරු කළ නොහැකි ය.
18රතු කැට හෝ පළිඟු හෝ සඳහන් කරන්නට වත් උවමනාවක් නැත.
ප්‍රඥාව මුතුවලට වඩා අගනේ ය.
19එතියෝපියාවේ පුෂ්පරාග ඊට සම කළ නොහැකි ය;
දඹ රනින් වත් එහි අගය නියම කළ නොහැකි ය.
20එසේ නම්, ප්‍රඥාව උදා වන්නේ කොතැනින් ද?
නැණ නුවණ ඇත්තේ කොහේ ද?
21මෙලෝ වැසි කිසිවෙකුගේ ඇසට ප්‍රඥාව නොපෙනේ.
අහසේ පියාඹන පක්ෂියෙකුට වත් එය නොපෙනේ.
22‘අප අසා ඇත්තේ ඒ ගැන කට කතා පමණකැ’යි විනාශයත්, මරණයත් කියති.
23ප්‍රඥා මාර්ගය දන්නේ දෙවිඳාණෝ ය;
එය තිබෙන තැන දන්නේත් එතුමාණෝ ය.
24මන්ද, එතුමාණෝ පොළොවේ සීමාන්ත දන්න සේක;
අහස යට සියල්ල දකින සේක.
25එතුමාණන් සුළඟට බලවේගය දුන් විටත්, මුහුදේ ප්‍රමාණය නියම කළ විටත්,
26වැසි වසින තැන් නියම කළ විටත්, මේඝගර්ජනා යා යුතු මඟ සලකුණු කළ විටත්,
27එතුමාණෝ ප්‍රඥාව දැක එහි වටිනාකම ප්‍රකාශ කළ සේක.
එය සොයා බලා සම්මත කළ සේක.
28 # ගීතා 111:10; හිතෝ 1:7; 9:10 එතුමාණෝ මිනිසාට මෙසේ වදාළ සේක:
‘දෙවිඳුන්ට ගරුබිය දැක්වීම ප්‍රඥාව වේ.
නපුරෙන් වැළකී සිටීම නැණ නුවණ වේ.’ “

دیاریکراوەکانی ئێستا:

ජෝබ් 28: NRSV

بەرچاوکردن

لەبەرگرتنەوە

بەراوردکردن

هاوبەشی بکە

None

دەتەوێت هایلایتەکانت بپارێزرێت لەناو ئامێرەکانتدا> ? داخڵ ببە