Logo aplikace Bible
Ikona vyhledávání

ජෝබ් 29

29
ජෝබ්ගේ අවසන් කතාව
1ජෝබ් යළිදු සිය කතාව ඇරඹී ය:
2“අනේ!
දෙවිඳාණන් මා රැක බලා ගත් පෙර කාලයට ආපසු යා ගත හැකි නම්!
3එකල එතුමාණන්ගේ පහන මාගේ හිසට උඩින් බැබළිණි.
ඒ එළියෙන් මම අඳුර මැදින් ගමන් කෙළෙමි.
4එකල මම සමෘද්ධිමත් ව සිටියෙමි;
එතුමාණන්ගේ මිතුරුකම මාගේ නිවෙස රැකවල් කෙළේ ය.
5එකල සව් බලැති දෙවි තුමාණෝ මා සමඟ සිටි සේක;
මාගේ දූ දරුවෝ මා අවට වූ හ.
6මාගේ ගව සම්පතෙන් කිරි ද පර්වතයේ ඔලීව ගස්වලින් තෙල් ගංගා ද ගලා ආවේ ය.
7නගරයේ වාසල් දොරටු ළඟ උතුමන් සමඟ මා අසුන් ගත් කල,
8තරුණයෝ මා දැක පසකට වූ හ;
වයසක උදවිය සිය අසුන්වලින් නැඟී හරසර දැක්වූ හ.
9ජන නායකයෝ අතින් මුව වසාගෙන කතාව නැවැත්වූ හ.
10මැති ඇමතිවරු කට වසාගත් හ;
සියල්ලෝ ම නිහඬ වූ හ.
11මා ගැන ඇසූ දුටු කවුරු කවුරුත් මාගේ ගුණ වර්ණනා කළහ.
12එසේ කෙළේ, මා දිළිඳාගේ දුක් අසා ඔවුන් මුදා ගත් බැවිනි;
සරණක් නැති අනාථයන්ට මා ආධාර කළ බැවිනි.
13දැඩි විපතට පත් අය මට ආසිරි පැතූ හ;
මම වැන්දඹුවන්ගේ සිත ප්‍රීතියෙන් පිනා යාමට සැලැසීමි.
14මම දැහැමිකම නමැති වස්ත්‍රයෙන් සැරසී, රන් සළුවක් ද මකුටයක් ද මෙන් යුක්තිය පැළඳගත්තෙමි.
15-16මම, අන්ධයාට දෙනෙත් මෙන් ද කොරාට දෙපා මෙන් ද දිළිඳාට පියා මෙන් ද වූයෙමි.
මම, නොහඳුනන අය වෙනුවෙන් මැදිහත් වූයෙමි.
17මම අදමිටුවාගේ හක්ක බිඳ, විපතට පත් වූ අය ඔහුගේ කටින් මුදා හැරියෙමි.
18එදා මා සිතුවේ මෙසේ ය:
‘මම දිගායු වළඳා දරු කැල මැද මාගේ නිවෙසෙහි යෙහෙන් මිය යෑමට නිරතුරු බලාපොරොත්තු වීමි.
19පොළොවේ දිය දහර තෙක් මුල් බැස ගිය, රෑ පින්නෙන් තෙමී ගිය, අතුපතර ඇති ගසකට මම සමාන වීමි.
20එවිට සියලු දෙන නිරතුරු මට පැසසුම් කළහ.
මාගේ ශක්තිය ද කිසි දා හීන නො වී ය.’
21මා උවදෙස් දුන් විට සෙනඟ නිහඬ ව මට සවන් දුන්හ.
22මාගේ කතාව නිම කළ විට ඔව්හු වෙන කිසිවක් ඊට එකතු නොකළහ.
මාගේ වචන ඔවුන්ගේ සිතට වැහි බිංදු මෙන් කාන්දු වී ගියේ ය.
23වැසි එන තුරු බලා සිටින, පොසොන් වැසි වලා එන විට ප්‍රීති වන ගොවීන් මෙන් ඔව්හු මුව අයාගෙන මට සවන් දුන්හ.
24මා මඳහසින් ඔවුන් දෙස බැලූ විට ඔව්හු දිරිගත්හ.
මාගේ සොම්නස් මුහුණ දුටු විට ඔවුන්ගේ දොම්නස් බැල්ම පහවිය.
25මම රැස්වීමේ මූලාසනය ගෙන ඔවුන් ගත යුතු පියවර සකස් කෙළෙමි.
සිවුරඟ සෙනඟ පිරිවරා කඳවුරු බැඳගත් රජෙකු මෙන් මම වැජඹෙමින් අසරණයන් සැනසුවෙමි.”

Právě zvoleno:

ජෝබ් 29: NRSV

Zvýraznění

Kopírovat

Porovnat

Sdílet

None

Chceš mít své zvýrazněné verše uložené na všech zařízeních? Zaregistruj se nebo se přihlas