Logo aplikace Bible
Ikona vyhledávání

දානියෙල් 10

10
හණ පිළි හැඳි මිනිසා
1පර්සියාවේ රජු වූ කෝරෙෂ්ගේ රාජ සමයේ තුන් වන වසරේ බේල්ටෙෂසර් නමින් හැඳින් වූ දානියෙල්ට පණිවුඩයක් එළිදරවු කෙරිණ. එම වචනය සත්‍ය ය. එය මහා යුද්ධයක් පිළිබඳව ය. වචනය ඔහුට අවබෝධ විය. දර්ශනයේ අවබෝධය ද ලැබිණි.
2එදවස්හි දානියෙල් වන මම සති තුනක් ශෝක වුණෙමි. 3ඒ සති තුන ගෙවෙන තුරු මා කිසි රස අහරක් ගත්තේ නැත. මස් හෝ මිදි යුෂ මා මුවට ළං කළේ නැත. කිසිදු ආලේපනයක් ගැල්වූයේ ද නැත.
4පළමු මස විසිහතර වන දින මහ ගංගාව වන ටයිග්‍රිස් ගං ඉවුරේ මා සිටගෙන සිටියදී, 5මා දෑස් දල්වා බැලුවෙමි. එවිට මෙන්න! හණ පිළියෙන් සැරසී, ඉඟ වටා ඌෆාස්හි දඹ රන් පටියක් බැඳි මිනිසෙක් මා ඉදිරිපිට. 6ඔහුගේ සිරුර රන්කාන්ති මැණිකක් වැන්න; ඔහුගේ මුහුණ විදුලිය වැන්න; ඔහුගේ ඇස් ඇවිළෙන ගිනි-හුළු වැන්න; ඔහුගේ අත් හා කකුල් ඔප දැමූ ලෝකඩවල දීප්තිය වැන්න; ඔහුගේ වචන සමූහයකගේ ඝෝෂාව වැන්න.
7දර්ශනය දුටු එක ම තැනැත්තා දානියෙල් වන මා පමණි. මා හා සිටි මිනිසුන් එය දුටුවේ නැත. එහෙත් ඔවුහු කොතරම් භීතියකින් වෙළී ගියෝ ද යත් තුමූම පලා ගොස්, සැඟවුණහ. 8එබැවින් මම තනි කරනු ලැබ, ඒ අපූරු දර්ශනය දෙස බලා සිටියෙමි. මා තුළ කිසි ශක්තියක් නො වී ය. මගේ මුහුණ ද භයානක ලෙස සුදුමැලි විය. මා සිටියේ අසරණ ව ය; 9ඉන්පසු එතුමන්ගේ වචනවල හඬ මට ඇසිණි. මා එතුමන්ට සවන් දෙන අතරේ, මගේ මුහුණ බිම ගෑවී සිටින සේ මා තද නිද්‍රාවකට වැටිණ.
10එවිට මෙන්න අතක් මා ස්පර්ශ කර, මට මගේ දෑතින් හා දෙදණින් වෙවුලමින් සිටින්නට සැලැස්වී ය. 11ඔහු මා අමතමින්, “එම්බා දානියෙල්, බොහෝ ප්‍රේම ලත් මනුෂ්‍යය, දැන් මා ඔබට කියන්නට යන වචන සාවධාන ව කල්පනාවට ගන්න; නැගිට සිටගන්න; මන්ද මා එවන ලද්දේ ඔබ වෙතට යැ” යි කීවේ ය. ඔහු එසේ කී කල, මම වෙවුලමින් නැගිට, සිට ගත්තෙමි.
12තවද ඔහු, “බිය නො වන්න දානියෙල්; අවබෝධය ලබන්නටත්, ඔබේ දෙවියන්වහන්සේ ඉදිරියේ යටත්වන්නටත් ඔබ ඔබේ මනස යොමු කළ මුල් දවසේ පටන් ඔබේ යාච්ඤා අසනු ලැබී ය. මා පැමිණියේ ඊට ප්‍රතිචාර වශයෙනි. 13එහෙත් පර්සියානු රාජධානියේ අධිපතියා විසිඑක් දවසක් මට එරෙහිව සිටියේ ය. එවිට ප්‍රධාන අධිපතීන්ගෙන් කෙනකු වන මිකායෙල් මගේ උපකාරයට පැමිණියේ ය. මන්ද මම පර්සියානු රජු වෙත රඳවා තබා සිටියෙමි. 14දැන් මා පැමිණියේ, ඔබේ ජනයාට මතු කුමක් සිදු වන්නේ දැයි පැහැදිලි කර දීමට ය. මන්ද දර්ශනය අදාළ වන්නේ එළැඹෙන මතු දවස්වලට යැ” යි කීවේ ය.
15ඔහු එය මට පවසන අතරේ මම මගේ මුහුණ බිමට නමාගෙන, කතා නැතිව සිටියෙමි. 16එවිට මෙන්න, මනුෂ්‍ය පුත්‍රයකු වැනි කෙනෙක්#10:16 මනුෂ්‍ය පුත්‍රයකු වැනි කෙනෙක් ඇතැම් පැරණි අත් පිටපත්වල පෙනුමින් මනුෂ්‍ය අතක් වැන්නක් මගේ තොල් ස්පර්ශ කළේ ය. මම මගේ මුව විවර කර කතා කරන්නට වන්නෙමි. මා අබියස සිටගෙන සිටි තැනැත්තා ඇමතූ මම, “මා ස්වාමිනි, මේ දර්ශනය නිසා මම සන්තාපයෙන් මුසපත් වීමි. මා තුළ ශක්තියක් නැත. 17මගේ ස්වාමියාගේ සේවකයා කෙලෙස ඔබ හා කතා කරන්න ද මා ස්වාමිනි? මගේ ශක්තිය ගෙවී ගොසින්, හුස්ම ගැනීමත් මට අපහසු යැ” යි කීවෙමි.
18මිනිසකු බඳු තැනැත්තා යළි මා ස්පර්ශ කර, මට ශක්තිය ගෙන දී, 19“භය නො වන්න. බොහෝ ප්‍රේම ලත් මනුෂ්‍යය, ඔබට ශාන්ති වේවා! දැන් ශක්තිමත් වන්න. බලවත් වන්නැ” යි කීවේ ය.
ඔහු කතා කළ විට ශක්තිමත් කරනු ලැබූ මම ඔහු අමතමින්, “මා ස්වාමිනි, ඔබ මා ශක්තිමත් කළ බැවින් කතා කරන්නැ” යි කීවෙමි.
20එවිට, මා ඇමතූ ඔහු, “මා ඔබ වෙත ආවේ ඇයි කියා ඔබ දන්නවා ද? පර්සියාවේ අධිපතියාට විරුද්ධ ව සටන් කිරීමට මා විගසින් ම ආපසු යා යුතුයි. ඔන්න, මා ගිය පසු ග්‍රීසියේ#10:20 ග්‍රීසියේ හෙබ්‍රෙව් යාවාන් අධිපතියා ඒවි. 21කෙසේ වෙතත් සත්‍යතා පොතේ කුමක් ලියා ඇද්දැයි පළමු කොට මා ඔබට කියන්නම්. මා ඔවුන්ට එරෙහිව සිටියදී ඔබේ අධිපති මිකායෙල් හැර, අන් කිසිවකු මගේ සහායට සිටින්නේ නැත.

Zvýraznění

Kopírovat

Porovnat

Sdílet

None

Chceš mít své zvýrazněné verše uložené na všech zařízeních? Zaregistruj se nebo se přihlas