Logo aplikace Bible
Ikona vyhledávání

නික්මයාම 2

2
මෝසෙස්ගේ උපත
1එකල, ලෙවී වංශික මිනිසෙක් ගොස්, ලෙවීය කාන්තාවක ආවාහ කොට ගත්තේ ය. 2ඈ ගැබ් ගෙන, පුතකු බිහි කළා ය. ඔහු සුන්දර ළමයකු වග දුටු ඈ, තුන් මසක් ඔහු සඟවා තබා ගත්තා ය. 3එහෙත්, තවදුරටත් ඔහු සඟවා තැබිය නො හැකි වූ කල, ඈ පන් කූඩයක් ගෙන, ඒ වටා කීල් හා මැලියම් තවරා, පසුව දරුවා ඒ තුළ බහා, නයිල් ගං ඉවුරේ බට පඳුරු අතරේ තැබුවා ය. 4ඔහුට කුමක් වන්නේ දැයි බලන්නට ඔහුගේ සොහොයුරිය ඈතට වී බලා සිටියා ය.
5මේ අතර, පාරාවෝගේ දියණිය දිය නෑමට, නයිල් ගඟට ආවා ය. ඇගේ පරිවාර ළදුන් ගං ඉවුරේ ඇවිදිමින් සිටියදී, ඈ බට පඳුරු අතරේ වූ කූඩය දැක, තම දාසිය යවා, එය ගෙන්වා ගත්තා ය. 6ඈ එය විවර කළ විට, ළදරුවා දුටුවා ය. බිළිඳා සිටියේ හඬමිනි. ඈ ඔහුට අනුකම්පා කළා ය. “මේ හෙබ්‍රෙව් ළදරුවෙකැ” යි ඈ කීවා ය.
7මෙවිට, ඔහුගේ සහෝදරිය, පාරාවෝගේ දියණිය අමතමින්, “මා ගොස්, දරුවාට කිරි දෙන්නට හෙබ්‍රෙව් කාන්තාවන්ගෙන් කිරි මවක් කැඳවාගෙන එන්න දැ?” යි ඇසුවා ය.
8පාරාවෝගේ දියණිය, “හොඳයි, යන්නැ” යි ඇයට කීවා ය. එවිට ඒ දැරිවි පිට වී ගොස්, දරුවාගේ මව කැඳවාගෙන ආවා ය. 9එවිට පාරාවෝගේ දියණිය ඇය අමතමින්, “මේ දරුවා ගෙන ගොස්, මා වෙනුවෙන් කිරි දී, පෝෂ්‍ය කරන්න. මම ඔබට ගාස්තුව ගෙවන්නෙමි” යි කීවා ය. එබැවින් ඒ කාන්තාව දරුවා ගෙන ගොස්, කිරි දී, ඔහු පෝෂ්‍ය කළා ය. 10දරුවා වැඩුණු පසු ඈ, පාරාවෝගේ දියණිය වෙත ඔහු කැඳවාගෙන ගියා ය. ඔහු ඇගේ පුත්‍රයා බවට පත් විය. “මම දියෙන් ඔහු ඇද ගතිමි” යි කියමින්, ඈ ඔහුට මෝසෙස්#2:10 මෝසෙස් ශබ්දානු සාරයට අනුව ඇදගැනීම යන අරුත ගෙන දේ. යන නම තැබුවා ය.
මෝසෙස් පලා යාම
11මෝසෙස් මේරූ වියට පැමිණි පසු, දිනක් තම සහෝදර ජනයා දකින්නට පිටතට ගොස්, ඔවුන්ගේ බර වැඩ බලා සිටියේ ය. මෙවිට තම සහෝදර හෙබ්‍රෙව්වකුට ඊජිප්තු ජාතිකයකු පහර දෙනු ඔහු දුටුවේ ය. 12ඒ මේ අත බැලූ ඔහු, කිසිවකු නැති වග දැක, ඊජිප්තු ජාතිකයා මරා, වැල්ලේ සැඟවී ය. 13පසු දින ඔහු පිටතට ගිය කල, හෙබ්‍රෙව්වන් දෙදෙනකු දබර කර ගනු දුටුවේ ය. එවිට වරද කරන මිනිසා ඇමතූ ඔහු, “තමන්ගේ ම මිනිසකුට පහර දෙන්නේ ඇයි දැ?” යි ඇසී ය.
14එවිට ඒ මිනිසා පිළිතුරු දෙමින්, “අපේ පාලකයා හා විනිශ්චයකාරයා ලෙස නුඹ පත් කළේ කවුරු ද? අර ඊජිප්තුවා මරා දැමූ සේ මාත් මරා දමන්න ද කල්පනාව?” යි කීවේ ය. එයින් මෝසෙස් භය විය. “මා කළ දේ එළිවෙලා!” යි ඔහු සිතී ය.
15පාරාවෝට මේ වග සැල වූ කල, මෝසෙස් මරා දැමීමට ඔහු වැර දැරී ය. එහෙත් මෝසෙස්, පාරාවෝ වෙතින් පලා ගොස්, වාසය පිණිස මිදියන් දේශයට අවුත්, එහි වූ ළිඳක් අසල හිඳ ගත්තේ ය. 16මිදියන් පූජකයාට දූවරු සත් දෙනෙක් වූහ. දිය අදින්නට ආ ඔවුහු, තම පියාගේ එළු බැටළු රංචුවලට පොවන පිණිස, වතුර ඔරු පිරවූහ. 17එහෙත් එතැනට පැමිණි එඬේරුන් ඇතැම් දෙනෙක් ඔවුන් එලවා දැමූහ. එවිට මෝසෙස් නැගිට, ඔවුන්ගේ උපකාරයට පැමිණ, ඔවුන්ගේ සත්ව රංචුවට දිය පෙවී ය.
18ඔවුන් තම පියා වූ රෙවූයෙල් වෙත ආපසු ආ කල, ඔහු කතා කරමින්, “නුඹලා අද මෙතරම් ඉක්මනින් ආපසු ආවේ ඇයි දැ?” යි ඇසී ය.
19ඔවුහු පිළිතුරු දෙමින්, “ඊජිප්තු ජාතිකයෙක් එඬේරුන් අතින් අප මුදා අපට වතුරත් ඇද දුන්නා; සත්ව රංචුවටත් පෙව්වා යැ” යි කීහ.
20“කෝ! ඔහු කොහේ දැ?” යි තම දූවරුන්ගෙන් විමසූ ඔහු, “ඇයි ඔහු එහි හැර දමා ආවේ? කෑම කන්නට ඔහුට අඬගසන්නැ” යි කීවේ ය.
21මෝසෙස් ඒ මිනිසා සමඟ නවතින්නට එකඟ විය. ඔහු තම දියණිය සිප්පොරා මෝසෙස්ට බිරිඳ කොට දුන්නේ ය. 22ඈ පුතකු බිහි කළා ය. “විදේශයකදී මම පිටස්තරයකු වීමි” යි පැවසූ මෝසෙස් ඒ පුතුට ගේර්ෂොම්#2:22 ගේර්ෂොම් එනම් එහි විදේශිකයා යන නම තැබී ය.
23ඒ දිගු කාලය අතර තුර, ඊජිප්තු රජු මිය ගියේ ය. ඉශ්‍රායෙල්වරු තම වහල් භාවය ගැන සුසුම්ලමින්, මොර ගැසූහ. තම වහල් භාවය නිසා ඔවුන් නැගූ මොර ගැසීම, දෙවියන්වහන්සේ වෙත නැගුණේ ය. 24ඔවුන්ගේ කෙඳිරිගෑම දෙවියන්වහන්සේට ඇසිණ. එවිට දෙවියන්වහන්සේ ආබ්‍රහම් සමඟ ද ඊසාක් සමඟ ද යාකොබ් සමඟ ද වූ තම ගිවිසුම සිහි කළ සේක. 25මෙසේ දෙවියන්වහන්සේ ඉශ්‍රායෙල් පුත්‍රයින් දෙස බලා, ඔවුන් ගැන සැලකූ සේක.

Zvýraznění

Kopírovat

Porovnat

Sdílet

None

Chceš mít své zvýrazněné verše uložené na všech zařízeních? Zaregistruj se nebo se přihlas