ක්‍රියා 11
11
ජෙරුසලමේ සභාවට පේදුරු තුමාගේ වාර්තාව
1විජාතීන් විසින් ද දේව වචනය පිළිගනු ලැබූ බව ජුදයෙහි සිටි ප්‍රේරිතයනටත් සහෝදරයනටත් ආරංචි විය. 2පේදුරු ජෙරුසලමට ආ කල චර්මඡේදිතයෝ ඔහුට දොස් පවරමින්, 3“ඔබ අචර්මඡේදිත මිනිසුන් වෙතට ගොස් ඔවුන් සමඟ කෑම කෑවේ මන් දැ”යි ඇසූ හ. 4එවිට පේදුරු ඒ කාරණය මුල පටන් පිළිවෙළින් පහදා දෙන්නට පටන්ගෙන මෙසේ කී ය:
5“මම ජොප්පා නුවර යාච්ඤා කරමින් සිටි විට අහසෙන් බස්වන ලද සතර කොණින් බැඳුණු මහත් රුවලක් වැනි දෙයක් පහත් වෙනවා දර්ශනයකින් දිටිමි. එය මා ළඟට ම පැමිණියේ ය. 6මා එය සෝදිසියෙන් බැලූ විට, පොළොවේ සිවුපාවුන් ද වන මෘගයන් ද උරග ජාතීන් ද ආකාශ පක්ෂීන් ද දිටිමි. 7එවිට, ‘පේදුරු නැඟිට, මරා, කන්නැ’යි මට කියන ශබ්දයකුත් ඇසීමි. 8මම ද, ‘ස්වාමීනි, එය නම් කළ නොහැක; අකැප, අපවිත්‍ර දෙයක් කිසි කලෙකත් මා කටට ගෙන නැතැ’යි කීවෙමි. 9එහෙත් දෙ වන වරටත් අහසෙන් හඬක් මට කතා කරමින්, ‘දෙවියන් වහන්සේ පවිත්‍ර කළ දේ, පිළිකුල් යයි නොකියන්නැ’යි කී ය. 10තුන් වරක් ම මෙය සිදු විය. ඉන්පසු නැවත සියල්ල අහසට ඇද ගන්නා ලද්දේ ය.
11“එවේලෙහි ම කායිසාරියෙන් මා වෙත එවන ලද මිනිස්සු තුන් දෙනෙක් මා විසූ නිවෙස ඉදිරියෙහි සිටියහ. 12ආත්මයාණන් වහන්සේ ද, සැකයක් නැති ව ඔවුන් සමඟ යන ලෙස මට අණ කළ සේක. මේ සහෝදරයන් සදෙනාත් මා සමඟ ගියහ. අපි කොර්නේලියස්ගේ ගෙදරට ඇතුළු වීමු. 13එවිට ඔහු, තමාගේ ගෙයි දේව දූතයා සිටිනු දුටු හැටිත්, ‘ජොප්පාවට මිනිසුන් යවා පේදුරු නම් ලත් සීමොන් කැඳවන්න; 14ඔහු වනාහි ඔබ සහ ඔබේ ගෙදර සියල්ලන්ගේ ද, ගැළවීම සලසා දෙන දහම ඔබට දෙසන්නේ ය’යි තමාට කී හැටිත් අපට දැන්වී ය. 15මා කතා කරන්නට පටන්ගත් කල, ශුද්ධාත්මයාණන් වහන්සේ මුල දී අප කෙරෙහි පහළ වූ සේ ම ඔවුන් කෙරෙහිත් පහළ වූ සේක.
16 #
ක්‍රියා 1:5
“එකල, ‘ජොහන් බව්තීස්ම-ස්නාපනය කෙළේ වතුරෙන් ය. ඔබ බව්තීස්ම-ස්නාපනය ලබන්නේ ශුද්ධාත්මයෙන් ය’යි සමිඳාණන් වහන්සේ වදාළ වචනය මට මතක් විය. 17එබැවින් ස්වාමීන් වන ජේසුස් ක්‍රිස්තුන් වහන්සේ අදහාගත් කල්හි අපට දෙනු ලැබුවාක් මෙන් දෙවියන් වහන්සේ ඔවුන්ටත් එම දීමනාව ම දුන් සේක් නම්, දෙවියන් වහන්සේට බාධා කිරීමට මම කවරෙක් දැ”යි කී ය.
18ඔව්හු ඒ අසා නිහඬ වූ හ. “එසේ නම් විජාතීන්ටත් දෙවියන් වහන්සේ ජීවනය සලසන පසුතැවී සිත් හරවා ගැනීමක් දුන් සේකැ”යි කියමින් දෙවියන් වහන්සේට ප්‍රශංසා කළහ.
අන්තියෝකියේ සභාව
19 #
ක්‍රියා 8:1-4
ස්තේපන් නිසා හටගත් පීඩාව කරණකොටගෙන විසුරුවනු ලැබූ අය, ජුදෙව්වරුන්ට මිස අන් කිසිවෙකුට දහම ප්‍රකාශ නොකොට, පිනීසිය ද සයිප්‍රසය ද අන්තියෝකිය ද දක්වා ගමන් කළහ. 20එහෙත් ඔවුන් අතරෙන් සයිප්‍රසයේ ද සිරේනියේ ද වැසියන් වූ සමහරෙක් අන්තියෝකියට පැමිණ, ග්‍රීකයනටත් කතා කරමින්, ජේසුස් ස්වාමීන් වහන්සේ පිළිබඳ සුබ අස්න ප්‍රකාශ කළහ. 21සමිඳාණන් වහන්සේගේ බලය ඔවුන් මත පහළ විය. එකල විශාල සංබ්‍යාවක් අදහාගෙන සමිඳාණන් වහන්සේ වෙතට හැරුණාහ.
22ඔවුන් පිළිබඳ පුවත ජෙරුසලමේ සභාවට සැළ විය. එවිට ඔව්හු බාර්ණබස් අන්තියෝකියට යැවූ හ. 23ඔහු පැමිණ දේව වරප්‍රසාදය දැක, සන්තෝෂ වී, සමිඳාණන් වහන්සේට පක්ෂපාත ව, ස්ථීර ව, පවතින සේ සියල්ලනට අනුශාසනා කෙළේ ය. 24බාර්ණබස්, වනාහි යහපත් වූ ද ශුද්ධාත්මයාණන්ගෙන් හා ඇදහිල්ලෙන් පූර්ණ වූ ද මිනිසෙකි. මෙසේ මහත් සමූහයක් සමිඳාණන් වහන්සේ සරණ ගියහ.
25බාර්ණබස් සාවුල් සොයමින් තාර්සසයට ගොස්, 26ඔහු හමු වී, අන්තියෝකියට කැඳවාගෙන ආවේ ය. ඔව්හු අවුරුද්දක් මුළුල්ලෙහි ම සභාව හා එක්රැස් ව, මහත් සමූහයකට ඉගැන්වූ හ. ‘ක්‍රිස්තියානි’ යන නාමය ශ්‍රාවකයනට පළමුකොට දෙනු ලැබූයේ අන්තියෝකියේ දී ය.
27ඒ දවස්වල දී ජෙරුසලමෙන් දිවැසිවරු අන්තියෝකියට පැමිණියාහ. 28#ක්‍රියා 21:10 ඔවුන්ගෙන් අගබස් නම් කෙනෙක් නැඟිට, ‘ලොව පුරා මහත් සාගතයක් ඇති වන්නේ ය’යි ආත්මයාණන් කරණකොටගෙන ප්‍රකාශයක් කෙළේ ය. ඒ සාගතය ක්ලෞදියස් රජු දවස සිදු විය. 29එවිට ශ්‍රාවකයෝ එකිනෙකා තම තමාගේ වත්කමේ හැටියට ජුදයෙහි සිටි සහෝදරයනට ආධාර යවන්නට තීරණය කරගත්හ. 30ඔව්හු ආධාර එකතු කර, බාර්ණබස් සහ සාවුල් අත සභා මූලිකයන්ට යැවූ හ.
Valgt i Øjeblikket:
ක්‍රියා 11: NRSV
Markering
Kopiér
Sammenlign
Del
Vil du have dine markeringer gemt på tværs af alle dine enheder? Tilmeld dig eller log ind
Ceylon Bible Society