උත්පත්ති 43

43
බෙන්ජමින් මිසරයට ගෙන යාම
1සාගතය රටේ තදබල විය. 2මිසරයෙන් ගෙනා ධාන්‍ය කා නිම කළ පසු, ඔවුන්ගේ පියා ඔවුන්ට කතා කොට, “නැවත ගොස් කෑම ටිකක් අපට මිලයට ගන්නැ”යි කී ය. 3එවිට ජුදා ඔහු අමතා, “ ‘නුඹලාගේ සහෝදරයා නුඹලා සමඟ සිටියොත් මිස නුඹලා නම් මා ඉදිරියට නොපැමිණිය යුතු ය’යි ඒ මිනිසා අපට තදින් අවවාද කෙළේ ය. 4ඔබ අපේ සහෝදරයා අප සමඟ යවන්නෙහි නම්, අපි ගොස් ඔබට ආහාර මිලයට ගන්නෙමු. 5එහෙත් ඔබ ඔහු යවන්නේ නැත්නම්, අපි ද නොයන්නෙමු. ඒ මන්ද, ‘නුඹලාගේ සහෝදරයා නුඹලා සමඟ නැත්නම් නුඹලා මා ඉදිරියට නොපැමිණිය යුතු ය’යි ඒ මිනිසා අපට කීවේ ය”යි පැවසී ය.
6එවිට ඉශ්රායෙල් කතා කොට, “නුඹලාට ‘තව සහෝදරයෙකු ඇතැ’යි කීමෙන් මට වද කරන්නේ මන්දැ”යි ඇසී ය. 7ඔව්හු ද පිළිතුරු දෙමින්, “ ‘නුඹලාගේ පියා තව ම ජීවත් ව සිටිනවා ද? නුඹලාට තව සහෝදරයෙක් ඉන්නවා ද?’ කියා මිනිසා අප ගැනත්, අපේ පවුල ගැනත් දිගට ම අසන විට අපි ද ඒ ප්‍රශ්න අනුව උත්තර දුනිමු. ‘නුඹලාගේ සහෝදරයා ගෙන ආ යුතු’යි කියන්න යන බව අප දන්නේ කෙසේ දැ”යි ඇසූ හ. 8ජුදා තම පියා වන ඉශ්රායෙල්ට කතා කොට, “ළමයා මා සමඟ යවන්න, එවිට අපත්, ඔබත්, අපේ කුඩා දරුවනුත් නොමැරී ජීවත් වන පිණිස අපි නැඟිට පිටත් ව යන්නෙමු. 9මම ඔහු ගැන ඇපකාරයෙක් වෙමි. ඔහු ගැන වගකීම මා පිට පවරන්න. මම ඔබ වෙත ඔහු ගෙනවුත් ඔබ ඉදිරියෙහි ඔහු නොසිටුවන්නෙම් නම්, සදහට ම ඒ ගැන මම වරදකරු වන්නෙමි. 10අපි මෙහි නළංගු වී නොසිටියෙමු නම් ඇත්තෙන් ම දෙ වන වරටත් ගොස් ආපසු එන්න තිබුණි”යි කී ය.
11එවිට ඔවුන්ගේ පියා වන ඉශ්රායෙල්, එනම් ජාකොබ්, ඔවුන් අමතමින්, “දැන් ඉතින් එලෙස විය යුතු ම නම්, මෙය ද කරන්න; අපේ රටේ ඇති ඉස්තරම් දේවල් වන ගුගුල් ටිකක් හා මී පැණි ටිකක් ද කුළු බඩු හා ගන්ධරස ද ඇට වර්ග හා කොට්ටම්බා ද ඔබේ පොදිවල දමාගෙන ඒ මිනිසාට තෑග්ගක් වශයෙන් ගෙන යන්න. 12තවද, මුදල් දෙගුණයක් අතේ ගෙන යන්න; නුඹලාගේ ගෝණිවල කටේ තිබුණු මුදල් ද අතේ රැගෙන යන්න; ඇතැම් විට එය ප්‍රමාද දෝෂයකින් වූවක් වෙන්න පුළුවන. 13නුඹලාගේ සොහොයුරු රැගෙන, නැඟිට ඒ මිනිසා වෙත ආපසු යන්න; 14තවද, ඒ මිනිසා නුඹලාගේ අනෙක් සහෝදරයා ද බෙන්ජමින් ද ආපසු එවන ලෙස, සියලු බලැති දෙවියන් වහන්සේ ඔහු හමුවෙහි නුඹලා හට ප්‍රසාදය ලැබෙන්නට සලසන සේක් වා! මාගේ දරුවන් නැතිවෙනවා නම් ඔව්හු නැතිවෙත් වා!”යි කීවේ ය.
15ඔව්හු තෑගි ගෙන, තමන්ගේ පසුම්බිවල මුදල් දෙගුණයක් ලාගෙන, බෙන්ජමින් ද රැගෙන, නැඟිට, මිසරය බලා ගොස් ජෝසෙප් ඉදිරියෙහි සිටගත්හ. 16ජෝසෙප් ඔවුන් සමඟ බෙන්ජමින් සිටිනු දුටු විට, තම ගෘහයේ කළමනාකරුට කතා කොට, “මේ මිනිසුන් මාගේ ගෘහයට ගෙන යන්න; සතෙකු මරා පිළියෙළ කරන්න; මාගේ ගෘහයේ ඔවුන් මා සමඟ දිවා භෝජනය වළඳනු ඇතැ”යි කීවේ ය. 17ඔහු ජෝසෙප් කී ප්‍රකාර කර ජෝසෙප්ගේ ගෘහයට ඔවුන් කැඳවාගෙන ආවේ ය.
18ජෝසෙප්ගේ ගෘහයට ඔවුන් ගෙනා බැවින්, ඔව්හු බිය වී, “අප මෙහි ගෙනාවේ පළමු වර අප ගෝණිවල ආපසු දමා තිබූ මුදල් නිසා ය, ඔහු අපට අඩන්තේට්ටම් කොට පහර දී, අප වහලුන් කොට, අපේ කොටළුවන් ද ගන්නට යන්නේ ය”යි කී හ. 19පසුව ඔව්හු ජෝසෙප්ගේ ගෘහයේ කළමනාකරු වෙත පැමිණ, ගෙදර දොර අසල ඔහු සමඟ කතා කරමින්, 20“මහතාණෙනි, පළමු වරක් ද ආහාර මිලට ගැනීම සඳහා අපි ඇත්තෙන් ම පැමිණියෙමු. 21අප නැවතුම් පොළට පැමිණ අපේ ගෝණි ඇරිය විට සෑම මිනිසෙකුගේ ම මුදල්, හරි කිරුම් බරට ගෝණි කටේ තිබෙනු අපි දුටුවෙමු. අපි ද එය නැවත ගෙනාවෙමු. 22ඇරත් ආහාර මිලට ගැනීම සඳහා තවත් මුදල් ද අප අතේ ගෙනාවෙමු. අපගේ ගෝණිවල මුදල් දැමුවේ කවුද කියා නොදනිමු”යි කී හ.
23එවිට ඔහු උත්තර දෙමින්, “ඔබට ආසිරි වේ වා! බිය නොවන්න, ඔබේ දෙවියන් වහන්සේ ද, ඔබේ පියාගේ දෙවියන් වහන්සේ ද, ඔබේ ගෝණිවල ඔබට නිධානයක් දුන් සේක. ඔබේ මුදල් මට ලැබුණේ ය”යි කී ය. ඉන්පසු ඔහු සිමියොන් ඔවුන් වෙත කැඳවාගෙන ආවේ ය.
24පසුව ඔහු, ඔවුන් ජෝසෙප්ගේ ගෘහයට ගෙනැවිත්, ඔවුන්ට වතුර දුන් විට ඔව්හු තමන් පාද සෝදාගත්හ. ඉන්පසු ඔහු ඔවුන්ගේ කොටළුවන්ට ආහාර දුනි. 25එම ගෘහයෙහි තමන් ආහාර වැළඳිය යුතු බව ඔවුන් අසා තිබුණෙන්, මද්දහනේ දී ජෝසෙප් එන විට තෑග්ග දීමට ඔව්හු සූදානම් වූ හ. 26ජෝසෙප් ගෘහයට පැමිණි විට ඔව්හු තමන් ළඟ තිබූ තෑග්ග ඔහුට පිරිනමමින් බිමට නැමී වැන්දා හ. 27ඔහු ඔවුන්ගේ සුවදුක් අසමින්, “නුඹලා කී මහලු පියාගේ සැපසනීප කොහොම ද? ඔහු තව ම ජීවත් ව සිටී දැ”යි විමසී ය. 28ඔව්හු ද පිළිතුරු දෙමින්, “ඔබේ දාසයා වූ අපේ පියා හොඳ සනීපයෙන් සිටී; ඔහු තව ම ජීවත් ව සිටින්නේ ය”යි කියා හිස පහත් කොට නමස්කාර කළහ.
29ජෝසෙප් හිස ඔසවා බැලූ කල තම මවගේ පුත්‍රයා වන, තම සහෝදර බෙන්ජමින් දැක, “නුඹලා මට කී නුඹලාගේ බාල ම සහෝදරයා මොහු දැ”යි අසා, “මා පුත, ඔබට දෙවි සරණ ලැබේ වා!”යි කීවේ ය. 30තම සහෝදරයා කෙරෙහි ජෝසෙප්ගේ සිත කම්පා වී, තම නෙත් කඳුළින් පිරී ගියෙන්, ඔහු වහා පිටත ගොස්, තම කාමරයට ඇතුළු වී, හඬන්නට විය. 31පසුව ඔහු මුහුණ සෝදාගෙන, පිටතට අවුත් තමා ම හික්මවා ගනිමින්, “කෑම මේසය පිළියෙළ කරන්නැ”යි කී ය.
32සේවකයෝ ජෝසෙප්ට වෙන ම මේසයක් ද ඔහුගේ සහෝදරයන්ට වෙන ම මේසයක් ද ඔහු සමඟ වැළඳූ මිසර වාසීන්ට වෙන ම මේසයක් ද පිළියෙළ කළහ. මන්ද, මිසර වැසියන් හෙබ්‍රේව්වරුන් සමඟ කෑම නොකන බැවිනි. එසේ කළොත් මිසර වැසියන්ට එය පිළිකුලකි. 33ජෝසෙප්ගේ සහෝදරයෝ ද ඔහුට මූණ ලා, වැඩිමලා පටන් බාලයා දක්වා වයස් අනුව පිළිවෙළට වාඩි කරවන ලදහ. ඔව්හු විස්මිත වී එකිනෙකා දෙස බැලූ හ. 34පසුව ජෝසෙප් තම මේසයෙන් ඔවුන් එකිනෙකාට ආහාර යැව්වේ ය. එහෙත්, බෙන්ජමින්ගේ කොටස අනික් අයගේ කොටස් මෙන් පස් ගුණයක් විය. ඔව්හු ද ඔහු සමඟ බීම පානය කොට ප්‍රීති ප්‍රමෝද වූ හ.

Markering

Del

Kopiér

None

Vil du have dine markeringer gemt på tværs af alle dine enheder? Tilmeld dig eller log ind