ක්‍රියා 18
18
කොරින්තියේදී
1මින් අනතුරුව පාවුල් ඇතන්ස් අත්හැර කොරින්තිය බලා ගියේ ය. 2අකිලා නම් යුදෙව්වරයෙක් එහිදී ඔහුට මුණ ගැසිණි. පොන්තස් වැසියකු වූ හෙතෙම කලක් ඉතාලියේ විසූවෙකි. සියලු යුදෙව්වරුන් රෝමයෙන් පිට මං විය යුතු බවට ක්ලෝදියස් නියෝග කර තිබූ බැවින්, ඔහු තම භාර්යාව වූ ප්‍රිස්කිලා සමඟ මෑතකදී කොරින්තිය වෙත පැමිණ සිටියේ ය. පාවුල් ඔවුන් මුණගැසෙන්නට ගියේ ය. 3ඔහු ද ඔවුන් ද එක ම කර්මාන්තය කළ තැනැත්තන් බැවින් ඔහු ඔවුන් සමඟ නැවතී, වැඩ කළේ ය. ඔවුන්ගේ වෘත්තිය කූඩාරම් සෑදීම ය. 4ඔහු හැම සබතක සිනගෝගයේ යුදෙව්වරුන් මෙන් ම ග්‍රීකයන් සමඟ ද තර්ක කරමින් ඔවුන්ට ඒත්තු ගැන්වීමට වෙර දැරී ය.
5සීලස් හා තිමෝති මකිදෝනියේ සිට පැමිණි පසු, යේසුස්වහන්සේ, ක්‍රිස්තුස්වහන්සේ ම යැයි යුදෙව්වරුන්ට සාක්ෂි දරමින් වචනය දේශනා කිරීමට පාවුල් මුළුමනින් ම කැප වූයේ ය. 6එහෙත් යුදෙව්වරුන් විරෝධය පාමින්, අපහාස කරන්නට වූ කල, පාවුල් තම ඇඳුම් ගසා දමමින්, “නුඹලාගේ ලේ නුඹලාගේ ම හිස් පිට වේවා! මගේ වගකීමෙන් මා නිදොස්; මෙතැන් පටන් මා අන්‍ය-ජාතීන් වෙත යනවා” යි කීවේ ය.
7ඉන්පසු එහි යෑම අත් හළ පාවුල් සිනගෝගයට යාබද නිවස, දෙවියන්වහන්සේට නමස්කාර කරන්නකු වූ තිතියුස් යුස්තස්ගේ නිවස වෙත ගියේ ය. 8සිනගෝග පාලක ක්‍රිස්පස් ද ඔහුගේ ගෘහවාසී සියල්ලෝ ද ස්වාමින්වහන්සේ අදහා ගත්හ. පාවුල්ගේ දේශනා ඇසූ කොරින්තිවරු බොහෝ දෙනෙක් ද අදහා බව්තීස්ම ලදහ.
9ස්වාමින්වහන්සේ රාත්‍රියේදී දර්ශනයකින් පාවුල්ට කතා කොට, “බය වන්න එපා; දිගට ම කතා කරන්න; නිහඬ ව නො සිටින්න. 10මා ඔබ සමඟයි; කිසිවකු ඔබට පහර දී අනතුරු කරන්නේ නැත. මන්ද මේ නගරයේ බොහෝ ජනකායක් මට සිටිනවා” යි පැවසූ සේක. 11එබැවින් පාවුල් ඔවුන්ට වචනය උගන්වමින්, එක් අවුරුදු හය මසක් එහි නැවතී සිටියේ ය.
12එහෙත් ගලියෝ, අකායේ පළාත් ආණ්ඩුකරු ව සිටියදී, යුදෙව්වරු පාවුල්ට එරෙහිව එක්සත් ව නැගිට, උසාවියට ඔහු ගෙන අවුත්, 13“මේ මිනිහා ව්‍යවස්ථාවට පටහැනි විදියට දෙවියන්වහන්සේට නමස්කාර කරන්නට ජනයා පොලඹවනවා” යි කියමින් චෝදනා කළහ.
14එහෙත් පාවුල් මුව විවර කරත් ම, යුදෙව්වරුන් ඇමතූ ගලියෝ, “යුදෙව්වරුනි, නුඹලාගේ පැමිණිල්ල කිසියම් අයුත්තක් හෝ බරපතළ අපරාධයක් ගැන නම්, මා ඊට සවන් දීම යුක්ති සහගතයි; 15එහෙත් එය වචන, නාම හා නුඹලාගේ නීති සංග්‍රහය ගැන ගැටලු බැවින් නුඹලා ම ප්‍රශ්නය විසඳා ගනිල්ලා. මේ දේවල් ගැන මම විනිශ්චයකරුවෙක් නො වන්නෙමි” යි කීවේ ය. 16මෙසේ, ගලියෝ උසාවියෙන් ඔවුන් පලවා හැරියේ ය. 17එවිට ඔවුන් සැවොම සිනගෝග පාලක සොස්තෙනස් අල්ලා, උසාවිය ඉදිරියේ ම ඔහුට තැළුෑහ. එහෙත් ගලියෝ ඒ ගැන තැකීමක් කළේ නැත.
ප්‍රිස්කිලා, අකිලා සහ අපොල්ලොස්
18පාවුල් මද කලක් කොරින්තියෙහි ගත කර, සහෝදරයින්ගෙන් සමුගෙන, ප්‍රිස්කිලා හා අකිලා ද සමඟ සිරියා බලා නැව් නැංගේ ය. ඔහු තමා වූ බාරයක් ඔප්පු කරමින්, කෙන්ක්‍රයාහි දී තම හිස මුඩු කරවා ගත්තේ ය. 19ඔවුහු එපීසය වෙත පැමිණියහ. එහිදී ප්‍රිස්කිලා හා අකිලාගෙන් වෙන් වූ පාවුල් සිනගෝගයට ගොස්, යුදෙව්වරුන් හා තර්ක කළේ ය. 20තමන් සමඟ කලක් නැවතී සිටින්නැයි ඔවුන් ඉල්ලූ නමුදු, පාවුල් එය ප්‍රතික්ෂේප කළේ ය. 21එහෙත් ඔහු ඔවුන්ගෙන් සමු ගනිද්දී, “දෙවියන්වහන්සේ කැමති සේක් නම්, මා නැවත මෙහි එනවා” යි ඔවුන්ට පැවසී ය. මෙසේ ඔහු එපීසය වෙතින් නැව් නැග, 22කායිසාරියට ගොඩ බැස්සේ ය. ඔහු ගොස් සභාව හමු වී, ඔවුනට ආචාර කොට, අන්තියෝකියට ගියේ ය.
23කලක් එහි ගත කළ ඔහු පිටත් ව, ගලාතිය හා පිරිගිය පෙදෙස් ඔස්සේ තැනකින් තැනකට ගමන් කළේ සියලු ගෝලයින් ධෛර්යවත් කරමිනි.
24මේ අතර ඇලෙක්සන්ද්‍රීය වාසී අපොල්ලොස් නම් යුදෙව්වරයෙක් එපීසය වෙත ආවේ ය. ඔහු උගතෙකි; ශුද්ධ ලියවිලි පිළිබඳ විශාරදයෙකි. 25ස්වාමින්වහන්සේගේ මාර්ගය පිළිබඳව යමකු ඔහුට කරුණු කියා දී තිබිණි. ඔහු උද්යෝගිමත් ආත්මයෙන් යුතු ව යේසුස්වහන්සේ ගැන නිවැරදි ව ඉගැන්වී ය. එහෙත් ඔහු දැන සිටියේ යොහන්ගේ බව්තීස්මය පමණකි. 26ඔහු සිනගෝගයේදී නිර්භය ව කතා කරන්නට වන් කල, ඒ ඇසූ ප්‍රිස්කිලා හා අකිලා තම නිවසට ඔහු කැඳවා, දෙවියන්වහන්සේගේ මාර්ගය වඩා නිවැරදි ව ඔහුට පහදා දුන්හ.
27අකාය වෙත යෑමට අපොල්ලොස්ට ඕනෑ වූ කල සහෝදරයෝ ඔහු දිරිමත් කොට, සාදරයෙන් ඔහු පිළිගන්නා ලෙස එහි ගෝලයින්ට ලියා යැවූහ. දෙවියන්වහන්සේගේ අනුග්‍රහයෙන් අදහා සිටියවුනට අපොල්ලොස්ගේ පැමිණීම මහත් පිළිසරණක් විය. 28ක්‍රිස්තුස්වහන්සේ, යේසුස්වහන්සේ ම බව ශුද්ධ ලියවිල්ල මගින් සනාථ කරමින්, ප්‍රසිද්ධ විවාදවලදී ඔහු ප්‍රබල ව යුදෙව්වරුන් පැරදවී ය.
Zur Zeit ausgewählt:
ක්‍රියා 18: SCV
Markierung
Kopieren
Vergleichen
Teilen
Möchtest du deine gespeicherten Markierungen auf allen deinen Geräten sehen? Erstelle ein kostenloses Konto oder melde dich an.
Holy Bible, Sinhala Contemporary Version™ | © 1980, 1991, 1994, 2011, 2020, 2025 by Biblica, Inc. | Used with permission. All rights reserved worldwide.