Λογότυπο της εφαρμογής Αγιά Γραφή
Εικονίδιο αναζήτησης

මතෙව් 8

8
කුෂ්ඨ රෝගියා
1උන්වහන්සේ කන්දේ සිට පහළට බැස ආ කල, විශාල පිරිසක් උන්වහන්සේ පසු පස ගියහ. 2එවිට මෙන්න, කුෂ්ඨ රෝගියෙක් උන්වහන්සේ වෙත පැමිණ, උන්වහන්සේ අබියස දණින් වැටී, “ස්වාමිනි, ඔබ කැමති නම්, මා පවිත්‍ර කරන්නට ඔබට පුළුවනැ” යි කීවේ ය.
3යේසුස්වහන්සේ අත දිගු කොට, ඔහු ස්පර්ශ කර, “මා කැමතියි; පවිත්‍ර වන්නැ!” යි පැවසූ කෙණෙහි ම, කුෂ්ඨය පහ වී ඔහු පවිත්‍ර විය. 4ඉන්පසු ඔහු ඇමතූ යේසුස්වහන්සේ, “කිසිවකුට කිසිවක් නො කියන්නට වග බලා ගන්න. එනමුත් ගොස්, පූජකයා ඉදිරියේ පෙනී සිට, මෝසෙස් විසින් නියම කරන ලද පඬුරු ඔවුන්ට සාක්ෂියක් වශයෙන් ඔප්පු කරන්නැ” යි පැවසූ සේක.
සියයේ සෙන්පතියාගේ ඇදහිල්ල
5යේසුස්වහන්සේ කපර්ණවුමට පිවිසි කල, රෝම හමුදාවේ සියයේ සේනාංකයක් භාර සෙන්පතියෙක් ඉදිරියට අවුත්, උන්වහන්සේට ආයාචනා කරමින්, 6“ස්වාමිනි, මගේ මෙහෙකරුවා අංසබාගය සෑදී, දැඩි වේදනාවෙන් නිවසේ වැතිර සිටී” යි කීවේ ය.
7“මා ඇවිත් ඔහු සුව කරන්නම්” යි උන්වහන්සේ ඔහුට පැවසූහ.
8එහෙත් සියයේ සෙන්පතියා පිළිතුරු දෙමින්, “ස්වාමිනි, ඔබතුමා මගේ වහල යටට පැමිණීමට තරම් මා සුදුස්සෙක් නො වේ. වචනයක් පමණක් පැවසුව මැනවි; එවිට මගේ මෙහෙකරුවා සුව වන්නේ ය. 9මන්ද මමත් ආධිපත්‍යයට යටත් මනුෂ්‍යයෙක්මි; මා යටතේ ද හේවායෝ සිටිති. මා කෙනකුට ‘යනු’ යි කී කල ඔහු යයි; වෙනෙකකුට ‘එනු’ යි මා කී කල ඔහු එයි. ‘මෙය කරනු’ යි මගේ මෙහෙකරුට කී කල, ඔහු එය කරතැ” යි පැවසී ය.
10ඒ ඇසූ කල, විස්මපත් වූ යේසුස්වහන්සේ, තමන් පිරිවරා ආ පිරිස අමතා, “සැබවින් ම මා ඔබට කියන්නේ, මේ තරම් මහත් ඇදහිල්ලක් ඉශ්‍රායෙල්හි කිසිවකු වෙතින්වත් මා දැක නැති බවයි. 11මා ඔබට කියන්නේ, නැගෙනහිරින් හා බස්නාහිරින් පැමිණෙන බොහෝ දෙනකු ස්වර්ග රාජ්‍යයේ මංගල්‍ය භෝජනයට ආබ්‍රහම් ද ඊසාක් ද යාකොබ් ද සමඟ අසුන් ගන්නා 12අතර, රාජ්‍යයේ පුත්‍රයින් පිටත අන්ධකාරයට හෙළනු ලබන බවයි. එහිදී වැලපීමත්, දත්මිටි කෑමත් වනු ඇතැ” යි පැවසූ සේක.
13පසුව යේසුස්වහන්සේ, “යන්න! සිදු වෙතැයි ඔබ විශ්වාස කළ පරිදි වෙතැ” යි සියයේ සෙන්පතියාට කී සේක. ඒ මොහොතේ ම ඔහුගේ මෙහෙකරුවාට සුවය ලැබිණ.
බොහෝ දෙනකුට සුවය
14යේසුස්වහන්සේ පේතෘස්ගේ නිවසට ඇතුළු වූ කල, ඔහුගේ නැන්දණිය උණෙන් පෙළෙමින් ඇඳේ වැතිර සිටිනු දුටු සේක. 15උන්වහන්සේ ඇගේ අතින් ඇල්ලූ කල, උණ ඇගෙන් දුරු විය. ඈ නැගිට උන්වහන්සේට සත්කාර කරන්නට වූවා ය.
16සවස් වූ කල, යක්ෂාත්මවලින් පීඩා විඳි බොහෝ දෙනෙක් උන්වහන්සේ වෙත ගෙනෙනු ලැබ, උන්වහන්සේ වචනයෙන් එම ආත්ම දුරු කොට, රෝගී සියල්ලන් සුව කළ සේක. 17මෙසේ වූයේ දිවැසිවර යෙසායා කී දිවැසි වැකිය ඉටු වන පිණිස ය:
“උන්වහන්සේ දරා ගත්තේ අපේ දුබලකම් ය.
උසුලා ගත්තේ අපේ රෝ-දුක් ය.”#8:17 යෙසා 53;4
අනුගාමික මිල
18යේසුස්වහන්සේ තමන් වටා වූ ජනකාය දුටු කල, විලෙන් එගොඩට යන ලෙස අණ දුන් සේක. 19එහි පැමිණි දහම් පඬිවරයෙක්, “ගුරුතුමනි, ඔබතුමා කොහේ යතත්, මම ඔබ පසු පස එන්නෙමි” යි උන්වහන්සේට කීවේ ය.
20යේසුස්වහන්සේ පිළිතුරු දෙමින්, “සිවලුන්ට ගුහාත්, අහස් පක්ෂීන්ට කැදලිත් තිබේ. එහෙත් මනුෂ්‍ය-පුත්‍රයාට තම හිස තැබීමටවත් තැනක් නැතැ” යි කී සේක.
21ගෝලයකු වූ වෙනත් කෙනෙක් උන්වහන්සේට කතා කොට, “ස්වාමිනි, පළමු ව මා ගොස්, මගේ පියා භූමදාන කරන්නට අවසර” යි කීවේ ය.
22එහෙත් යේසුස්වහන්සේ, “මා අනුව එන්න, මළාහු තම මළවුන් වැළලුවා වේ” යි ඔහුට පැවසූ සේක.
රළු කුණාටුව සංසිඳ වීම
23ඉන්පසු උන්වහන්සේ ඔරුවට නැගුණු කල, උන්වහන්සේගේ ගෝලයෝ උන්වහන්සේ අනුව ගියහ. 24එවිට මෙන්න, රළ පහරින් ඔරුව වැසී යන තරමට මුහුද ඔස්සේ හැමූ සැඩ කුණාටුවක්! එහෙත් උන්වහන්සේ සිටියේ නිදාගෙන ය. 25ගෝලයෝ ළං වී උන්වහන්සේ අවදි කරවමින්, “ස්වාමිනි, අප ගලවා ගන්න; අප විනාශ වෙන්නටයි යන්නේ” යි කීහ.
26යේසුස්වහන්සේ පිළිතුරු දෙමින්, “අහෝ, මද ඇදහිලි ඇත්තනි, මොකට ඔතරම් බය දැ?” යි අසා, ඉන්පසු නැගිට, සුළඟටත්, රුදු රළ රැළිවලටත් තරවටු කළ සේක. එවිට මහා නිසලතාවක් ඇති විය.
27ඉන් විස්මපත් ඒ මිනිස්සු, “මොන විදියේ මනුෂ්‍යයෙක් ද මොහු! සුළඟත්, මුහුදත් පවා මොහුට කීකරු වෙතැ” යි කීහ.
යක්ෂාත්මයෝ හා ඌරු රැළ
28උන්වහන්සේ ගදරීනයන්ගේ පෙදෙසේ අනෙක් පැත්තට එගොඩ වූ කල, කිසිවකුට ඒ මග පසු කර යා නො හැකි තරමට සැහැසි වූ, සොහොන් ගෙවල සිට එමින් සිටි යක්ෂාත්මාවේශ මිනිසුන් දෙදෙනෙක් උන්වහන්සේට මුණ ගැසිණි. 29එවිට මෙන්න! “අහෝ දෙවියන්වහන්සේගේ පුත්‍රයාණෙනි, ඔබට අපෙන් ඇති කාරිය කිම ද? ඔබ මෙහි ආවේ නියමිත කාලයට පළමු අපට වධ දෙන්නට දැ?” යි ඔවුහු මොර ගැසූහ.
30ඔවුනට මදක් ඈතින්, මහ ඌරු රැළක් අහර කමින් වුන්හ. 31යක්ෂාත්මයෝ උන්වහන්සේට කන්නලව් කරමින්, “ඔබතුමා අප පලවා හරින්නේ නම්, අර ඌරු රැළ වෙත අප හැරිය මැනව” යි ඉල්ලූහ.
32“යනු” යි උන්වහන්සේ ඔවුන්ට කී සේක. එකල පිටතට වන් යක්ෂාත්ම ඌරන්ට වැහුණහ. එවිට මෙන්න! බෑවුම පහළට වේගයෙන් දුව ගිය මුළු ඌරු රැළ, දියේ ගිලී මළහ. 33ඌරු පල්ලෝ ද දුව ගොස්, නගරයට පිවිස, ඒ සියලු පුවත් ද යක්ෂාත්මාවේශ ව සිටි මිනිසුන් දෙදෙනාට සිදු වූ දෑ ද සැල කළහ. 34එවිට මෙන්න, මුළු නගරය ම යේසුස්වහන්සේ හමු වන්නට පිටත් ව අවුත්, උන්වහන්සේ දුටු කල, තම පෙදෙසින් ඉවත් ව යන ලෙස අයැද සිටියහ.

Επιλέχθηκαν προς το παρόν:

මතෙව් 8: SCV

Επισημάνσεις

Αντιγραφή

Σύγκριση

Κοινοποίηση

None

Θέλετε να αποθηκεύονται οι επισημάνσεις σας σε όλες τις συσκευές σας; Εγγραφείτε ή συνδεθείτε