Logo de la Biblia App
Ícono Búsqueda

ක්‍රියා 8

8
1ඔහු මරා දැමීම අනුමත කරමින්, සාවුල් ද එහි සිටියේ ය.
සභාවේ පීඩාව හා ව්‍යාප්තිය
ඒ දවසේ ම යෙරුසලම් සභාවට එරෙහි දරුණු වධ හිංසනයක් පැන නැගිණි. අපෝස්තුලුවරුන් හැර අන් සියල්ලෝ යුදය හා සමාරිය යන පෙදෙස් පුරා විසිරවන ලදහ. 2භක්තිවන්ත මනුෂ්‍යයෝ ස්තේපන් භූමදාන කර, ඔහු ගැන බෙහෙවින් ශෝක වූහ. 3එහෙත් සාවුල් ගෙයක් ගෙයක් පාසා යමින්, ස්ත්‍රී, පුරුෂ දෙගොල්ල ම අල්ලා, සිර ගෙදරට බාර දෙමින් සභාව විනාශ කරන්නට වන්නේ ය.
පිලිප් විසින් සමාරියේ වචනය ප්‍රකාශ කිරීම
4විසුරුවනු ලැබූවෝ ගිය ගිය තැන්හි ශුභාරංචිය දේශනා කළහ. 5සමාරියේ නගරයකට ගිය පිලිප්, එහි ජනයාට ක්‍රිස්තුස්වහන්සේ ප්‍රකාශ කළේ ය. 6පිලිප් කී දෑ ඇසූ, ඔහු කළ හාස්කම් දුටු සමූහයා, ඔහු පැවසූ දෑට එකාවන් ව අවධානය යොමු කළහ. 7මර හඬ නගමින්, අශුද්ධාත්ම ඔවුන් ආවේශ ව සිටි බොහෝ දෙනකුගෙන් දුරුව ගියහ. අංසබාග රෝගීහු ද කොරු ද බොහෝ දෙනෙක් සුව කරන ලදහ. 8එබැවින් ඒ නගරයේ මහා ප්‍රීතියක් හට ගැනිණි.
මන්ත්‍රකාර සීමොන්
9කලක් මන්තර විජ්ජා මගින් මුළු සමාරි ජනයා විස්මපත් කළ සීමොන් නම් මිනිසෙක් මේ නගරයේ විසී ය. තමා මහ උත්තමයෙකැයි ඔහු තමන් ගැන ම පුරසාරම් දෙඩී ය. 10ඒ නගරයේ විසූ උස් පහත් සැවොම ඔහුට ගරු සැලකිලි දක්වමින්, “ ‘ප්‍රභූ’ නම් දෙවියන්ගේ බලය මොහු යැ” යි පැවසූහ. 11ඔවුන්, ඔහුට ගරු සැලකිලි දැක්වූයේ බොහෝ කලක් ම මන්තර විජ්ජා මගින් ඔහු ජනයා පුදුමයට පත් කළ බැවිනි. 12එහෙත් පිලිප් දෙවියන්වහන්සේගේ රාජ්‍යය හා යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ නාමය ගැන ශුභාරංචිය දේශනා කළ විට, ඔවුහු ඔහු විශ්වාස කළහ; ගැහැණු හා පිරිමි දෙගොල්ල ම බව්තීස්ම කරන ලදහ. 13සීමොන් ද විශ්වාස කර, බව්තීස්ම කරනු ලැබී ය. පිලිප් යන යන තැන ඔහු පසු පස ගිය හෙතෙම, පිලිප් දැක් වූ බලවත් ලකුණු හා හාස්කම් දකිමින් විස්මපත් වූයේ ය.
14සමාරියයන් දෙවියන්වහන්සේගේ වචනය පිළිගත් වග, යෙරුසලමේ අපෝස්තුලුවරුනට සැල වූ කල, ඔවුහු පේතෘස් හා යොහන් ඔවුන් වෙත පිටත් කළහ. 15එහි පැමිණි ඔවුහු ශුද්ධාත්මයාණන් ලැබෙන ලෙස ඔවුන් උදෙසා යාච්ඤා කළහ. 16මන්ද ඒ වන තුරු, ඒ කිසිවකු පිට ශුද්ධාත්මයාණන් පහළ වී තිබුණේ නැති බැවිනි. ඔවුන් යේසුස් ස්වාමින්වහන්සේගේ නාමයෙන් බව්තීස්ම ලැබ සිටියා පමණි. 17ඔවුහු ඔවුන් පිට අත් තැබූ කල්හි, ඔවුහු ශුද්ධාත්මයාණන් ලදහ.
18ඔවුන්ට ආත්මයාණන් දෙන ලද්දේ අපෝස්තුලුවරුන්ගේ අත් තැබීමෙන් බව දුටු සීමොන්, ඔවුන්ට මුදල් පාමින්, 19“මා යමකු පිට අත් තැබූ කල්හි ඔහුට ශුද්ධාත්මයාණන් ලැබෙන ලෙස මටත් ඔය බලය පවරන්නැ” යි ඉල්ලී ය.
20එවිට පේතෘස් පිළිතුරු දෙමින්, “දෙවියන්වහන්සේගේ දීමනාව මුදලට ගත හැකියයි සිතූ නිසා, නුඹත් සමඟ නුඹේ මුදල් විනාශ වේවා! 21මේ සම්බන්ධ කිසි අයිතියක් හෝ පංගුකාරකමක් නුඹට නැත. මන්ද ඔබේ හදවත දෙවියන්වහන්සේ ඉදිරියේ හරි නැත. 22එබැවින් ඔබේ ඔය දුෂ්ටකම ගැන පසුතැවිලි වී, ස්වාමින්වහන්සේට යාච්ඤා කරන්න. සමහර විට උන්වහන්සේ ඔබේ හදවතේ උපන් සිතිවිල්ලට කමා වනු ඇත. 23මන්ද ඔබ තදබල තික්තකමින් පිරී, පාපයට ගොදුරක් ව සිටිනු මට පෙනේ යැ” යි කීවේ ය.
24“ඔබ කී කිසිවක් මට සිදු නො වන පිණිස, මා උදෙසා ස්වාමින්වහන්සේට යාච්ඤා කරන්නැ” යි සීමොන් ඔවුන්ගෙන් ඉල්ලී ය.
25සාක්ෂි දරමින් ස්වාමින්වහන්සේගේ වචනය ප්‍රකාශ කළ පේතෘස් හා යොහන් ආපසු එන ගමනේදී, තවත් සමාරි ගම්මාන බොහොමයක ශුභාරංචිය දේශනා කරමින් යෙරුසලමට ආපසු ආහ.
පිලිප් සහ ඉතියෝපියානු නිලධාරියා
26ස්වාමින්වහන්සේගේ දූතයෙක් පිලිප්ට කතා කොට, “නැගිට, දකුණු දෙසට, යෙරුසලමේ සිට ගාසා දක්වා දිවෙන මාවතට යන්නැ” යි කීවේ ය. එය කාන්තාර මාවතකි. 27පිලිප් ඒ අනුව පිටත් විය. එසේ ගමන් ගනිද්දී, ඉතියෝපියානු නපුංසකයෙක් ඔහුට මුණ ගැසිණි. ඉතියෝපියානු කන්දකී රැජිනගේ සියලු ධන නිධානයන්හි භාරකාරත්වය ඉසිලූ මෙම රාජ්‍ය නිලධාරියා නමස්කාර කරන පිණිස යෙරුසලමට ගොස්, 28ආපසු ගම-රට බලා යමින් සිටියේ ය. මේ අවස්ථාවේ ඔහු සිටියේ තම රථයේ හිඳ, දිවැසිවර යෙසායාගේ ශුද්ධ ලියවිල්ල කියවමින් ය. 29“ඒ රථය වෙත ගොස් එක් වන්නැ” යි පිලිප්ට ශුද්ධාත්මයාණෝ පැවසූ සේක.
30එවිට රථය ළඟට දිවූ පිලිප්ට ඒ මිනිසා දිවැසිවර යෙසායාගේ ලියවිල්ලෙන් කියවනවා ඇසිණි. “ඔබ කියවන දේ ඔබට වැටහෙනවා දැ?” යි පිලිප් ඔහුගෙන් ඇසී ය.
31“කවුරු හරි තේරුම් කර දුන්නොත් මිසක මා තේරුම් ගන්නේ කොහොම දැ?” යි පිළිතුරු දුන් හෙතෙම, රථයට නැගී තමන් හා අසුන් ගන්නා ලෙස පිලිප්ට ඇරියුම් කළේ ය.
32ඔහු කියවමින් සිටි ශුද්ධ ලියවිලි පාඨය නම්:
“මරන්නට ගෙන යන බැටළුවකු විලස,
ලොම් කපන්නන් අබියස බැටළු පැටවකු නිහඬ ව සිටින විලස,
එතුමන් තම මුව විවර කළේ නැත.
33එතුමන්ගේ යටහත් පහත්වීමේදී යුක්තිය එතුමන්ට අහිමි කෙරිණි;
එතුමන්ගේ පෙළපත ගැන කවරකුට කිව හැකි ද?
මන්ද එතුමන්ගේ ජීවිතය පොළොවෙන් පහ කරනු ලැබිණ.”#8:33 යෙසා 53:7,8
34නපුංසකයා පිලිප් අමතමින්, “දිවැසිවරයා මේ පවසන්නේ කවුරුන් ගැන ද? තමා ගැන ද? නැති නම් වෙනත් කෙනකු ගැනදැයි මට කියන්නැ” යි පැවසී ය. 35එවිට එම ශුද්ධ ලියවිලි වැකියෙන් තම කතාව ඇරඹූ පිලිප්, යේසුස්වහන්සේ පිළිබඳ ශුභාරංචිය ඔහුට පැවසී ය.
36ඔවුන් මෙසේ යද්දී, මග අසල ජලය තිබූ තැනකට ඔවුහු ළඟා වූහ. එකල, “මෙන්න ජලය! බව්තීස්මය ලබන්නට මට බාධාවක් තියේ දැ?” යි නපුංසකයා ඇසී ය.
37පිලිප් කතා කොට, “ඔබේ මුළු සිතින්ම අදහන්නේ නම් ඔබට පුළුවනැ” යි කීවේ ය.#8:37 ඇතැම් පුරාණ අත් පිටපත්වල මෙම පදය ඇතුළත් නො වේ.
නපුංසකයා පිළිතුරු දෙමින්, “යේසුස් ක්‍රිස්තුස්වහන්සේ දෙවියන්වහන්සේගේ පුත්‍රයාණන් බව මම විශ්වාස කරමි” යි පැවසී ය. 38ඔහු රථය නවතන්නට අණ කළේ ය. එවිට පිලිප් හා නපුංසකයා යන දෙදෙනා ම දියට බැස්සහ; පිලිප් ඔහු බව්තීස්ම කළේ ය. 39ඔවුන් දියෙන් ගොඩ ආ කල, ස්වාමින්වහන්සේගේ ආත්මයාණෝ හදිසියේ ම පිලිප් වෙනතක ගෙන ගිය සේක. නපුංසක නිලධාරියාට තවත් පිලිප් දක්නට ලැබුණේ නැතත්, ඔහු ප්‍රීතියෙන් යුතු ව තම ගමන ගියේ ය. 40ඉන්පසු පිලිප් දක්නට ලැබුණේ අසෝතස්හි දී ය. එතැන් සිට කායිසාරියට පැමිණෙන තෙක්, හමු වූ සියලු නගරයන්හි ශුභාරංචිය දේශනා කරමින් ඔහු ගමන් ගත්තේ ය.

Actualmente seleccionado:

ක්‍රියා 8: SCV

Destacar

Copiar

Comparar

Compartir

None

¿Quieres guardar tus resaltados en todos tus dispositivos? Regístrate o Inicia sesión