Piibli äpi logo
Otsingu Ikoon

ක්‍රියා 3

3
කොරෙකු සුවපත් කිරීම
1දිනක් පේදුරු සහ ජොහන් යාච්ඤා වේලාව වූ සවස තුනට දේව මාලිගයට ගියහ. 2උපන් දා පටන් කොර ව සිටි එක්තරා මිනිසෙක් විය. දේව මාලිගාවට ඇතුළු වන්නන්ගෙන් සිඟමන් ඉල්ලන පිණිස, දේව මාලිගාවේ ‘සුදර්ශන’ නම් ලත් දොරටුව ළඟ දිනපතා ඔහු තබන ලදී. 3ඔහු පේදුරු සහ ජොහන් දේව මාලිගාවට ඇතුළුවන්නට යන බව දැක සිඟමන් ඉල්ලී ය. 4පේදුරු ජොහන් සමඟ ඔහු දෙස නෙත් යොමා, “අප දෙස බලන්නැ”යි කී ය. 5ඔහු ද ඔවුන්ගෙන් යමක් ලබන බලාපොරොත්තුවෙන් ඔවුන් දෙස ඕනෑකමින් බැලී ය. 6එවිට පේදුරු, “රන් වත් රිදී වත් මට නැත. එහෙත් මට ඇති දේ ඔබට දෙමි; නාසරෙත්හි ජේසුස් ක්‍රිස්තුන් වහන්සේගේ නාමයෙන් ඇවිදින්නැ”යි කී ය. 7එසේ කියා පේදුරු තුමා ඔහුගේ දකුණත අල්ලා ඔහු නැඟිටුවාලී ය. එකෙණෙහි ම ඔහුගේ පාද සහ වළලුකර ශක්ති සම්පන්න විය. 8ඔහු උඩ පැන කෙළින් සිට ඇවිදින්නට විය. තවද, ඇවිදිමින් ද, උඩ පනිමින් ද, දෙවියන් වහන්සේට ප්‍රශංසා කරමින් ද ඔහු ඔවුන් සමඟ දේව මාලිගාවට ඇතුළු විය. 9ඔහු ඇවිදිනවාත්, දෙවියන් වහන්සේට ප්‍රශංසා කරනවාත් සියලු දෙනා දුටුවෝ ය. 10දේව මාලිගාවේ ‘සුදර්ශන’ දොරටුව ළඟ හිඳගෙන සිඟමන් ඉල්ලුවේ මේ මිනිසා බව හඳුනා ගත් ඔව්හු ඔහුට සිදුවූ දේ ගැන පුදුමයෙන් පුදුමයට පත් වූ හ.
පේදුරු තුමාගේ දේශනාව
11පේදුරු සහ ජොහන් ඔහුගේ අතින් අල්ලාගෙන සලමොන්ගේ සක්මන් මළුවෙහි සිටිනු දුටු සමූහයා අතිශයින් පුදුම වී ඔවුන් වෙතට දිවූ හ. 12පේදුරු ඒ සෙනඟට මෙසේ කී ය: “ඉශ්රායෙල් ජනයිනි, මේ ගැන ඔබ පුදුම වන්නේ කුමක්නිසා ද? අපේ ම බලයෙන් වත් යහපත්කමින් වත් අප මේ මිනිසා ඇවිදින්නට සැලසුවාක් මෙන් අප දෙස නෙත් යොමා මවිතයෙන් බලන්නේ මන් ද? 13#නික්ම 3:15 ආබ්‍රහම්ගේ ද ඊසාක්ගේ ද ජාකොබ්ගේ ද දෙවි වූ අපගේ පියවරුන්ගේ දෙවියන් වහන්සේ තමන් සේවකයා වූ ජේසුස් වහන්සේ මහිමයට පැමිණ වූ සේක. එහෙත් ඔබ උන් වහන්සේ නඩු ශාලාවට පැමිණෙව්වහු ය. තවද පිලාත් උන් වහන්සේ නිදහස් කරන්නට තීරණය කරගෙන සිටි විට ඔහු ඉදිරියේ ම ඔබ උන් වහන්සේ ප්‍රතික්ෂේප කළහු ය. 14#මතෙ 27:15-23; මාක් 15:6-14; ලූක් 23:13-23; ජොහ 19:12-15 ඔබ සුවිශුද්ධ වූ ධර්මිෂ්ඨ වූ තැනැන් වහන්සේ ප්‍රතික්ෂේප කර ඒ වෙනුවට මිනීමරුවෙකු මුදා දෙන මෙන් ඉල්ලා සිටියහු ය. 15මෙසේ ඔබ ජීවනේශ්වරයාණන් මරණයට පත් කළහු ය. එහෙත් දෙවියන් වහන්සේ උන් වහන්සේ මරණයෙන් උත්ථාන කර වදාළ සේක. අපි ඊට සාක්ෂිකාරයෝ වම්හ. 16දැන් ඔබ ඉදිරියේ සිටින ඔබ හඳුනන මේ මිනිසා සම්පූර්ණ සුවය ලැබුවේ උන් වහන්සේගේ නාමයෙන් හා ඒ නාමය කෙරෙහි ඇති ඇදහිල්ල කරණකොටගෙන ය.
17“දැන් ඉතින් සහෝදරවරුනි, ඔබගේ ප්‍රධානීන් මෙන් ම, ඔබ ද, නොදැනුම්කමින් ක්‍රියා කළ බව මම දනිමි. 18එසේ වුවත්, ස්වකීය ක්‍රිස්තුන් වහන්සේ දුක් විඳිය යුතු යයි දෙවියන් වහන්සේ සියලු දිවැසිවරයන්ගේ මුවින් පෙර දන්වා වදාළ දේ, මෙසේ සම්පූර්ණ කළ සේක. 19එබැවින්, ඔබේ පව් මකාලන පිණිස ද දෙවියන් වහන්සේ කෙරෙන් නව ජීවන යුගයක් පැමිණෙන පිණිස ද 20ඔබ උදෙසා පෙර නියම කරන ලද ක්‍රිස්තුන් නම් ජේසුස් වහන්සේ එවා වදාරන පිණිස ද පසුතැවී සිත් හරවා ගෙන දෙවියන් වහන්සේ වෙතට හැරෙන්න. 21ආදි යුගවල සිට දෙවියන් වහන්සේ ස්වකීය ශුද්ධ දිවැසිවරයන්ගේ මුවින් දැන්වූ, මුළු ලොවට නව ජීවනය දීමේ කාලය පැමිණෙන තුරු උන් වහන්සේ ස්වර්ගයේ වැඩ විසිය යුතු ය. 22#ද්වි.නී. 18:15,18මන්ද, ‘ඔබගේ දෙවි ස්වාමීන් වහන්සේ මා එවා වදාළාක් මෙන් ඔබේ සහෝදරයන් අතුරෙන් ම දිවැසිවරයෙකු ඔබ හට එවා වදාරන සේක. ඔහු ඔබට වදාරන සියල්ලට ඔබ සවන් දිය යුතු ය. 23ඒ දිවැසිවරයාට සවන් නොදෙන හැම කෙනෙක් ම සෙනඟ අතරෙන් සහමුලින් ම විනාශ කරනු ලැබෙති’යි මෝසෙස් කී ය.#ද්වි.නී. 18:19 24තවද, සාමුවෙල් පටන් පහළ වූ සියලු දිවැසිවරු ද එසේ ම පැවසූ හ; මේ දවස් ගැනත් නිවේදනය කළහ. 25#උත් 22:18 ඔබ වනාහි දිවැසිවරුන්ගේ ද ‘ඔබේ වංශය කරණකොටගෙන මිහි පිට සියලු පවුල් ආශීර්වාද කරනු ලබන්නේ ය’යි දෙවියන් වහන්සේ ආබ්‍රහම්ට වදාරමින් ඔබේ පියවරුන් සමඟ කළ ගිවිසුමේ ද පුත්‍රයෝ වන්නහු ය. 26දෙවියන් වහන්සේ ස්වකීය සේවකයාණන් උත්ථාන කොට, පළමුවෙන් ම උන් වහන්සේ එවා වදාළේ ඔබ වෙතට ය. එසේ කෙළේ ඔබ හැම කෙනෙකු ම තම තමාගේ අදමිටුකම්වලින් හරවා ආශීර්වාද කරනු පිණිස ය.”

Tõsta esile

Kopeeri

Võrdle

Jaga

None

Kas soovid, et sinu esiletõstmised oleksid salvestatud kõigis sinu seadmetes? Registreeru või logi sisse