ක්‍රියා 24
24
පාවුලුට විරුද්ධ ව චෝදනා
1පස් දවසකට පසු උත්තම පූජක අනනියස්, සමහර ප්‍රජා මූලිකයන් ද තෙර්තුලස් නම් එක්තරා අධි නීතිඥයෙකු සමඟ අවුත් පාවුලුට විරුද්ධ ව ආණ්ඩුකාරයාට පැමිණිලි කෙළේ ය. 2ඔහු කැඳවනු ලැබූ කල, තෙර්තුලස් පාවුලුට විරුද්ධ ව පැමිණිලි දේශනය මෙසේ අරඹමින්:
“ශ්‍රීමත් ෆීලික්ස් තුමෙනි, ඔබ තුමන් නිසා අපට ස්ථිරසාර සාම යුගයක් ද ඔබගේ දුරදර්ශී පාලනයෙන් මේ ජාතිය උදෙසා ප්‍රතිසංස්කරණ යුගයක් ද පහළ වී ඇති බව, 3සැම විට ම, සැම තැන්හි ම, සියලු අයුරින් කෘතඥතාපූර්වක ව අපි පිළිගනිමු. 4එහෙත් ඔබ තවදුරටත් පමා නොකර, මා ලුහුඬින් කියන දේ කරුණාවෙන් අසන ලෙස අයැදිමි. 5මන්ද, මේ මිනිසා කරදරකාරයෙකු බව ද ලොව පුරා සියලු ජුදෙව්වරුන් අතර කැරලි උපදවන්නෙකු බව ද නාසරියයන්ගේ නිකායේ කැරලිනායකයෙකු බව ද දැනගතිමු. 6මොහු දේව මාලිගාව කෙලෙසන්නටත් උත්සාහ කෙළේ ය. එහෙත් අපි ඔහු අල්ලා ගතිමු. අපගේ ම ව්‍යවස්ථාව අනුව ඔහු විනිශ්චය කිරීම අපගේ තීරණය විය. 7එහෙත් ප්‍රධාන සේනාධිපතියා වන ලිසියස් අවුත් මහත් බලහත්කාරයෙන් ඔහු පැහැර ගෙන, 8ඔහුට වරද තබන පිණිස ඔබ වෙතට ඒමට අණ කෙළේ ය. අප මොහුට විරුද්ධ ව ගෙනෙන පැමිණිලි සියල්ල ගැන මොහුගෙන් ම විචාරා දැනගන්නට ඔබට පුළුවනැ”යි කී ය. 9ජුදෙව්වරු ද ඊට එකඟ ව පැමිණිලි කරමින්, “ඒ සියල්ල සැබෑ ය”යි සම්මත කළහ.
ෆීලික්ස් ඉදිරියේ පාවුලුගේ පිළිතුර
10කතා කරන පිණිස ආණ්ඩුකාරයා පාවුලුට සංඥා කළ කල්හි ඔහු මෙසේ පිළිතුරු දුනි: “ඔබ බොහෝ අවුරුදු ගණනක් මේ ජනතාවට විනිශ්චයකාරයෙකු ව සිටින බව මම දනිමි. එබැවින් මාගේ නිදහස ගැන මා උත්තර දෙන්නේ ඉතා සතුටිනි. 11නමස්කාරය පිණිස මා ජෙරුසලමට ගොස් දැනට දොළොස් දවසකට වඩා නැති බව ඔබට ම දැන ගත හැකි ය. 12දේව මාලිගාවේ දී වත්, ධර්මශාලාවල දී වත්, නගරයේ දී වත්, කිසි කෙනෙකු සමඟ මා වාද කරනවා හෝ සෙනඟ කලබල කරනවා හෝ ඔව්හු නුදුටුවෝ ය. 13ඔවුන් දැන් මා පිට තබන වරද ඔප්පු කරන්නට ඔවුන්ට නොහැකි ය. 14එහෙත් ඔබ ඉදිරියෙහි දැන් මා කියන්නට යන මේ දේ එනම්, නිකායක් යයි ඔවුන් සලකන ධර්ම මාර්ගය මම තරයේ පිළිගනිමි: ව්‍යවස්ථාවලියේ හා දිවැසාවලියේ ලියා තිබෙන සියල්ල විශ්වාස කරමින් අපේ පියවරුන්ගේ දෙවියන් වහන්සේට සේවය කරමි. 15මා මෙසේ විශ්වාස කරන බැවින් දමිටුන්ගේ ද අදමිටුන්ගේ ද පුනරුජ්ජීවනයක් ඇතැ යි මොවුන් බලාසිටින්නාක් මෙන්, මමත් බලාපොරොත්තුවෙන් සිටිමි. 16ඒ නිසා මමත් ඔවුන් මෙන් ම දෙවියන් වහන්සේ හා මනුෂ්‍යයන් ඉදිරියෙහි නිදොස් හෘදය සාක්ෂියක් ඇති ව සිටින්නට ද නිතර ම උත්සහ කරමි.
17 #
ක්‍රියා 21:17-28
“අවුරුදු කීපයකට පසු මාගේ සෙනඟට සම්මාදම් බාර දී පූජා පවත්වනු සඳහා මෙහි ආවෙමි. 18මේ සම්බන්ධයෙන් ඔවුන් දේව මාලිගාවේ දී මා දුටුවේ මා පවිත්‍ර කිරීමේ පිළිවෙත ඉටු කළායින් පසුව ය. එහි මා සමඟ සෙනඟක් සිටියේ නැත; කලබලයක් ද නොතිබිණි. එහෙත් ආසියාවෙන් පැමිණි සමහර ජුදෙව්වරු එහි සිටියෝ ය. 19මට විරුද්ධ ව යමක් තිබුණා නම්, මට දෝෂාරෝපණය කරන පිණිස මෙහි ඔබ ඉදිරියට ඒම ඔවුන්ගේ යුතුකම ය. 20-21#ක්‍රියා 23:6 නැතහොත්, මා මන්ත්‍රණ සභාව ඉදිරියේ කුමන අපරාධයක් කෙළේ දැ යි මෙහි සිටින මොවුහු කියත් වා. ඔවුන් ඉදිරියේ මා කියා ඇත්තේ එක ම එක දෙයයි. එනම්, ‘මළවුන්ගේ උත්ථාන වීම මා අදහන නිසා අද ඔබ විසින් විනිශ්චය කරනු ලබමි’ “යි යනු යි.
22එහෙත් ෆීලික්ස් ඒ ධර්ම මාර්ගය ගැන කාරණා මැනවින් දැන සිටි බැවින්, “ලිසියස් නම් සේනාධිපතියා ආ කල ඔබගේ නඩුව තීන්දු කරන්නෙමි”යි කියා නඩුව කල් දැමී ය. 23තවද පාවුලු රැකවලෙහි තබන්නටත් ඔහුට තරමක නිදහසක් දෙන්නටත්, ඔහුගේ මිත්‍රයන් ඔහුට උපස්ථාන කිරීම තහනම් නොකරන්නටත් ශතාධිපතියාට ඔහු අණ කෙළේ ය.
24කීප දවසකට පසු ෆීලික්ස් ජුදෙව් ස්ත්‍රියක වූ ඩෘසිල්ලා නම් තම භාර්යාව සමඟ අවුත් පාවුලු ගෙන්වා, ක්‍රිස්තුස් ජේසුස් වහන්සේ කෙරෙහි ඇති ඇදහිල්ල ගැන ඔහු කතා කරනු ඇසී ය. 25පාවුලු, සුචරිතය ගැන ද ආත්ම දමනය ගැන ද මතු පැමිණෙන විනිශ්චය ගැන ද කතා කරද්දී ෆීලික්ස් බියපත් ව, “දැනට යන්න, මට ඉඩ ප්‍රස්ථාවක් ලැබුණු විට ඔබ නැවත කැඳවන්නෙමි”යි කී ය. 26ඒ ඇරත් තමාට පාවුලු මුදල් දෙනවා ඇතැ යි ඔහු බලාපොරොත්තුවෙන් සිටියේ ය. ඒ නිසා පාවුලු නැවත නැවත කැඳවා ඔහු සමඟ කතා කෙළේ ය. 27එහෙත් දෑවුරුද්දක් ගත වූ පසු, ෆීලික්ස්ගේ නිලයට පොර්කියුස් ෆෙස්තුස් පත් කරන ලදී. ෆීලික්ස් වනාහි ජුදෙව්වරුන් සතුටු කරන්නට කැමැති ව, පාවුලු හිරබාරයෙහි තබා ගියේ ය.
Sélection en cours:
ක්‍රියා 24: NRSV
Surbrillance
Copier
Comparer
Partager
Tu souhaites voir tes moments forts enregistrés sur tous tes appareils? Inscris-toi ou connecte-toi
Ceylon Bible Society