රෝම 14
14
අනුන් විනිශ්චය කිරීමේ වරද
1 #
කොලො 2:16
ඇදහිල්ලෙහි දුර්වල තැනැත්තා සතුටින් පිළිගන්න; එසේ කළ යුත්තේ ඔහු දරන මත ගැන වාද විවාද කිරීම පිණිස නොවේ. 2කොයි දේත් කන්න නිදහස ඇතැ යි කෙනෙක් සිතයි. ඇදහිල්ලෙහි දුර්වල වූ තැනැත්තා එළවළු පමණක් කන්නේ ය. 3කොයි දේත් කන තැනැත්තා එසේ නොකන තැනැත්තාට අවමන් නොකෙරේ වා; නොකන තැනැත්තා ද කන තැනැත්තා විනිශ්චය නොකෙරේ වා. මන්ද, දෙවියන් වහන්සේ ඔහු පිළිගෙන ඇත. 4අන් කෙනෙකුගේ මෙහෙකරුවා විනිශ්චය කිරීමට ඔබ කවරෙක් ද? ඔහුගේ නැඟීම හෝ වැටීම හෝ පිළිබඳ තීරණය ඔහුගේ ම ස්වාමියා සතු ය. ඔහුගේ නැඟීම ගැන සැකයක් නැත, ඔහු නඟා සිටු වීමට සමිඳාණන් වහන්සේට පුළුවන්කම ඇත.
5එක් කෙනෙක් එක දවසක් වෙන දවසකට වඩා සුබ යයි සිතයි; වෙන කෙනෙක් හැම දවසක් ම එක සමාන යයි සිතයි. මෙවැනි කරුණු ගැන එකිනෙකා තම තමාගේ ම සිතට එකඟ ව නිසැක තීරණයක් ගත යුතු ය. 6යම් දවසක් උසස් කොට සලකන්නා එසේ කරන්නේ සමිඳාණන් වහන්සේ උදෙසා ය. කොයි දේත් කන තැනැත්තා ද දෙවියන් වහන්සේට ස්තුති දී කන බැවින්, කන්නේ සමිඳාණන් වහන්සේ උදෙසා ය. එසේ නොකන තැනැත්තාත් දෙවියන් වහන්සේට ස්තුති දී නොකා සිටින බැවින් එය කරන්නේ ද සමිඳාණන් වහන්සේ උදෙසා ය. 7අපෙන් කිසිවෙකු තමා ම උදෙසා ජීවත් වන්නේ වත්, තමා ම උදෙසා නසින්නේ වත් නැත. 8අපි ජීවත් වෙමු නම් සමිඳාණන් වහන්සේ උදෙසා ජීවත් වෙමු. නසිමු නම් සමිඳාණන් වහන්සේ උදෙසා නසිමු. අපි ජීවිතයේදීත් මරණයේදීත් සමිඳාණන් වහන්සේගේ ම වෙමු. 9ක්‍රිස්තුන් වහන්සේ මැරුණෙත්, යළි උත්ථාන වූයේත් මළවුන්ගේ ද ජීවතුන්ගේ ද සමිඳාණන් වහන්සේ වන පිණිස ය.
10 #
2 කොරි 5:10
එසේ නම් ඔබ ඔබේ සහෝදරයා විනිශ්චය කරන්නේ මන් ද? ඔබේ සහෝදරයා හෙළා දකින්නේ මන් ද? අප සියල්ලන් ම දෙවියන් වහන්සේගේ විනිශ්චයාසනය ඉදිරියෙහි පෙනී සිටිනු ඇත. 11#යෙසා 45:23 තවද:
“මා ජීවත් ව සිටින බව සැබෑ වන්නා සේ ම, හැම දෙනා ම මට දණ නමනු ඇත, හැම දෙනා ම මා දෙවියන් වහන්සේ බව ප්‍රකාශ කරනු ඇතැ යි සමිඳාණන් වහන්සේ වදාරන සේකැ”යි
ශුද්ධ ලියවිල්ලෙහි ලියා ඇත. 12එහෙයින් අප එකිනෙකා තම තමා ගැන දෙවියන් වහන්සේට ගණන් දෙනු ඇත.
අනුන්ට බාධාවක් වීමේ වරද
13එබැවින් අපි එකිනෙකා විනිශ්චය කිරීමෙන් වැළකෙමු. එසේ නොකර, සහෝදරයෙකුගේ පැකිළීමට හෝ වැටීමට හෝ හේතු වන කිසිවක් නොකර සිටීමට තීරණය කරගනිමු. 14ස්වභාවයෙන් ම අපවිත්‍ර වූ කිසිවක් නැතැ යි කිතුනුවකු වශයෙන් මම සහතික ලෙස දනිමි. යමක් අපවිත්‍ර යයි සිතන තැනැත්තාට එය අපවිත්‍ර ය. 15ඔබ කන කෑමක් නිසා ඔබේ සහෝදරයාට තද සිත් වේදනාවක් ඇති වේ නම්, ඔබේ හැසිරීම ප්‍රේමයෙන් තොර ය. ඔහු උදෙසා ක්‍රිස්තුන් වහන්සේ දිවි පිදූ බැවින්, ඔබ කන දේ නිසා ඔහු විනාශ වීමට ඉඩ නොහරින්න. 16ඔබට යහපත සේ පෙනෙන දේ අපවාදයකට හේතුවක් නොවේ වා. 17දෙවියන් වහන්සේගේ රාජ්‍යය වනාහි කා බී ප්‍රීතිවීමක් නොව, යුක්තිය ද සාමය ද ශුද්ධාත්මයාණන් වහන්සේ කෙරෙන් එන ප්‍රීතිය ද වේ. 18එලෙස ක්‍රිස්තුන් වහන්සේට සේවය කරන්නා දෙවියන් වහන්සේගෙන් ප්‍රසාදයත්, මිනිසුන්ගෙන් ප්‍රශංසා වත් දිනාගනී.
19එබැවින් අපි සාමය උපදවන අන්‍යොන්‍ය ශුභසිද්ධිය සලසන දෙය අනුගමනය කරමු. 20කෑම නිසා දේව සේවය කඩාකප්පල් නොකරන්න. හැම කෑමක් ම පවිත්‍ර ය; එහෙත් අන්කෙනෙකුගේ වැටීමට හේතු වන සේ කෑම කන මනුෂ්‍යයාට අවැඩක් සිදු වේ. 21මස් කෑමෙන් වත්, මද්‍යපානයෙන් වත්, අන් කිසි දෙයකින් වත් ඔබේ සහෝදරයාට බාධාවක් වේ නම්, එයින් වැළකී සිටීම යහපති. 22ඔබගේ පෞද්ගලික මත දෙවියන් වහන්සේත්, ඔබත් අතර තබාගන්න. තමා හරි යයි පිළිගන්නා දේ ගැන යමෙකුගේ සිත දොස් නොකියයි නම් ඒ මිනිසා වාසනාවන්තයෙකි. 23එහෙත් සැක සිතින් කන තැනැත්තා විශ්වාසයට විරුද්ධ ව කන බැවින්, වරදකරුවෙකු බවට තීන්දු වේ. විශ්වාසයට එකඟ නොවන හැම දෙය ම පාපයකි.
Sélection en cours:
රෝම 14: NRSV
Surbrillance
Copier
Comparer
Partager
Tu souhaites voir tes moments forts enregistrés sur tous tes appareils? Inscris-toi ou connecte-toi
Ceylon Bible Society