Logo Aplikasi Alkitab
Ikon Pencarian

රෝම 14

14
බලවතා සහ දුබලයා
1ඇදහිල්ලෙහි දුර්වල අය පිළිගන්න. එහෙත් මත වාද ගැන විවාදයට නො වේ. 2යමෙක් කවර දෙයක් වුව කෑ හැකියයි විශ්වාස කරන අතර, දුර්වල තැනැත්තා එළවළු පමණක් ආහාරයට ගනියි. 3කවර දේත් අනුභව කරන තැනැත්තා, එසේ නො කන තැනැත්තා පහත් කොට නො සැලකිය යුතු ය; හැම දේ නො කන තැනැත්තා, හැම දේ අනුභව කරන තැනැත්තා විනිශ්චය නො කළ යුතු ය. මන්ද දෙවියන්වහන්සේ ඔහු පිළිගෙන ඇති බැවිනි. 4අන් කෙනකුගේ සේවකයා විනිශ්චය කරන්නට ඔබ කවුරු ද? ඔහු කෙළින් සිටියත්, වැටුණත් ඒ ඔහුගේ ස්වාමියා ඉදිරියෙහි ය. ඔහු නැගිටිනු ඇත. මන්ද ඔහු නැගිටුවන්නට ස්වාමින්වහන්සේ සමත් ය.
5කෙනෙක් එක් දවසක්, තව දවසකට වඩා උතුම් කොට සලකයි; තව කෙනෙක් හැම දවසක් ම එක සමාන ව උතුම් යයි සලකයි. හැම කෙනෙක් ම තමාගේ සිතින් නිසැක ව ඒත්තු ගත යුතු ය. 6දවසක් උතුම් යයි සලකන්නා එසේ කරන්නේ, ස්වාමින්වහන්සේගේ ගෞරවය උදෙසා ය. අනුභව කරන තැනැත්තා ඒ ගැන දෙවියන්වහන්සේට ස්තුති දෙන බැවින්, අනුභව කරන්නේ ස්වාමින්වහන්සේගේ ගෞරවය උදෙසා ය. යම් කෑමකින් වැළකී සිටින්නා ද ස්වාමින්වහන්සේගේ ගෞරවය උදෙසා එසේ වැළකී සිටිමින්, දෙවියන්වහන්සේට ස්තුති කරයි. 7මන්ද අප කිසිවකු තමා ම උදෙසා ජීවත් වන්නේ නැත. අප කිසිවකු තමා ම උදෙසා මියෙන්නේ ද නැත. 8ජීවත් වන්නෙමු නම්, අප ජීවත් වන්නේ ස්වාමින්වහන්සේ උදෙසා ය. මියෙනවා නම්, අප මියෙන්නේ ද ස්වාමින්වහන්සේ උදෙසා ය. එබැවින්, ජීවත් වෙතත්, මිය ගියත් අප ස්වාමින්වහන්සේගේ ය. 9ක්‍රිස්තුස්වහන්සේ මිය ගියේත්, ජීවනයට පැමිණියේත් මේ අරමුණ උදෙසා ය; එනම් මළවුන්ගේ ද ජීවතුන්ගේ ද යන දෙගොල්ලගේ ම ස්වාමියාණන් වීමට ය.
10එසේ නම් ඔබ, ඔබගේ සහෝදරයා විනිශ්චය කරන්නේ මන්ද? නැතහොත් ඔබේ සහෝදරයා හෙළා දකින්නේ මන්ද? අප සැවොම දෙවියන්වහන්සේගේ විනිශ්චය ආසනය ඉදිරියේ පෙනී සිටිය යුතු ව ඇත. 11මන්ද,
“ ‘මා ජීවත් වන්නා සේ ම
හැම දණක් ම මට නමන්නේ ය;
හැම දිවක් ම මා දෙවියන්වහන්සේ බව ප්‍රකාශ කරන්නේ යැ’ යි
ස්වාමින්වහන්සේ පවසන සේකැ”#14:11 යෙසා 45;23 යි
ලියා තිබේ.
12එබැවින්, අප හැම කෙනකු ම තමන් ගැන දෙවියන්වහන්සේට ගණන් දිය යුතු ව ඇත.
13එබැවින්, තවදුරටත් එකිනෙකා විනිශ්චය කිරීම නවතමු. ඔබේ සහෝදරයාගේ මාර්ගය පැකිළවීමේ හෝ බාධකයක් වන කිසිවක් නො කිරීමට තීරණ කර ගන්න. 14කිසිවක් අපවිත්‍ර නැති වග යේසුස් ස්වාමින්වහන්සේ තුළ දැන, ඒත්තු ගෙන සිටිමි. එහෙත් යමක් අපවිත්‍රයයි සිතන කෙනකුට ඒවා අපවිත්‍ර ය. 15මන්ද ඔබගේ යම් කෑමක් ඔබගේ සහෝදරයාගේ ශෝකයට හේතු වේ නම්, තවත් ඔබ ප්‍රේමයේ හැසිරෙනවා නො වේ. ක්‍රිස්තුස්වහන්සේ යමකු උදෙසා මැරුණා ද, ඔබගේ කෑමකින් ඔහු විනාශ නො කරන්න. 16හොඳයයි ඔබ පිළිගත් දේ නපුරකැයි කියනු ලබන්නට ඉඩ නො තබන්න. 17මන්ද දෙවියන්වහන්සේගේ රාජ්‍යය කෑමත්, බීමත් පිළිබඳ වූවක් නො ව ධර්මිෂ්ඨත්වයත්, සාමයත්, ශුද්ධාත්මයාණන් තුළ ප්‍රීතියත් ය. 18මෙසේ ක්‍රිස්තුස්වහන්සේට සේවය කරන්නාට දෙවියන්වහන්සේගේ ප්‍රසාදයත්, මිනිසුන්ගේ අනුමැතියත් ලැබේ.
19එබැවින් සාමයටත්, අන්‍යෝන්‍ය වර්ධනයටත් තුඩු දෙන ප්‍රයත්න දරමු. 20දෙවියන්වහන්සේගේ කාර්යය ඔබගේ කෑමක් උදෙසා විනාශ නො කරන්න. හැම දේ ම ඇත්තෙන් ම පවිත්‍ර ය. එහෙත් තමාගේ කෑමකින් අනෙකකු පැකිළවීම වරදකි. 21මස් කෑමෙන්, මිදි යුෂ බීමෙන් හෝ අන් යමක් කිරීමෙන් හෝ ඔබගේ සහෝදරයා පැකිළවීමට හේතු වේ නම්, ඉන් වැළකී සිටීම හොඳ ය.
22ඔබට ඇති ඇදහිල්ල දෙවියන්වහන්සේත්, ඔබත් අතර තබා ගන්න. තමන් අනුමත කරන දෑ ගැන තමාට ම දොස් පවරා ගැනීමක් නැති පුද්ගලයා භාග්‍යවත් ය. 23එහෙත් සැක සිතින් කෑමක් ගන්නා වරදට පත් කෙරෙන්නේ ඇදහිල්ලෙන් එය නො කරන නිසා ය. ඇදහිල්ලෙන් නො පැමිණෙන හැම දෙයක් ම පාපයකි.

Pilihan Saat Ini:

රෝම 14: SCV

Sorotan

Salin

Bandingkan

Bagikan

None

Ingin menyimpan sorotan di semua perangkat Anda? Daftar atau masuk