Logo dell'App Bibbia
Icona Cerca

ක්‍රියා 18

18
කොරින්තියේ ධර්මදූත සේවය
1මින්පසු පාවුලු ඇතන්ස් නුවරින් පිටත්ව, කොරින්තියට පැමිණියේ ය. 2එහි දී ඔහුට මෑතක දී ඉතාලියට පැමිණි, පන්තස්හි උපන් අකිලා නම් එක්තරා ජුදෙව්වරයෙක් මුණගැසුණේ ය. ක්ලෞදියස් සියලු ජුදෙව්වරුන්ට රෝමයෙන් අහක් ව යන්නට අණ කර තිබුණු බැවින්, ඔහු ප්‍රිස්කිලා නම් සිය බිරිඳ සමඟ කොරින්තියට පැමිණ සිටියේ ය. පාවුලු ඔහු හමු වීමට ගියේ ය. 3දෙගොල්ල ම එක ම කර්මාන්තය කරන්නන් වූ බැවින්, පාවුලු ඔවුන් සමඟ නැවතී වැඩ කෙළේ ය. ඔවුන්ගේ කර්මාන්තය කූඩාරම් සෑදීම ය. 4පාවුලු සියලු සබත් දවස්වල ධර්මශාලාවෙහි දී වාද කර, ජුදෙව්වරුන් ද ග්‍රීක්වරුන් ද ඇදහිල්ලට පමුණුවාගන්නට උත්සාහ කෙළේ ය.
5සීලස් ද තිමෝතියස් ද මසිදෝනියෙන් ආ කල ජේසුස් වහන්සේ ක්‍රිස්තුන් වහන්සේ ම යයි පාවුලු ජුදෙව්වරුන්ට සාක්ෂි දෙමින්, ධර්මය දේශනා කිරීමේ කාර්යයෙහි ම නිරත විය. 6එහෙත් ඔවුන් විරුද්ධ ව සිට, අපහාස කළ කල්හි, පාවුලු තමාගේ වස්ත්‍රවල ධූලි ගසාදමා, ඔවුන්ට කතා කොට, “ඔබගේ ලේ ඔබගේ ම හිස් පිට වැගිරේ වා; මම නිදොස් වෙමි. මෙතැන් පටන් විජාතීන් වෙතට යමි”යි කී ය. 7ඔහු එතැනින් නික්ම ගොස් දෙවියන් වහන්සේට නමස්කාර කළ තීතස් ජුස්තස් නම් මිනිසෙකුගේ ගෙදරට ගියේ ය. ඔහුගේ නිවස ධර්මශාලාවලට යාව තිබිණි. 8ධර්මශාලා මුළාදෑනියා වූ ක්‍රිස්පස් තමාගේ ගෙයි වැසි සියල්ලන් සමඟ සමිඳාණන් වහන්සේ අදහා ගත්තේ ය. කොරින්තිවරුන්ගෙන් බොහෝ දෙනෙක් ද පාවුලුගේ බස් අසා අදහා ගෙන බව්තීස්ම-ස්නාපනය ලැබූ හ.
9සමිඳාණන් වහන්සේ රාත්‍රියේ දී දර්ශනයකින් පාවුලුට කතා කොට, “ඔබ බිය නොවී, නිශ්ශබ්ද ව නොසිට කතා කරන්න. 10මන්ද, මම ඔබ සමඟ සිටිමි; ඔබට අනතුරු කරන ලෙස කිසිවෙක් ඔබට විරුද්ධ ව නො එන්නේ ය. මට මේ නුවර බොහෝ සෙනඟ සිටිති”යි වදාළ සේක. 11ඔහු දෙවියන් වහන්සේගේ වචනය ඔවුන් අතර උගන්වමින් එක් අවුරුදු සමසක් එහි වාසය කෙළේ ය.
12එහෙත් ගලියෝ අකයියාවේ අධිපතියා ව සිටිය දී ජුදෙව්වරු එක්සිත් ව පාවුලුට විරුද්ධ ව නැඟී සිට, ඔහු විනිශ්චයාසනය ඉදිරියට ගෙනැවිත්, 13“මොහු ව්‍යවස්ථාවලියට විරුද්ධ ව දෙවියන් වහන්සේට නමස්කාර කරන්නට මිනිසුන් පොළඹවන්නේ ය”යි පැමිණිලි කළහ. 14පාවුලු කතා කරන්නට සැරසෙන විට ගලියෝ ජුදෙව්වරුන් අමතමින්, “ජුදෙව්වරුනි, මේ කාරණය අපරාධයක් වත් නපුරු දුෂ්ට කමක් වත් වී නම්, මා ඔබේ පැමිණිල්ලට සවන් දීම යුතු ය. 15එහෙත් මේ වනාහි ඇතැම් වචන ගැන ද ඇතැම් නාම ගැන ද ඔබගේ ම ව්‍යවස්ථාවලිය ගැන ද වූ ප්‍රශ්න වන බැවින් ඒ ගැන ඔබ ම වගබලාගන්න; මේ දේවල් ගැන මම විනිශ්චයකාරයෙක් නොවන්නෙමි”යි කියා, 16ඔවුන් නඩු ආසනය වෙතින් එලවාදැමුවේ ය. 17එවිට ඒ සියල්ලෝ ධර්මශාලාවේ මුලාදෑනියා වූ සොස්තෙනේස් අල්ලා නඩු ආසනය ඉදිරියේ ඔහුට තැළූහ. එහෙත් ගලියෝ මේ ගැන සැලකුවේ නැත.
අන්තියෝකියට හැරී ඒම
18 # ගණන් 6:18 පාවුලු එහි තවත් කලක් නැවතී සිටි පසු, සහෝදරයන්ගෙන් සමුගෙන, සිරියාවට යන්නට නැව් නැංගේ ය. ප්‍රිස්කිලා ද අකිලා ද ඔහු සමඟ ගියහ. පාවුලු බාරයක් වී සිටි බැවින් කෙන්ක්‍රෙයායේ දී හිස මුඩු කරගත්තේ ය. 19ඔවුන් එපීසයට පැමිණි විට, පාවුලු ඔවුන් එහි නැවැත් වී ය. එහෙත් ඔහු ධර්මශාලාවට ගොස් ජුදෙව්වරුන් සමඟ තර්ක කෙළේ ය. 20තවත් කාලයක් එහි නැවතී සිටින ලෙස ඔවුන් ඉල්ලූ නමුත්, ඔහු ඊට එකඟ නොවී, 21ඔවුන්ගෙන් සමුගනිමින්, “දෙවියන් වහන්සේ කැමැති සේක් නම් ඔබ වෙතට නැවත එන්නෙමි” කියා එපීසයෙන් නැව් නැංගේ ය. 22ඔහු කායිසාරියට ගොඩ බැස, ජෙරුසලමට ගොස්, සභාවට ආචාර කොට, අන්තියෝකියට ගියේ ය. 23ඔහු එහි කලක් ගත කළ පසු පිටත් ව ගලාතිය සහ පිරිගිය යන පළාත් මැදින් යමින් සියලු ශ්‍රාවකයන් ධෛර්යවත් කෙළේ ය.
අපොල්ලොස් එපීසයේ සිටීම
24අලෙක්සන්ද්‍රියාවෙහි උපන් අපොල්ලොස් නම් එක්තරා ජුදෙව්වරයෙක් එපීසයට ආවේ ය; ඔහු ව්‍යක්ත කථිකයෙකි; බහුශ්‍රැත ධර්ම දේශකයෙකි. 25මේ මිනිසා සමිඳාණන් වහන්සේගේ මාර්ගය ගැන ඉගෙනීම ලැබූවෙකි. ඔහු ජ්වලිත සිතින්, දෙවියන් වහන්සේ පිළිබඳ කරුණු හරි ලෙස උගන්වමින් දේශනා කෙළේ ය. එහෙත් ඔහු දැන ගෙන සිටියේ ජොහන්ගේ බව්තීස්ම-ස්නාපනය පමණකි. 26ඔහු ධර්මශාලාවෙහි දී නිර්භීත ව කතා කරන්නට පටන් ගත්තේ ය. ප්‍රිස්කිලා ද අකිලා ද ඔහුගේ බස් අසා, ඔහු තමන් ළඟට කැඳවාගෙන, දෙවියන් වහන්සේගේ මාර්ගය වඩා හරි ලෙස ඔහුට පහදා දුන්හ. 27තවද ඔහු ග්‍රීසියට යන්නට අදහස් කළ කල්හි, සහෝදරයෝ ඔහු ධෛර්යවත් කොට, ඔහු පිළිගන්නා ලෙස ශ්‍රාවකයනට ලියා යැව්වෝ ය. ඔහු එහි පැමිණි කල, දේව වරප්‍රසාදය කරණකොටගෙන අදහාගෙන සිටි අයට බොහෝ උපකාර කෙළේ ය. 28මන්ද, ඔහු ජේසුස් වහන්සේ ක්‍රිස්තුස් බව ශුද්ධ ලියවිල්ලෙන් පෙන්වා දෙමින්, ජුදෙව්වරුන්ගේ තර්ක ප්‍රසිද්ධියේ ම එඩිතර ලෙස බිඳහරිමින් පරාජය කෙළේ ය.

Attualmente Selezionati:

ක්‍රියා 18: NRSV

Evidenzia

Copia

Confronta

Condividi

None

Vuoi avere le tue evidenziazioni salvate su tutti i tuoi dispositivi?Iscriviti o accedi