Biblijos programėlės logotipas
Paieškos piktograma

ක්‍රියා 12

12
පේතෘස්ගේ ප්‍රාතිහාර්යමය නිදහස් වීම
1හෙරෝද් රජ එදවස්හි සභාවට අයත් ඇතැම් දෙනකුට පීඩා කරන්නට වන්නේ ය. 2ඔහු යොහන්ගේ සහෝදර යාකොබ් කඩුවෙන් මැරවී ය. 3එය යුදෙව්වරුන්ගේ සතුටට හේතු වූ බව දුටු ඔහු, ඉන් නො නැවතී පේතෘස් ද අත්අඩංගුවට ගත්තේ ය. එය සිදු වූයේ නුමුහුන් රොටි මංගල්‍යය අතර තුර ය. 4පේතෘස් අත්අඩංගුවට ගත් හෙරෝද්, ඔහු සිර ගෙයි දමා, ඔහු මුර කිරීමේ කාරිය, මුර භටයින් සිව් දෙනකු බැගින් යුතු මුර කණ්ඩායම් හතරකට පැවරී ය. පාස්කුවෙන් පසු ප්‍රසිද්ධියේ ඔහු විභාග කිරීම හෙරෝද්ගේ අදහස විය.
5පේතෘස් මෙසේ සිර අඩස්සියේ පසු විය; එහෙත් සභාව ඔහු උදෙසා දෙවියන්වහන්සේට උදක් ම යාච්ඤා කළහ.
6හෙරෝද් නඩු විභාගයට ඔහු ගෙන ඒමට කලින් දින රැයේ පේතෘස් දම්වැල් දෙකකින් බඳිනු ලැබ, හේවායින් දෙදෙනකුට මැදි ව නිදා සිටියේ ය; සෙසු මුර භටයෝ සිර ගෙයි දොරටු මුර කළහ. 7ස්වාමින්වහන්සේගේ දූතයකු හදිසියේ එහි පෙනුණි; මැදිරිය තුළ එළියක් බැබළිණි. ඔහු පේතෘස්ගේ ඇලයට තට්ටු කර ඔහු පුබුදුවා, “හනික නැගිටින්නැ” යි කීවේ ය. එවිට පේතෘස්ගේ දෑත බැඳුණු යදම්, ලිහී වැටිණි.
8“ඔබේ ඇඳුම් හැඳ, පාවහන් ලා ගන්නැ” යි දේව දූතයා පේතෘස්ට කී ය. පේතෘස් ඔහු කී ලෙස කළේ ය. “දැන්, ඔබේ කබාය පොරවාගෙන මා පසු පස එන්නැ” යි දේව දූතයා ඔහුට කීවේ ය. 9පේතෘස් ඔහු පසුපසින් පිටතට ආවේ ය. එහෙත් දේව දූතයා අතින් මේ සිදු වන්නේ සැබෑ සිදුවීම් බැව් ඔහු නො දත්තේ ය. ඔහු සිතුවේ තමා දර්ශනයක් දකිනවා කියා ය. 10ඔවුහු පළමු හා දෙවන මුරපොළවල් පසු කොට, නගරයට පිවිසෙන යකඩ දොරටුව වෙත ළඟා වූහ. ඉබේ ම දොරටුව ඔවුන්ට විවර විණි; ඉන් පිටතට වන් ඔවුන් ගමන් කරමින් එක් වීදියක් පසු කරද්දී, සැණෙක දේව දූතයා ඔහු හැර ගියේ ය.
11එවිට පේතෘස් පියවි සිහි ලැබ, “ස්වාමින්වහන්සේ තම දූතයා එවා, හෙරෝද්ගේ ග්‍රහණයෙන් හා යුදෙව් ජනයාගේ මුළු අභිලාෂයෙන් මා මුදා ගත් වග නිසැක ව ම මා දැන් දන්නවා” යි කීවේ ය.
12එය වටහා ගත් පේතෘස්, මාර්ක් නම් ලත් යොහන්ගේ මව වූ මරියාගේ නිවසට ගියේ ය. එහි බොහෝ දෙනෙක් රැස් ව, යාච්ඤා කරමින් සිටියහ. 13පේතෘස් පිටත සිට දොරට තට්ටු කළේ ය. රොදා නම් වූ සේවක තරුණිය ඒ කවුරුන්දැයි බලන්නට ආවා ය. 14පේතෘස්ගේ කටහඬ හැඳින, ප්‍රීතියෙන් ප්‍රමෝද වූ ඈ, දොර නෑර ම, ආපසු ගෙතුළට දිව ගොස්, “අන්න! පේතෘස් දොරකඩ” යි හඬ ගෑවා ය.
15එහෙත් ඔවුහු, “ඔබට ඔල්මාද යැ” යි පැවසූහ. එහෙත් ඒ වග ඇය තරයේ ම අවධාරණ කරන්නට වූ කල ඔවුහු, “එසේ නම් ඒ ඔහුගේ දූතයා වෙන්ට ඇතැ” යි කීහ.
16පේතෘස් සිටියේ දොරට තට්ටු කරමිනි. එබැවින් දොර විවර කළ ඔවුහු ඒ පේතෘස් බව දැක විස්මිත වූහ. 17නිහඬ වන ලෙස ඔවුනට අතින් සන් කළ පේතෘස්, ස්වාමින්වහන්සේ සිර ගෙයින් පිටතට තමා ගෙනා ආ හැටි විස්තර කළේ ය. “යාකොබ්ටත්, අනෙක් සහෝදරයින්ටත් මේ ගැන දන්වන්නැ” යි ඔවුන්ට පැවසූ ඔහු එතැනින් නික්ම, අන් තැනක් බලා ගියේ ය.
18පහන් වූ කල, මුර භටයින් අතර සුළු පටු නො වූ කැලඹීමක් හට ගත්තේ, පේතෘස්ට කුමක් වී දැයි යන්න ගැන ය. 19පේතෘස් සොයන්නට හෙරෝද් දැඩි සෝදිසි මෙහෙයුමක් යෙදවී ය. එහෙත් ඔහු සොයාගත හැකි නො වී ය. මුර භටයින් ගෙන්වා ප්‍රශ්න කළ හෙරෝද්, ඔවුන් මරා දමන්නට නියෝග කළේ ය.
හෙරෝද්ගේ මරණය
හෙරෝද් ඉන් අනතුරුව යුදයේ සිට කායිසාරිය වෙත අවුත්, මද කලක් එහි ගත කළේ ය. 20ඔහු තීර් හා සීදොන් වාසීන් සමඟ එදිරිවාදිකමක් ඇතිකර ගෙන තිබිණි. මෙකල ඔවුහු එකමුතු වී හෙරෝද් බැහැදැක්මට ගියහ. වාසල භාර නිලධාරී බ්ලාස්තුස්ගේ සහාය ඇති ව ඔවුහු රජු හා සාමය ඉල්ලූහ. මන්ද ඔවුන්ට ආහාර සැපයුණේ රජුගේ රටින් බැවිනි.
21නියම කර ගත් දින හෙරෝද් රාජාභරණයෙන් සැරසී සිහසුන අරා හිඳ ජනයා අමතන්නට වන්නේ ය. 22“මේ නම් දෙවියකුගේ කටහඬකි; මිනිසකුගේ නො වේ” යි ජනයා කෑ මොර දුන්හ. 23හෙරෝද් දෙවියන්වහන්සේට දිය යුතු ගෞරවය නුදුන් බැවින්, ස්වාමින්වහන්සේගේ දූතයෙක් එකෙණෙහි ම ඔහු ගසා හෙළුවේ ය. ඔහු පණුවන් විසින් කා දමන ලදුව මිය ගියේ ය.
24එහෙත් දෙවියන්වහන්සේගේ වචනය වර්ධන වෙමින් පැතිරෙන්නට විය.
බාර්ණබස් සහ සාවුල් පිටත් කර හැරීම
25බාර්ණබස් හා සාවුල් තමන්ගේ මෙහෙය නිමවා, මාර්ක් නම් වූ යොහන් ද කැටිව යෙරුසලමේ සිට ආපසු ගියහ.

Šiuo metu pasirinkta:

ක්‍රියා 12: SCV

Paryškinti

Kopijuoti

Palyginti

Dalintis

None

Norite, kad paryškinimai būtų įrašyti visuose jūsų įrenginiuose? Prisijunkite arba registruokitės