Biblijos programėlės logotipas
Paieškos piktograma

මතෙව් 11

11
යොහන් බව්තීස්තගේ විමසුම
1තම ගෝලයින් දොළොස් දෙනාට උපදෙස් දී නිම වූ පසු, යේසුස්වහන්සේ ඔවුන්ගේ නගරවල ඉගැන්වීමටත්, දේශනා කිරීමටත් නික්ම ගිය සේක.
2මේ අතර, ක්‍රිස්තුස්වහන්සේගේ ක්‍රියා ගැන සිරගෙදරදී ඇසූ යොහන්, තම ගෝලයින් අත අසා යවමින්, 3“එන්නට සිටි තැනැත්තාණන් ඔබ ද? නැතහොත් අප අන් කෙනකු බලා සිටිය යුතු දැ?” යි විමසී ය.
4යේසුස්වහන්සේ පිළිතුරු දෙමින්, “ඔබ අසන, දකින දෑ යොහන්ට ගොසින් කියන්න. 5අන්ධයෝ පෙනීම ලබති; කොරු ඇවිදිති; කුෂ්ඨ රෝගීහු පවිත්‍ර කෙරෙති; බිහිරි අය ඇසීම ලබති. මළාහු නැගිටුවනු ලබති. දිළිඳුනට ශුභාරංචිය ප්‍රකාශ කරනු ලැබේ. 6මා ගැන නො පැකිළෙන තැනැත්තා භාග්‍යවතෙකැ” යි පැවසූ සේක.
7ඔවුන් නික්ම යත් ම, යේසුස්වහන්සේ ජන සමූහයාට යොහන් ගැන කතා කරන්නට වී, “ඔබ පාළුකරයට පිටත් ව ගියේ කුමක් බලන්න ද? සුළඟින් සැලෙන බට ගසක් බලන්න ද? 8එසේ නම්, ඔබ ගියේ කුමක් බලන්න ද? සිනිඳු සේල සළු පිළි හැඳි මිනිසකු බලන්න ද? නැත, සිනිඳු සළු පිළි හැඳි අය සිටින්නේ රජ මාලිගාවලයි. 9එසේ නම් ඔබ ගියේ කුමක් බලන්න ද? දිවැසිවරයකු ද? ඔව්, මා ඔබට කියන්නේ, දිවැසිවරයකුටත් වඩා උතුම් කෙනකු” ය කියායි. 10මන්ද,
“ ‘මෙන්න මගේ දූතයා ඔබට පෙරටුව යවමි.
ඔබට පෙරටුව ඔබගේ මාර්ගය සකසන්නේ ඔහු යැ’ යි#11:10 මලාකී 3;1
ලියා ඇත්තේ ඔහු ගැන ය.
11“සැබවින් ම මා ඔබට කියන්නේ, ස්ත්‍රීන්ගෙන් උපන්නවුන් අතරේ යොහන් බව්තීස්තට වඩා උතුම් කෙනෙක් නො නැගුටුණු බවයි; එහෙත් ස්වර්ග රාජ්‍යයේ ඉතාම සුළු තැනැත්තා පවා ඔහුට වඩා උතුම් ය. 12යොහන් බව්තීස්තගේ දවස්වල පටන් අද දක්වා, ස්වර්ග රාජ්‍යය සැහැසිකමට ලක් වී තිබේ. සැහැසිකම් කරන්නෝ බලහත්කාරයෙන් එය අල්ලා ගනිති. 13මන්ද යොහන් දක්වා සියලු දිවැසිවරු හා ව්‍යවස්ථාව, දිවැසි වැකි පළ කළහ. 14ඔබ පිළිගන්නට කැමති නම්, එන්නට සිටි එලියා මොහුයි. 15අසන්නට කන් ඇත්තා අසත්වා!
16“මම මේ පරම්පරාවේ ජනයා කුමකට සමාන කරම් ද? එය සමාන වන්නේ, කඩ-මණ්ඩියේ හිඳ තම සගයනට මෙසේ හඬ ගසන දරුවනටයි:
17“ ‘අප ඔබට නළා පිම්බා,
කෝ! ඔබ නැටුවේ නෑ;
අප විලාප ගී ගැයුවා;
ඔබ හැඬුවේ නෑ’ යි කියන්නන්ටයි.
18මන්ද යොහන් පැමිණියේ කන්නේවත්, බොන්නේවත් නැතිවයි. එවිට ‘ඔහුට යක්ෂාත්මයක් වැහිලා’ යි කී ඔවුහු, 19මනුෂ්‍ය පුත්‍රයා කමින්, බොමින් ආ කල, ‘මෙන්න බලන්න! කෑදරයෙක්; බේබද්දෙක්; බදු අයකරන්නන්ගේ හා පව්කරුවන්ගේ මිතුරෙකැ’ යි කියති. එහෙත් ප්‍රඥාව නිවැරදි බව එහි ක්‍රියාවලින් ම ඔප්පු වී ඇත.”
පසුතැවිලි නො වූ නගර
20ඉන්පසු උන්වහන්සේ තමන් කළ බලවත් ක්‍රියා වැඩියෙන් ම සිදු කළ නගරවලට තරවටු කරන්නට වූයේ ඒවා පසුතැවිලි නො වූ නිසා ය. 21“අහෝ කොරාසීනය, ඔබට වන විපතක මහත! අහෝ බෙත්සයිදා, ඔබට වන විපතක මහත! මන්ද නුඹ දෙපොලේ කරන ලද බලවත් ක්‍රියා තීර් හා සීදොන්හි දී කරන ලද නම්, මීට බොහෝ කලින් ඔවුන් ගෝණි රෙදි හැඳ, අළු මත හිඳ පසුතැවිලි වන්නට තිබිණි. 22එහෙත් මා ඔබට කියන්නේ විනිශ්චය දවසේදී තීර්ට හා සීදොන්ට ඔබට වඩා දැරිය හැකි වන බවයි. 23එම්බා කපර්ණවුම, නුඹ ස්වර්ගය දක්වා උසස් කරනු ලැබේ ද? නැත! නුඹ පාතාලය දක්වා පහත් කරනු ලබනු ඇත. නුඹ තුළ සිදු කළ බලවත් ක්‍රියා සොදොම් තුළ කරන ලද්දේ වී නම්, එය අද දක්වාමත් පවතින්ට තිබිණි. 24මා ඔබට කියන්නේ, විනිශ්චය දවසේ ඔබට වඩා සොදොමට දැරිය හැකි වන බවයි.”
පුත්‍රයා තුළ එළිදරවු වන පියාණන්
25ඒ අවස්ථාවේදී යේසුස්වහන්සේ මෙසේ ප්‍රකාශ කළ සේක, “ස්වර්ගයට හා පොළොවට ස්වාමියාණන් වූ පියාණන්වහන්ස, ඔබවහන්සේ ප්‍රඥාවතුන්ගෙන් හා උගතුන්ගෙන් මේ දෑ සඟවා, ළා-බාලයින්හට එළිදරවු කළ බැවින් මම ඔබට ස්තුති කරමි. 26එසේය පියාණෙනි, ඔබගේ ප්‍රිය මනාපය වූයේ එයයි.
27“මගේ පියාණන්වහන්සේ සියලු දේ මට බාර දී ඇත. පියාණන්වහන්සේ හැර, අන් කිසිවෙක් පුත්‍රයාණන් කවුදැයි හඳුනන්නේ නැත. එසේ ම පුත්‍රයාණන් හා පුත්‍රයාණන් විසින් යමකුට පියාණන්වහන්සේ එළිදරවු කිරීමට තෝරාගත් අය ද හැර, අන් කිසිවෙක් පියාණන්වහන්සේ හඳුනන්නේ නැත.
28“වෙහෙස වෙන, බර උසුලන සියල්ලෙනි, මා වෙත එන්න. මම ඔබට සහනය දෙමි. 29මා හදවතින් මෘදු ව, යටහත් ව සිටින බැවින් මගේ වියගහ කරට ගෙන, මගෙන් ඉගෙන ගන්න; එවිට ඔබගේ ජීවාත්මයට සහනය ලැබේ. 30මන්ද මගේ වියගහ පහසු ය; මගේ බර ද සැහැල්ලු ය.”

Šiuo metu pasirinkta:

මතෙව් 11: SCV

Paryškinti

Kopijuoti

Palyginti

Dalintis

None

Norite, kad paryškinimai būtų įrašyti visuose jūsų įrenginiuose? Prisijunkite arba registruokitės