ක්‍රියා 14
14
පාවුල් සහ බාර්ණබස් ඉකෝනියෙහි සහ ලුස්ත්‍රාවෙහි දේශනාකිරීම සහ පීඩා ලැබීම
1තවද ඉකෝනියේදී ඔව්හු එක්ව යුදෙව්වරුන්ගේ සිනගෝගයට ඇතුල්වී, යුදෙව්වරුන්ගෙන්ද ග්‍රීක්වරුන්ගෙන්ද මහත් සමූහයක් අදහාගන්නා පරිද්දෙන් කථාකළෝය. 2නුමුත් අකීකරුවූ යුදෙව්වරු අන්‍ය ජාතීන්ගේ සිත් කලඹා, ඔවුන් සහෝදරයන්ට විරුද්ධව එදිරිකෙරෙවුවෝය. 3එහෙයින් ඔව්හු ස්වාමීන්වහන්සේ තුළ නිර්භීතලෙස කථාකරමින් බොහෝ කලක් නැවතී සිටියෝය. උන්වහන්සේ ඔවුන්ගේ අත්වලින් හාස්කම්ද පුදුමද කරවමින්, ස්වකීය අනුග්‍රහයේ වචනයට සාක්ෂි දැරුසේක. 4නුමුත් නුවර සමූහයෝ භේදව, සමහරෙක් යුදෙව්වරුන්ගේ පක්ෂයටද අන් සමහරෙක් ප්‍රේරිතයන්ගේ පක්ෂයටද සිටියෝය. 5අන්‍යජාතීන්ද යුදෙව්වරුන්ද තමුන්ගේ ප්‍රධානීන් සමඟ ඔවුන්ට නිග්‍රහකරන්ටත් ගල්ගසන්ටත් යෝජනාවක් කළ කල්හි, 6ඔව්හු ඒ දැන, ලුකෝනියේ නුවරවල්වූ ලුස්ත්‍රාවටද දර්බයටද අවට පළාතටද පලාගොස්, 7එහිදී ශුභාරංචිය දේශනාකළෝය.
8මවුකුස පටන් කොරවූ, පාද දුර්වලවූ කිසිකලකත් නෑවිද්දාවූ එක්තරා මනුෂ්‍යයෙක් ලුස්ත්‍රාවෙහි ඉඳගන උන්නේය. 9ඔහු පාවුල් කථාකරනවා ඇසුවේය. පාවුල් ඔහු දෙස ඇස් යොමා, සුවය ලබන්ට ඇදහිල්ල ඔහුට තිබෙන බව දැක: 10නැගිට නුඹේ පාදවලින් කෙලින් සිටින්නැයි මහත් හඬින් කීවේය. එවිට ඔහු පැන නැගී ඇවිද්දේය. 11එකල සමූහයෝ පාවුල් කළ දේ දැක ශබ්දනගා: දෙවිවරු මනුෂ්‍ය වේශයෙන් අප ළඟට බැස සිටිතියි ලුකෝනියේ භාෂාවෙන් කීවෝය. 12ඔව්හු බාර්ණබස්ට සියුස්ය කියාද පාවුල් ප්‍රධාන කථාකාරයා බැවින් ඔහුට හෙර්මීස්ය කියාද නම් තැබූහ. 13නුවර ඉදිරියෙහි පිහිටියාවූ සියුස්ගේ දේවාලයේ පූජක තෙමේ ගොන්ද මල්මාලාද දොරටුව ළඟට ගෙනැවිත්, සමූහයන් සමඟ යාගකරන්ට හැදුවේය. 14එහෙත් ප්‍රේරිතවූ බාර්ණබස් ද පාවුල්ද ඒ ගැන අසා, තමුන්ගේ වස්ත්‍ර ඉරාගෙන, සමූහයා අතරට දුව ගොස්, මොරගසා: 15මනුෂ්‍යයෙනි, නුඹලා මේ දේවල් කරන්නේ මක්නිසාද? අපිත් නුඹලා සමාන ගති ගුණ ඇති මනුෂ්‍යයෝය, නුඹලා මේ නිෂ්ඵල දේවලින් දුරුව, අහසත් පොළොවත් මුහුදත් එහි ඇති සියල්ලත් මැවූ ජීවමාන වූ දෙවියන්වහන්සේ වෙතට හැරෙන පිණිස ශුභාරංචිය නුඹලාට ගෙනෙමුව. 16උන්වහන්සේ පසුගිය පරම්පරාවලදී සියලු ජාතීන්ට තම තමුන්ගේ මාර්ගවල හැසිරෙන්ට ඉඩ හැරියසේක. 17එහෙත් උන්වහන්සේ අහසෙන් වර්ෂාව සහ සාරවත් කාලවල් නුඹලාට දී, කෑමෙන්ද සන්තෝෂයෙන්ද නුඹලාගේ සිත් පුරවමින්, යහපත්කම් කළ බැවින්, තමන්වහන්සේ ගැන සාක්ෂි නොදී නොසිටියසේකැයි කීවෝය. 18ඔව්හු මෙසේ කීමෙන්, තමුන්ට පූජා ඔප්පු නොකරන ලෙස සමූහයන් අමාරුවෙන් වැලැක්වූවෝය.
19නුමුත් අන්තියෝකියෙන්ද ඉකෝනියෙන්ද යුදෙව්වරු ඇවිත් සමූහයන් පොළඹවාගන, පාවුල්ට ගල්ගසා, ඔහු නැසුණේයයි සිතා නුවරින් පිටතට ඇද්දෝය. 20නුමුත් ගෝලයන් ඔහු අවට රැස්ව සිටි කල, ඔහු නැගිට නුවරට ඇතුල්වී, පසුවදා බාර්ණබස් සමඟ දර්බයට ගියේය.
ඔවුන් අන්තියෝකියට හැරී ඒම
21ඔව්හු ඒ නුවර ශුභාරංචිය දේශනාකොට, බොහෝ දෙනෙක් ගෝලයන් කර, ලුස්ත්‍රාවටද, ඉකෝනියටද අන්තියෝකියටද හැරී ඇවිත්: 22අප විසින් දෙවියන්වහන්සේගේ රාජ්‍යයට බොහෝ දුක් විඳිමින් ඇතුල්වෙන්ට ඕනෑයයි කියා ගෝලයන්ගේ සිත් සවිකොට, ඇදහිල්ලේ පවතින්ට ඔවුන්ට අවවාදකළෝය. 23ඔව්හු සභාවක් සභාවක් පාසා ඔවුන්ට වැඩිමහල්ලන් පත්කොට, නිරාහාරයෙන් ඉඳ යාච්ඤා කොට, තමුන් අදහාගත් ස්වාමීන්වහන්සේට ඔවුන් භාරදී, 24පිසිදිය මැදින් ගමන්කොට, පම්පිලියට ආවෝය. 25ඔව්හු පර්ගායේදී වචනය කියාදී, අත්තාලියට බැස, 26එයින් නැව් නැගී, යම් වැඩක් කරන පිණිස දෙවියන්වහන්සේගේ අනුග්‍රහයට අන්තියෝකියේදී ඔවුන් භාරදෙනලදද, ඒ වැඩ සම්පූර්ණකොට, එම අන්තියෝකියට ආවෝය. 27ඔව්හු ආ කල, සභාව රැස්කරවා, දෙවියන්වහන්සේ තමුන් ලවා කෙරෙවු සියල්ලද අන්‍යජාතීන්ට උන්වහන්සේ ඇදහිල්ලේ දොරක් ඇරදුන් බවද දැන්වුවෝය. 28තවද ඔව්හු ගෝලයන් සමඟ එහි බොහෝ කලක් සිටියෝය.
Селектирано:
ක්‍රියා 14: SROV
Нагласи
Копирај
Спореди
Сподели
Дали сакаш да ги зачуваш Нагласувањата на сите твои уреди? Пријави се или најави се
Ceylon Bible Society