Лого на апликацијата „Библија“
Икона за пребарување

ක්‍රියා 20

20
මසිදෝනියට හා ග්‍රීසියට යාම
1කෝලාහලය සංසිඳුන පසු පාවුලු ශ්‍රාවකයන් කැඳවා ඔවුන් ධෛර්යවත් කොට, ඔවුන්ගෙන් සමුගෙන මසිදෝනිය බලා නික්ම ගියේ ය. 2ඔහු ඒ පළාත් මැදින් ගොස්, ඔවුන් බොහෝ සේ ධෛර්යවත් කොට, ග්‍රීසියට පැමිණියේ ය. 3ඔහු එහි තුන් මසක් ගත කොට, නැවෙන් සිරියාවට යන්නට සූදානම් ව සිටිය දී, ඔහුට විරුද්ධ ව ජුදෙව්වරුන් විසින් කූට උපායයක් යොදන ලදී. එහෙයින් මසිදෝනිය ඔස්සේ හැරී යන්නට ඔහු නියම කරගත්තේ ය. 4පුරස්ගේ පුත්‍ර වූ බෙරියාවේ සෝපතර් ද තෙසලෝනිකවරුන්ගෙන් අරිස්තාර්කස් සහ සෙකුන්දස් ද දර්බයේ ගායස් ද තිමෝතියස් ද ආසියාවේ තුකිකස් සහ ත්‍රොපිමස් ද ඔහු සමඟ ආසියාව දක්වා ගියහ. 5මොවුහු පෙරටුව ගොස්, අප එන තෙක් ත්‍රෝවසයේ බලා සිටියහ. 6නුමුහුන් රොටි මංගල්‍ය දවස්වලට පසු අපි පිලිප්පියෙන් නැව් නැඟී, පස් දවසකින් ත්‍රෝවසයෙහි සිටි ඔවුන් වෙතට ගොස්, එහි සත් දවසක් නැවතී සිටියෙමු.
යුතිකස්ට පණ දීම
7සතියේ#20:7 ජුදෙව්වගේ ගණන්ගැනීමේ හැටියට අලුත් සතිය පටන්ගන්නේ සෙනසුරාදා ඉර බැස්සාම ය. එබැවින් එයට ‘සතියේ පළමු වැනි දා’ යන නාමය ව්‍යවහාර වේ. පළමු වැනි දා අප රොටි කඩන්නට රැස් වූ කල, පාවුලු පසුවදා යන්නට අදහස් කළ බැවින්, මැදියම් රැය දක්වා, ඔහු ඔවුන්ට අනුශාසනා කෙළේ ය; 8අප රැස් ව සිටි උඩු මහලේ බොහෝ පහන් දල්වා තිබිණි. 9යුතිකස් නම් එක් තරුණයෙක් නිදි කිරා වැටෙමින් කවුළුව උඩ උන්නේ ය; පාවුලු දිගින් දිගට අනුශාසනා කරද්දී යුතිකස් බර නින්ද නිසා තුන්වැනි මහලින් පහළට වැටිණි. ඔහු ඔසවා ගත් කල මැරී සිටියේ ය. 10එවිට පාවුලු බැස, ඔහු පිට වැටී, ඔහු වැළඳ ගෙන: “කරදර නොවන්න, මොහුට තව ම පණ තිබේ ය”යි කී ය. 11ඔහු නැවත උඩුමහලට ගොස්, රොටි කඩා වළඳා, ඔවුන් සමඟ පහන් වන තුරු බොහෝ වේලාවක් කතා කර, පසුව පිටත් ව ගියේ ය. 12ඔව්හු ඒ තරුණයා පණපිටින් කැඳවා ගෙන ගොස්, බොහෝ සේ සැනසුණාහ.
මිලේතසට ගමන
13අපි අසොස්හි දී පාවුලු නැවට කැඳවාගන්නට අදහස් කර, පෙරටුව ගොස්, නැව් නැඟී, එහි ගියෙමු. මන්ද, පාවුලු ගොඩින් යන්නට අදහස් කළෙන් එසේ යාමට අපට නියම කර තිබුණි. 14අසොස්හි දී අපට ඔහු හමු වූයෙන්, අපි ඔහු නැවට නංවා ගෙන මිතුලේනට පැමිණියෙමු. 15අපි එතැනින් යාත්‍රා කොට, පසුවදා කියොසය ඉදිරියට පැමිණ, ඊට පසුවදා සාමොසයට ළඟා වී, ඊළඟ දවසේ මිලේතසට පැමිණියෙමු. 16ආසියාවෙහි කල් ගත කරන්නට සිදු නොවන පිණිස, එපීසය පසු කර යන්නට ඔහු තීරණය කරගෙන සිටියේ ය. එසේ කෙළේ, හැකි නම් පෙන්තකොස්ත දවසේ ජෙරුසලමේ සිටින්නට පාවුලු ඉක්මන් කළ බැවිනි.
එපීසයේ දී සභා මූලිකයන්ගෙන් සමුගැනීම
17ඔහු මිලේතසෙන් එපීසයට පණිවුඩ යවා, සභාවේ මූලිකයන් කැඳෙව්වේ ය. 18ඔවුන් තමා වෙතට ආ කල ඔහු මෙසේ පැවසී ය, “මා ආසියාවට පැමිණි පළමු වැනි දා පටන් මුළු කාලය ඔබ සමඟ ගත කළ සැටි ඔබ දන්නහු ය. 19මම සියලු ආකාර යටහත්පහත්කමින් ද ශෝකයෙන් ද ජුදෙව්වරුන්ගේ උපායයන් නිසා පැමිණි දුෂ්කරතාවලින් ද යුක්ත ව සමිඳාණන් වහන්සේට සේවය කෙළෙමි. 20ඔබට වැඩදායක වූ කිසිවක් කීමෙන් නොවැළකී, ප්‍රසිද්ධියේ ද ගෙයින් ගෙට යමින් ද ඔබට උගන්වමින්, 21පසුතැවී සිත් හරවා ගැනීමෙන් දෙවියන් වහන්සේ වෙත හැරෙන ලෙසත්, අපගේ ස්වාමීන් වන ජේසුස් ක්‍රිස්තුන් වහන්සේ කෙරෙහි විශ්වාස කරන ලෙසත් ජුදෙව්වරුන්ට හා අන්‍ය ජාතිකයන්ට ද තදින් අනුශාසනා කෙළෙමි. 22දැන් ඉතින් ආත්මයාණන් විසින් බලපානා ලදුව, මම ජෙරුසලමට යමි; එහි දී මට කුමකින් කුමක් වේ දැ යි නොදනිමි. 23එහෙත් සිරගත වීම් හා පීඩා ද මට පැමිණේ යයි, ශුද්ධාත්මයාණන් වහන්සේ සියලු නගරවල දී දැනුම් දුන් බව හැර අන් කිසිවක් නොදනිමි. 24#2 තිමෝ 4:7 එහෙත් මාගේ ජීවිතය වැදගත් ය, නොහොත් මට ම අගේ ය කියා මම කිසිසේත් නොසලකමි. එහෙත් මාගේ පරමාර්ථය වූකලී දෙවියන් වහන්සේගේ කරුණාවේ සුබ අස්නට සාක්ෂි දීමෙන් ස්වාමීන් වන ජේසුස් වහන්සේගෙන් මට පැවරුණ දූත මෙහෙය සපුරා ලීම ය.
25“මේ වන තෙක් මම දෙවියන් වහන්සේගේ රාජ්‍යය ගැන දේශනා කරමින් ඔබ අතර ගැවසුණෙමි. දැන් ඉතින් මින්පසු ඔබගෙන් කිසිවෙකු මගේ මුහුණ තවත් නොදකින බව දනිමි. 26එහෙයින් ඔබ අතරෙන් කිසිවෙකු විනාශයට පත් වුවහොත්, ඒ ගැන මා වගකිවයුත්තකු නොවන බව තරයේ ප්‍රකාශ කරමි. 27මන්ද, දෙවියන් වහන්සේගේ මුළු අභිප්‍රාය නොවළහා ඔබට ප්‍රකාශ කෙළෙමි. 28ඔබ තමන් ම ද, ශුද්ධාත්මයාණන් වහන්සේ විසින් ගබඩාකාරයෙක් ලෙස පත් කරනු ලැබ ඔබට භාර දී ඇති රැළ ද රැකබලාගන්න. දෙවියන් වහන්සේ සිය පුත්‍රයාණන්ගේ යාගික රුධිරය හේතුවෙන් දිනා ගත් උන් වහන්සේගේ සභාවේ නායකයන් වන්න. 29මා ගියායින් පසු, රැළට අනුකම්පා නොකරන, රෞද්‍ර වෘකයන් ඔබ අතරට පැමිණෙන බව දනිමි. 30ඔබ අතරෙන් සමහරුන් ඉදිරිපත් ව, තමන් අනුව යන්නට ශ්‍රාවකයන් ඇදගන්නා පිණිස දුර්මත පළ කරනු ඇත. 31එබැවින් මා අවුරුදු තුනක් තිස්සේ දිවා රෑ දෙකේ කඳුළු හෙළමින් සියලු දෙනාට නිතර ම අවවාද කළ බව සිහි කර අවදිව සිටින්න.
32“දැන් මම දෙවියන් වහන්සේටත් උන් වහන්සේගේ වරප්‍රසාදදායක පණිවුඩයටත් ඔබ භාර කරමි. ඔබ වැඩි වර්ධනය කිරීමටත්, කැප වූ සියලු අය සමඟ ඔබට උරුමය සාදා දීමටත් ඒ පණිවුඩයට හැකි ය. 33මම කාගේ වත් රන් රිදීයට හෝ ඇඳුම් පැළඳුම්වලට හෝ ආශාවක් නොදැක්වීමි. 34මාගේත් මා සමඟ සිටි අයගේත් අවශ්‍යතා පිරිමසාගැනීමට මේ දෑතින් මා වැඩ කළ හැටි ඔබ ම දන්නහු ය. 35‘ලැබීමට වඩා දීම භාග්‍යවන්ත යැ’යි ස්වාමීන් වන ජේසුස් වහන්සේ ම වදාළ වචන සිහි කර, දුබලයන්ට උපකාර කළ යුතු බව මෙසේ වැඩ කිරීමෙන් මම ඔබට පෙන්වා දුනිමි.”
36ඔහු මෙසේ කියා ඔවුන් සියල්ලන් සමඟ දණින් වැටී යාච්ඤා කෙළේ ය. 37ඔවුන් සියලු දෙනා හඬමින් පාවුලුගේ ගෙල වැළඳ ගෙන සාදරයෙන් සිඹ ගත්තෝ ය. 38අනෙක් හැම දේට ම වඩා, තමාගේ මුහුණ යළිත් ඔවුන් නොදකිති යි ඔහු කී වචන ගැන, ඔව්හු ශෝක වූ හ. ඉන්පසු ඔව්හු ඔහු සමඟ නැව කරා ගියහ.

Селектирано:

ක්‍රියා 20: NRSV

Нагласи

Копирај

Спореди

Сподели

None

Дали сакаш да ги зачуваш Нагласувањата на сите твои уреди? Пријави се или најави се