ක්‍රියා 12

12
ජාකොබ්ගේ මරණය හා පේදුරු හිරගත වීම
1ඒ කාලයේ දී හෙරොද් රජ, සභාවේ සමහරුනට පීඩා කරන්නට පටන්ගත්තේ ය. 2ඔහු ජොහන්ගේ සහෝදර වූ ජාකොබ් කඩුවෙන් මැරී ය. 3ඊට ජුදෙව්වරුන් ප්‍රසන්න වූ බව දැක, ඔහු පේදුරු ද අල්ලාගැනීමට ප්‍රයත්න දැරී ය. ඒ වනාහි නුමුහුන් රොටි වළඳන දවස් ය. 4#නික්ම 12:1-27ඔහු පේදුරු අල්ලා හිරගෙයි දමා, පාස්කු මංගල්‍යයෙන් පසු සෙනඟ ඉදිරියට ගෙනෙන්නට සිතා, හේවායින් සතර දෙනා බැගින් ඇති කණ්ඩායම් සතරකට ඔහු රැකවල් කරන්නට භාර දුන්නේ ය. 5එබැවින් පේදුරු හිර අඩස්සියේ සිටිය දී සභාව ඔහු උදෙසා දෙවියන් වහන්සේට උදක් ම යාච්ඤා කළා ය.
පේදුරු හිරගෙයින් ගැළවී යාම
6පේදුරු නඩු ශාලාවට පමුණුවන්නට හෙරොද් අදහස් කරගෙන සිටි දිනට පෙර දින රාත්‍රියේ දී පේදුරු දම්වැල් දෙකකින් බඳින ලදුව හේවායන් දෙදෙනකු මැද නිඳා සිටියේ ය. මුර භටයෝ දොර ඉදිරියේ හිරගෙය රැකවල් කළහ. 7එකෙණෙහි ම සමිඳාණන් වහන්සේගේ දුතයෙක් එහි පහළ විය. ආලෝකයක් හිර ගෙයි බැබළිණි. ඔහු පේදුරුගේ පිටට තට්ටු කර අවදි කරමින්, “වහා ම නැඟිටින්නැ”යි කී ය. ඔහුගේ අත්වලින් දම්වැල් ගැලවී වැටුණේ ය. 8දේව දූතයා ඔහුට කතා කොට, “ඉඟපටිය බැඳ, පාවහන් දමා ගන්නැ”යි කී ය. ඔහු එසේ කෙළේ ය. “ඔබේ සළුව ඇඟලාගෙන මා පස්සේ එන්නැ”යි දූතයා ඔහුට කී ය. 9දූතයා කළ දේ ඇත්තක් බව නොදැන, තමා දර්ශනයක් දකින්නේ යයි සිතමින්, පේදුරු පිටත් ව දූතයා පසුපසින් ගියේ ය. 10ඔව්හු පළමු වන, දෙ වන මුරකාවල් පසු කොට නුවරට පිවිසීමට ඇති යකඩ දොරටුවට ළඟා වූ හ. එය ඔවුන් සඳහා ඉබේ ම ඇරුණේ ය. ඔවුන් පිටතට ගොස් එක වීදියක් පසු කළ කෙණෙහි ම, දේව දූතයා ඔහු කෙරෙන් වෙන් ව ගියේ ය. 11එවිට පේදුරු පියවි සිහිය ලැබ, කතා කොට, “සමිඳාණන් වහන්සේ තමන් දූතයා එවා, හෙරොද්ගේ බලයෙන් ද ජුදෙව් ජනතාවගේ සියලු බලාපොරොත්තුවලින් ද මා මිදූ බව සැබැවින් ම දනිමි”යි කී ය.
12මෙය තේරුම්ගත් ඔහු මාක් නම් ලත් ජොහන්ගේ මව වූ මරියාගේ ගෙදරට පැමිණියේ ය. එහි බොහෝ දෙනෙක් රැස් ව යාච්ඤා කරමින් සිටියහ. 13පේදුරු පිටත සිට දොරට තට්ටු කළ විට, රොදා නම් යුවතියක් ඒ කවුදැ යි බලන්නට ආවා ය. 14ඈ පේදුරුගේ කටහඬ ඇඳින, ප්‍රීතිය නිසා දොරවත් නෑර, ඇතුළට දිව ගොස්, පේදුරු පිටත දොරකඩ ළඟ සිටින බව සැළ කළා ය. 15“ඔබට පිස්සු ය”යි ඔව්හු කී හ. එහෙත්, ඒ ඔහු ම ය යි ඈ සහතික කොට කී විට “ඒ ඔහුගේ රැකවල් දූතයා ය”යි ඔව්හු කී හ. 16එහෙත් පේදුරු දොරට තට්ටු කරමින් සිටියේ ය. දොර ඇරිය කල ඔව්හු පේදුරු දැක, විස්මිත වූ හ. 17එහෙත් ඔහු ඔවුනට නිශ්ශබ්ද වන්නට අතින් සංඥා කොට, සමිඳාණන් වහන්සේ තමා හිර ගෙයින් පිටතට ගෙනා හැටි ඔවුනට විස්තර කොට, “ජාකොබ්ට ද අනෙක් සහෝදරයනට ද මෙපවත් දන්වන්නැ”යි කියා, පිටත් ව වෙන තැනකට ගියේ ය.
18පහන් වූ කල, පේදුරුට කුමක් සිදුවී දැ යි හේවායන් අතර මහත් කැළඹීමක් ඇති විය. 19හෙරොද් ඔහු සොයා, සම්බ නොවූ කල, මුර සෙබළුන්ගෙන් ප්‍රශ්න කොට, ඔවුන් මරන්නට අණ කෙළේ ය. ඉන්පසු ඔහු ජුදයෙන් කායිසාරියට ගොස්, එහි නැවතී සිටියේ ය.
හෙරොද් රජුගේ මරණය
20හෙරොද්, තීර් සහ සීදොන් වැසියන් කෙරෙහි දැඩි කෝපයෙන් සිටියේ ය. එහෙත් ඔව්හු එක්සිත් ව ඔහු වෙතට පැමිණ, රජවාසල නිලමේ වූ බ්ලාස්තුස්ගේ සිත දිනා ගෙන, සාමදානය ඉල්ලුවෝ ය. මක්නිසා ද යත්, ඔවුන්ගේ රටට ආහාර ලැබුණේ ඒ රජුගේ රටින් ය.
21නියම කරගත් දවසක හෙරොද් තෙමේ රාජාභරණ පැළඳ සිංහාසනාරූඪ වී, ජනතාව ඇමතුවේ ය. 22ජනයා කෑගසමින්, “මෙය මිනිසෙකුගේ කටහඬ නොව, දෙවි කෙනෙකුගේ හඬ ය”යි කී හ. 23හෙරොද් දෙවියන් වහන්සේට දිය යුතු ගෞරවය නුදුන් බැවින්, සමිඳාණන් වහන්සේගේ දුතයෙක් එකෙණෙහි ම ඔහුට පහර දුන්නේ ය. ඔහු පණුවන් විසින් කාදමන ලදුව මළේ ය.
24එහෙත්, දෙවියන් වහන්සේගේ වචනය වර්ධනය වී පැතිරී ගියේ ය.
25බාර්ණබස් ද සාවුල් ද තමන්ගේ මෙහෙය නිමවා මාක් නම් ලත් ජොහන් කැඳවා ගෙන, ජෙරුසලමෙන් පෙරළා ගියෝ ය.

Одоогоор Сонгогдсон:

ක්‍රියා 12: NRSV

Тодруулга

Хувилах

Харьцуулах

Хуваалцах

None

Тодруулсан зүйлсээ бүх төхөөрөмждөө хадгалмаар байна уу? Бүртгүүлэх эсвэл нэвтэрнэ үү