උත්පත්ති 3

3
මනුෂ්‍යයා පරීක්ෂා කරනු ලැබීම සහ පාපයට වැටීම
1සර්පයා වනාහි ස්වාමිවූ දෙවියන්වහන්සේ සෑදූ වනයේ කවර සත්වයෙකුටත් වඩා ප්‍රයෝග සහිත වූයේය. ඌද: ඇත්තටම උයනේ කොයි ගසකින්වත් කන්ට එපාය කියා දෙවියන්වහන්සේ කීවාදැයි ස්ත්‍රියගෙන් ඇසීය. 2ස්ත්‍රීද: උයනේ ගස්වල ගෙඩි කන්ට අපට පුළුවන; 3එහෙත් දෙවියන්වහන්සේ–නුඹලා නොනසින පිණිස උයන මැද තිබෙන ගහේ ගෙඩි කන්ටවත් ඊට අතගසන්ටවත් එපායයි කීසේකැයි සර්පයාට කීවාය. 4සර්පයාද: නුඹලා ඇත්තටම නසින්නේ නැත; 5මක්නිසාද නුඹලා එයින් කන දවසෙහි නුඹලාගේ ඇස් ඇරෙන බවත් නුඹලා යහපත හා නපුර දැනගෙන දෙවියන්වහන්සේට සමාන වන බවත් දෙවියන්වහන්සේ දන්නාසේකැයි ස්ත්‍රීට කීය. 6ස්ත්‍රී වනාහි ඒ ගහ කෑමට හොඳ බවද එය ඇස්වලට ප්‍රිය බවද නුවණ ලැබීම සඳහා ආශාවිය යුතු ගහක් බවද දැක එහි ගෙඩිගෙන කෑවාය; ඈ තමා සමඟ සිටි තමාගේ පුරුෂයාටත් දුන්නාය, ඔහුද කෑවේය. 7එවිට ඔවුන් දෙදෙනාගේම ඇස් ඇරී තමන් නග්නව සිටින බව ඔව්හු දැනගත්තෝය; ඔව්හු අත්තික්කා කොළ මහා තමන්ට ඉණවැසුම් සාදාගත්තෝය. 8ඉක්බිති දිවාභාගයේ සිසිල් වේලේ ස්වාමිවූ දෙවියන්වහන්සේ උයනෙහි සක්මන්කරන ශබ්දය ඔවුන්ට ඇසුණේය. එවිට මනුෂ්‍යයා සහ ඔහුගේ භාර්යාව ස්වාමිවූ දෙවියන්වහන්සේ ඉදිරියෙන් උයනේ ගස් අතරෙහි සැඟවුණෝය. 9ස්වාමිවූ දෙවියන්වහන්සේ මනුෂ්‍යයාට හඬගසමින්: නුඹ කොහේදැයි ඔහුට කීසේක. 10ඔහු: මට ඔබවහන්සේගේ ශබ්දය උයනෙහිදී ඇසී මම නග්න බැවින් භයපත්ව සැඟවුණෙමියි කීය. 11උන්වහන්සේ: නුඹ නග්න බව නුඹට කීවේ කවුද? නොකන්ට මා ආඥාකළ ගහෙන් කෑවෙහිදැයි ඇසූසේක. 12මනුෂ්‍යයාද: මා සමඟ සිටින්ට ඔබවහන්සේ දුන් ස්ත්‍රී ගහෙන් මට දුන්නාය, මමද කෑවෙමියි කීය. 13ස්වාමිවූ දෙවියන්වහන්සේ: නුඹ කළ මේ දෙය මොකදැයි ස්ත්‍රියට කීසේක. ස්ත්‍රීද: සර්පයා මා රැවටුවේය, මම කෑවෙමියි කීවාය. 14එවිට ස්වාමිවූ දෙවියන්වහන්සේ සර්පයාට කථාකොට: තා මේක කළ බැවින් සියලු තිරිසනුන්ටත් වනයේ සියලු සත්වයන්ටත් වඩා තෝ ශාප ලද්දෙක්ය; තෝ බඩගායමින් තාගේ ජීවිතයේ සියලු දවස්වලම ධූලි කන්නෙහිය. 15මම තා සහ ස්ත්‍රිය අතරෙහිද තාගේ වංශය සහ ඇගේ වංශය අතරෙහිද සතුරුකම තබන්නෙමි; ඒ වංශය තාගේ හිස පොඩිකරන්නේය, තෝ ඔහුගේ විලුඹ පොඩිකරන්නෙහියයි කීසේක. 16උන්වහන්සේ ස්ත්‍රියට කථාකොට: නුඹේ ශෝකය හා ගැබ්ගැනීම බොහෝසෙයින් වැඩිකරන්නෙමි; නුඹ වේදනා සහිතව දරුවන් වදන්නීය; නුඹේ ආශාව නුඹේ පුරුෂයා කෙරෙහි වන්නේය; ඔහු නුඹ කෙරෙහි බලපවත්වන්නේයයි කීසේක. 17උන්වහන්සේ ආදම්ට කථාකොට: නුඹේ භාර්යාවගේ හඬට ඇහුම්කන්දී නොකන්ට මා අණකළ ගහෙන් කෑ බැවින් නුඹ නිසා භූමිය ශාපලද්දීය; නුඹේ ජීවිතයේ සියලු දවස්වලම නුඹ වෙහෙසින් යුක්තව එයින් කන්නෙහිය; 18එය නුඹට කටුද ගොකටුද උපදවන්නේය; නුඹ වනයේ පලා කන්නෙහිය; 19නුඹ භූමියෙන් ගන්නාලද බැවින් එයට හැරී යනතෙක් නුඹේ මුහුණේ ඩහදියෙන් යුක්තව කෑම කන්නෙහිය; මක්නිසාද නුඹ දූවිලිය, දූවිල්ලට හැරී යන්නෙහියයි කීසේක. 20මනුෂ්‍යයා තමාගේ භාර්යාව ජීවමාන සියල්ලන්ගේ මවු හෙයින් ඈට ඒව යන නම තැබීය. 21ස්වාමිවූ දෙවියන්වහන්සේ ආදම්ට සහ ඔහුගේ භාර්යාවට සම්වලින් ඇඳුම් සාදා ඇන්දවූසේක.
22තවද ස්වාමිවූ දෙවියන්වහන්සේ: බලව, මනුෂ්‍යයා යහපත හා නපුර දැනගැනීමට අපගෙන් කෙනෙකු මෙන් වුණේය. දැනුදු ඔහු තමාගේ අත දිගුකොට ජීවන වෘක්ෂයෙනුත් ගෙන කා සදාකාලයටම ජීවත්නොවන පිණිසය කියා, 23යම් භූමියකින් ඔහු ගන්නාලදද එය වවන පිණිස ස්වාමිවූ දෙවියන්වහන්සේ ඒදන් උයනෙන් ඔහු පිටකළසේක. 24මෙසේ උන්වහන්සේ මනුෂ්‍යයා පිටතට එළවා ජීවන වෘක්ෂයට යන මාර්ගය රැකවල්කරන පිණිස ඒදන් උයනට නැගෙනහිරෙන් කෙරුබ්වරුන්ද හැම අතටම කරකැවෙන්නාවූ ගිනිමයවූ කඩුවක්ද පිහිටෙවූසේක.

Marker

Del

Kopier

None

Vil du ha høydepunktene lagret på alle enhetene dine? Registrer deg eller logg på