ක්‍රියා 23
23
1පාවුලු ඉතා ඕනෑකමින් මන්ත්‍රණ සභාව දෙස නෙත් යොමා, “සහෝදරයෙනි, මම අද දක්වා දෙවියන් වහන්සේ ඉදිරියෙහි නිදොස් හෘදය සාක්ෂියක් ඇති ව හැසුරුණෙමි”යි කී ය. 2එවිට උත්තම පූජක අනනියස් ඔහුගේ කටට ගසන ලෙස ළඟ සිටියවුනට අණ කෙළේ ය. 3#මතෙ 23:27-28 එවිට පාවුලු, “කෛරාටිකයෙකු වූ ඔබට දෙවියන් වහන්සේ පහර දෙනු ඇත. ව්‍යවස්ථාව අනුව මා විනිශ්චය කිරීමට වාඩි වී සිටින ඔබ ව්‍යවස්ථාවට විරුද්ධ ව මට පහර දෙන්නට අණ කරන්නෙහි දැ”යි ඇසී ය. 4එවිට ළඟ සිටි අය, “ඔබ දෙවියන් වහන්සේගේ උත්තම පූජකයාට අපහාස කරන්නෙහි දැ”යි ඇසූ හ. 5#නික්ම 22:28 පාවුලු ද “සහෝදරවරුනි, ඔහු උත්තම පූජකයාණන් බව මම නොදැන සිටියෙමි. මන්ද, ‘ඔබේ සෙනඟගේ ප්‍රධානියා ගැන අපවාද නොකියන්නැ’යි ලියා තිබේ ය”යි කී ය.
6 #
ක්‍රියා 26:5; පිලිප් 3:5 සෙනඟගෙන් එක් කොටසක් සද්දුසිවරුන් ද අනෙක් කොටස පරිසිවරුන් ද බව පාවුලු දැක, මන්ත්‍රණ සභාවෙහි මොරගසා, “සහෝදරයෙනි, මම පරිසියෙක්මි, පරිසිවරුන්ගේ පුත්‍රයෙක්මි. මළවුන් උත්ථාන වීමේ බලාපොරොත්තුව ගැන මම විනිශ්චයාසනය ඉදිරියෙහි සිටිමි”යි කී ය. 7ඔහු මෙසේ කී කෙණෙහි ම, පරිසිවරුන් හා සද්දුසිවරුන් අතර භේදයක් පැන නැඟුණි. රැස් ව සිටි අය දෙපිලකට බෙදුණාහ. 8#මතෙ 22:23; මාක් 12:18; ලූක් 20:27 මන්ද, සද්දුසිවරු පුනරුජ්ජීවනයක් වත්, දේව දූතයන් වත්, ආත්මයක් වත් නැතැ යි කී නමුත් පරිසිවරු ඒ තුන ම ඇතැ යි කී හ. 9එවිට කලබලය වඩාත් උග්‍ර විය. පරිසිවරුන්ගේ පක්ෂයේ විනයධරයන්ගෙන් සමහරෙක් නැඟිට තරයේ විරෝධය පාමින්: “මේ මිනිසා අත කිසි නපුරක් අපට නොපෙනේ. සමහර විට ආත්මයක් හෝ දේව දුතයෙක් හෝ ඔහුට කතා කරන්නට ඇතැ”යි කී හ.
10එවිට භේදය වඩාත් වේගවත් විය. ඔවුන් පාවුලු කැබැලි කොට ඉරාදමනු ඇතැ යි සේනාධිපතියා බිය වී, හේවායන්ට කතා කොට, ඔවුන් වෙතින් ඔහු පැහැර ගෙන බලකොටුවට ගෙන යාමට අණ කෙළේ ය.
11එදා රාත්‍රියේ සමිඳාණන් වහන්සේ පාවුලු ළඟ සිට, “ධෛර්යවත් වෙන්න ඔබ ජෙරුසලමේ දී මා ගැන සාක්ෂි දුන් සේ ම, රෝමයේ දීත් සාක්ෂි දිය යුතු ය”යි වදාළ සේක.
පාවුලු නැසීමට කුමන්ත්‍රණයක්
12පහන් වූ කල ජුදෙව්වරු කුමන්ත්‍රණයක් කර, පාවුලු මරනතුරු නොකා නොබී සිටීමට දිවුරුමකින් බැඳුණෝ ය. 13මේ කුමන්ත්‍රණය කළ අය සතළිස්දෙනෙකුට වැඩි වූ හ. 14ඔව්හු නායක පූජකයන් ද ප්‍රජා මූලිකයන් ද ළඟට ගොස්, “පාවුලු මරනතුරු අපි කිසිවක් කටේ නොතියන්නට තද දිවුරුමකින් බැඳී සිටිමු. 15එබැවින් ඔබ මන්ත්‍රණ සභාව සමඟ, ඔහු පිළිබඳ තතු වඩා හරි ලෙස වගවිභාග කරන්නට යන්නාක් මෙන්, හෙට ඔබ වෙතට ඔහු ගෙනෙන ලෙස සේනාධිපතියාට දන්වා හරින්න. ඔහු මෙතැනට පැමිණෙන්නට පෙර අපි ඔහු මරන්නට සූදානම් කරමු”යි කී හ.
16ඔවුන්ගේ ඒ උපාය ගැන ඇසූ පාවුලුගේ සහෝදරීගේ පුත්‍රයා අවුත්, බලකොටුවට ඇතුළු වී, පාවුලුට එපවත් සැළ කෙළේ ය. 17එවිට පාවුලු ශතාධිපතියන්ගෙන් කෙනෙකු කැඳවා, “මේ තරුණයා ප්‍රධාන සේනාධිපතියා ළඟට ගෙන යන්න; ඔහුට දැන්විය යුතු යම් කාරණයක් ඇතැ”යි කී ය. 18එවිට ඔහු සේනාධිපතියා ළඟට තරුණයා ගෙන ගොස්: “පාවුලු නම් හිරකරුවා මා කැඳවා, ඔබට දන්වන්නට කාරණයක් ඇති හෙයින් මේ තරුණයා ඔබ වෙත ගෙනෙන්නට මාගෙන් ඉල්ලුවේ ය”යි කී ය. 19එකල සේනාධිපතියා ඔහු අතින් අල්ලා ගෙන පසෙකට ගොස්, “මට දන්වන්නට තිබෙන කාරණය කුමක් දැ”යි ඇසී ය. 20ඔහු කතා කොට, “පාවුලු ගැන මන්ත්‍රණ සභාව වැඩිදුරටත් වගවිභාග කරන්නට යන්නාක් මෙන්, ඔහු හෙට සභාවට ගෙනෙන ලෙස ජුදෙව්වරු ඔබගෙන් ඉල්ලීමට නියම කරගෙන සිටිති. 21එහෙත් ඔවුන්ගේ කැමැත්තට ඉඩ නුදුන මැනවි. මන්ද, ඔවුන්ගෙන් හතළිහකට වැඩි ගණනක් ඔහු මරනතුරු නොකා නොබී සිටීමට දිවුරුමකින් බැඳී සැඟවී, බලා ගෙන සිටිති. දැන් ඔව්හු සූදානම් ව ඔබ තීරණය දෙන තෙක් බලා සිටිති”යි කී හ. 22එවිට සේනාධිපතියා, “ඔබ මේ දේවල් මට දැන් වූ බව කිසිවෙකුට නොකියන්න”යි අණ කොට තරුණයා යන්නට හැරියේ ය.
පාවුලු ආණ්ඩුකාරයා වෙත යවනු ලැබීම
23ඉක්බිති ඔහු ශතාධිපතීන් දෙදෙනෙකු කැඳවා, “කායිසාරිය දක්වා යන පිණිස හේවායන් දෙසියයක් ද අසරුවන් සැත්තෑවක් ද කුන්තධරයන් දෙසියයක් ද රෑ නවයට සූදානම් කරන්නැ”යි කී ය. 24ෆීලික්ස් නම් ආණ්ඩුකාරයා වෙත ප්‍රවේසමෙන් පාවුලු ගෙන යන පිණිස අශ්වයන් සපයා තබන්නට ද අණ කෙළේ ය. 25තවද, ඔහු මෙසේ ලිපියක් ලීවේ ය:
26“ක්ලෞදියස් ලිසියස්, ශ්‍රීමත් ෆීලික්ස් නම් ආණ්ඩුකාරයාණන්ට සුබ පතමින් ලියා එවන වග නම්: 27ජුදෙව්වරුන් මේ මනුෂ්‍යයා අල්ලා මරන්නට තැත් කළ විට, ඔහු රෝම පුරවැසියෙකු බව දැන ගෙන, මම හේවායන් සමඟ ගොස් ඔහු මුදා ගතිමි. 28ඔවුන් ඔහුට විරුද්ධ ව කළ චෝදනා දැන ගන්නා පිණිස, ඔවුන්ගේ මන්ත්‍රණ සභාවට ඔහු ගෙන ගියෙමි. 29එවිට ඔවුන්ගේ ව්‍යවස්ථාවලියේ ප්‍රශ්න ගැන ඔහුට වැරදි තබන බව මිස, මරණයට වත්, සිරගත කිරීමට වත් සුදුසු කිසිවක් ගැන ඔහුට චෝදනා නොකළ බව දැන ගතිමි. 30එහෙත් ඒ මනුෂ්‍යයාට විරුද්ධ ව කූට උපායක් යොදන්නට යන බව මට දන්වනු ලැබූ බැවින් එවේලේ ම ඔහු ඔබ වෙතට එවා, ඔහුට විරුද්ධ ව ඇති චෝදනා ඔබ ඉදිරියේ තබන්නට පැමිණිලිකරුවන්ට අණ කෙළෙමි.”
31මෙසේ හේවායන්ට අණ කළ ලෙස ඔව්හු පාවුලු රැගෙන එම රාත්‍රියේ ම අන්තිපත්‍රිසයට ගියහ. 32පසුවදා අසරුවන් ඔහු සමඟ යන්නට හැර, හේවායෝ බලකොටුවට හැරී ආහ. 33අසරුවෝ කායිසාරියට අවුත් ලිපියත් සමඟ, පාවුලු ආණ්ඩුකාරයාට භාර දුන්හ. 34එවිට ඔහු ඒ ලිපිය කියවා, පාවුලු කොයි පළාතේ කෙනෙක් දැ යි අසා, සිලිසියාවේ තැනැත්තෙකු බව දැන ගත් විට, 35“ඔබේ පැමිණිලිකරුවන් පැමිණි විට ඔබට කියන්නට ඇති දේ අසමි”යි කියා හෙරොද්ගේ මාලිගාවේ ඔහු රැකවලෙහි තබන්නට අණ කෙළේ ය.
Markert nå:
ක්‍රියා 23: NRSV
Marker
Kopier
Sammenlign
Del
Vil du ha høydepunktene lagret på alle enhetene dine? Registrer deg eller logg på
Ceylon Bible Society