Logo aplikacji Biblia
Ikona wyszukiwania

මතෙව් 14

14
යොහන්ගේ හිස ගසා දැමේ
1මෙකල යේසුස්වහන්සේගේ කීර්තිය පිළිබඳව හෙරෝද් ප්‍රාන්ත රජුට අසන්ට ලැබුණේ ය. 2තම මෙහෙකරුවන් ඇමතූ ඔහු, “මේ යොහන් බව්තීස්ත ය; ඔහු මරණින් නැගිට ඇතැයි ද, හාස්කම් බලය ඔහු තුළ ක්‍රියා කරන්නේ එනිසා යැ” යි පැවසී ය.
3මන්ද හෙරෝද්, තම සහෝදරයා වූ පිලිප්ගේ භාර්යාව වූ හෙරෝදියස් නිසා, යොහන් අල්ලා බැඳ, සිරගත කරනු ලැබ තිබිණ. 4එසේ වූයේ, “ඇය තියා ගැනීම නිත්‍යානුකූල නැතැ” යි යොහන් ඔහුට කියා තිබූ බැවිණි. 5ඔහු මරා දැමීමට වුවමනා වුව ද, ඔහු දිවැසිවරයෙකැයි ජනයා සැලකූ නිසා, හෙරෝද් ඔවුනට බය වූයේ ය.
6එහෙත් හෙරෝද්ගේ උපන් දිනය පැමිණි කල, හෙරෝදියස්ගේ දියණිය, පිරිස ඉදිරියේ නැටුමක් නටා, හෙරෝද් ප්‍රීතියට පත් කළෙන්, 7ඇය ඉල්ලන කවරක් වුව දෙන්නට හෙරෝද් ඇයට දිවුරුමකින් පොරොන්දු විය. 8තම මව විසින් පොලඹවන ලද ඈ, “යොහන් බව්තීස්තගේ හිස තැටියක ලා, මට මෙහි ගෙනත් දෙන්නැ” යි කීවා ය. 9රජු ඉන් දැඩි සිත් තැවුලට පත් වුව ද, තම දිවුරුම් නිසාත්, තමා සමඟ සිටි අමුත්තන් නිසාත් එය දීමට අණ කොට, 10සිර ගෙදරට යවා, යොහන්ගේ හිස ගසවාලී ය. 11ඔහුගේ හිස තැටියක තබා ගෙනැවිත්, දැරියට දෙන ලදී. ඈ එය තම මව වෙත ගෙන ගියා ය. 12ඔහුගේ ගෝලයෝ පැමිණ, ඔහුගේ දේහය ගෙන ගොස්, එය වළලා, ඉන්පසු යේසුස්වහන්සේට එපවත් දැන්වූහ.
යේසුස්වහන්සේ පන්දහසකගේ කුස පිරවීම
13ඒ ඇසූ කල, යේසුස්වහන්සේ එම පෙදෙස හැර, ඔරුවක නැග, තනි ව හුදකලා තැනකට ගිය සේක. එහෙත් ජනයා ඒ අසා, නගරවල සිට ගොඩ බිමින් උන්වහන්සේ පසු පස ගියහ. 14උන්වහන්සේ වෙරළට ගොඩ බැස්ස කල, විශාල ජනකායක් දුටු සේක්, ඔවුනට අනුකම්පා කර, ඔවුන්ගේ රෝගීන් සුව කළ සේක.
15සවස් වූ කල, උන්වහන්සේ වෙත ආ ගෝලයෝ, “මේක පාළු පෙදෙසක්; දැනටත් හොඳට ම පමා වෙලා. එනිසා අසල ගම්වලට ගොස්, ඔවුන්ට ආහාර මිලට ගන්නට හැකි වන පිණිස ජනයා පිටත් කර හරින්නැ” යි කීහ.
16එහෙත් යේසුස්වහන්සේ, “ඔවුන් යන්න ඕනෑ නැහැ. ඔබ ම ඔවුන්ට කෑමට යමක් සපයා දෙන්නැ” යි පැවසූ සේක.
17“අප ළඟ මෙහි ඇත්තේ රොටි පහකුත් මසුන් දෙදෙනකුත් පමණි” යි ඔවුහු පිළිතුරු දුන්හ.
18“ඒවා මා ළඟට මෙහෙ ගෙනෙන්නැ” යි උන්වහන්සේ පැවසූ සේක. 19ඉන්පසු තණ නිල්ල මත හිඳ ගන්නා ලෙස සමූහයාට නියෝග කළ උන්වහන්සේ, රොටි පහ සහ මසුන් දෙදෙනා ද ගෙන, ස්වර්ගය දෙස ඉහළ බලා, ආශිර්වාදය පවසා, ඉන්පසු රොටි කඩා, ගෝලයිනට දුන් සේක. ගෝලයෝ ඒවා සමූහයාට බෙදා දුන්හ. 20සැවොම ඒවා කෑමෙන් තෘප්තියට පැමිණි පසු, ඔවුහු ඉතිරි වූ කැබලිවලින් කූඩ දොළහක් එකතු කර ගත්හ. 21ස්ත්‍රීන් හා දරුවන් හැර රොටි කෑ අය ගණනින් පිරිමි පන්දහසක් පමණ වූහ.
දිය මත ඇවිදීම
22එකෙණෙහි ම, උන්වහන්සේ තමන් විසින් සමූහයා පිටත් කර හරින තෙක්, තම ගෝලයින් ඔරුවේ නංවා උන්වහන්සේට පෙරටුව එගොඩ යන්නට සැලසූ සේක. 23සමූහයා පිටත යැවූ පසු උන්වහන්සේ යාච්ඤා කරන පිණිස, තනි ව කන්දට නැගුණු සේක. සවස් වූ කල උන්වහන්සේ එහි සිටියේ තනි ව ය. 24මේ අතර ගොඩ බිමට ඈතින් වූ ඔරුවට රළ රැළි පහර දෙන්නට වූයේ, සුළඟ ඔවුන්ට එරෙහිව හැමූ බැවිනි.
25රාත්‍රි හතර වන යාමයේ උන්වහන්සේ ඔවුන් වෙත මුහුද මත ඇවිදගෙන ආ සේක. 26එහෙත් උන්වහන්සේ මුහුද මත ඇවිදිනු දුටු ගෝලයෝ බියෙන් වෙළී, “අවතාරයක් ය” කියමින් බියෙන් කෑ ගැසූහ.
27එහෙත් එකෙණෙහි ම ඔවුන් ඇමතූ යේසුස්වහන්සේ, “ධෛර්යවත් වන්න! මේ මමයි. බය වන්න එපා” යි කී සේක.
28එවිට පේතෘස් පිළිතුරු දෙමින්, “ස්වාමිනි, ඒ ඔබ නම්, දිය මත ඇවිද ඔබ වෙත එන්නට මට අණ දෙන්නැ” යි කීවේ ය.
29උන්වහන්සේ, “එන්නැ” යි කී සේක.
එවිට පේතෘස් ඔරුවෙන් පිටතට අවුත්, යේසුස්වහන්සේ වෙත දිය මත ඇවිද ගියේ ය. 30එහෙත් සුළඟ දැක, ඉන් බියපත් වූ ඔහු ගිලෙන්නට වී, “ස්වාමිනි, මා ගලවාගත මැනව” යි මොර ගැසී ය.
31එසැණෙහි තම අත දිගු කොට, ඔහු අල්ලා ගත් යේසුස්වහන්සේ, “ඇදහිලි මද තැනැත්ත, නුඹ සැක කළේ මන්දැ?” යි ඇසූ සේක.
32ඔවුන් ඔරුවට ගොඩ වූ කල, සුළඟ නැවතිණි. 33ඔරුව තුළ සිටි අය, “සැබවින් ම ඔබ දෙවියන්වහන්සේගේ පුත්‍රයාණන් ය” කියමින් උන්වහන්සේට නමස්කාර කළහ.
34මෙතෙර වූ ඔවුහු, ගෙන්නසරෙත් බිමට ගොඩ බටහ. 35එපෙදෙසේ මිනිස්සු යේසුස්වහන්සේ හැඳින ගත්හ. ඔවුහු පළාත මුළුල්ලේ පණිවුඩ යවා, රෝගී වූ සියල්ලන් උන්වහන්සේ වෙත ගෙන ඇවිත්, 36උන්වහන්සේගේ සළුවේ වාටියට පමණක්වත් අත ගසන්නට ඔවුනට ඉඩ දෙන මෙන් අයැද සිටියහ. උන්වහන්සේට අත ගැසූ සැවොම සුවය ලදහ.

Obecnie wybrane:

මතෙව් 14: SCV

Podkreślenie

Kopiuj

Porównaj

Udostępnij

None

Chcesz, aby twoje zakreślenia były zapisywane na wszystkich twoich urządzeniach? Zarejestruj się lub zaloguj