Logoja e Programit të Biblës
Ikona e kërkimit

ක්‍රියා 20

20
මකිදෝනිය හා ග්‍රීසිය මැදින්
1කලබලය සංසිඳුණු පසු, ගෝලයින් කැඳවූ පාවුල්, ඔවුන් ධෛර්යවත් කර, ඔවුන්ගෙන් සමුගෙන මකිදෝනිය බලා පිටත් විය. 2එපෙදෙස් ඔස්සේ ගමන් කරමින්, ඇදහිලිවතුන් ධෛර්යවත් කළ ඔහු, අනතුරුව ග්‍රීසියට ළඟා වී, 3එහි තුන් මසක් ගත කළේ ය. පසුව ඔහු සිරියා බලා නැව් නගින්නට සූදානම් වෙද්දී, යුදෙව්වරුන් ඔහුට විරුද්ධ ව කුමන්ත්‍රණයක් කළෙන්, මකිදෝනිය හරහා ආපසු යෑමට ඔහු තීරණ කළේ ය. 4ඔහු සමඟ පුරස්ගේ පුත් බෙරියාහි සෝපතර් ද තෙසලෝනික අරිස්තාර්කස් හා සෙකුන්දස් ද දර්බයෙහි ගායස් හා තිමෝති ද ආසියා කලාපයේ තුකිකස් හා ත්‍රොපිමස් ද ගමන් ගත්හ. 5අපට පෙරටුව පිටත් ව ගිය ඔවුහු අප එන තෙක් ත්‍රෝවසයේ බලා සිටියහ. 6එහෙත් නුමුහුන් රොටි මංගල්‍යයෙන් පසු, පිලිප්පි වෙතින් නැව් නැගුණු අපි, දවස් පහකට පසු ත්‍රෝවසයේදී ඔවුන්ට එක් වුණෙමු. අපි එහි හත් දවසක් නැවතී සිටියෙමු.
යුතිකස් මළවුන්ගෙන් නැගිටුවනු ලැබීම
7සතියේ පළමු දවසේ රොටි කැඩීමට අපි එක් රැස් වුණෙමු. එහි රැස්වූවන්ට පාවුල් දේශනා කළේ ය. ඊළඟ දවසේ එපෙදෙසින් සමු ගැනීමට අදහස් කළ බැවින්, රෑ මැදියම වන තුරුත් ඔහු දිගට ම කතා කළේ ය. 8අප රැස් ව සිටි උඩු මහල් කාමරයේ බොහෝ පහන් දල්වා තිබිණි. 9යුතිකස් නම් තරුණයෙක් ජනෙල් පඩිය මත හිඳ, නිදි කිරමින් සිටියේ ය. පාවුල් දිගට ම කතා කර ගෙන යද්දී, තද නින්දට පත් හෙතෙම තෙවන මහලේ සිට ඇද වැටිණි. ඔහු එසවූ කල මැරී සිටියේ ය. 10පාවුල් පහළට අවුත්, තරුණයා මත දිගා වී ඔහු වැලඳ, “බිය නො වන්න; ඔහුට පණ ඇතැ” යි කීවේ ය. 11ඉන්පසු නැවතත් උඩු මහලට ගිය ඔහු රොටි කඩා අනුභව කළේ ය. පාවුල් පිටත් ව ගියේ, පසු දිනට පහන් වන තෙක් ම ඔවුන් හා කතා කළ පසුව ය. 12ඔවුන්, ජීවය ලද තරුණයා කැටිව ආපසු ගියේ මහත් අස්වැසිල්ලකිනි.
එපීසයේ සභා-මූලිකයින්ට පාවුල් කළ කතාව
13කලින් නැව් නැගුණු අප අසොස් දක්වා යාත්‍රා කළේ, එහිදී පාවුල් නැවට නංවා ගැනීමට ය; මන්ද පා ගමනින් එහි ගිය පාවුල් එසේ කිරීමට සැලසුම් කර තිබිණි. 14අසොස්හි දී ඔහු හමුව නැවට ඔහු නංවා ගත් අපි, මිතුලේනට ගියෙමු. 15පසු දා එතැන් සිට යාත්‍රා කර, කියොස් ඉදිරිපිටට පැමිණියෙමු; පසු දින සාමෝස් වෙත ළඟා වී, ඊට පසු දින මිලේතස වෙත පැමිණියෙමු. 16ආසියා කලාපයේ කල් ගත කිරීමෙන් වැළකී, එපීසය පසු කර යාත්‍රා කිරීමට පාවුල් තීරණ කළේ, හැකි වෙතොත් පෙන්තකොස්ත දවසට කලින් යෙරුසලමට ළඟා වීමට ඔහු ඉක්මන් කළ බැවිනි.
17ඔහු මිලේතස සිට එපීස සභා-මූලිකයින් කැඳවා පණිවුඩ යැවී ය. 18ඔවුන් ආ කල්හි ඔහු ඔවුන්ට මෙසේ පැවසී ය. “මා ආසියා කලාපයට පැමිණි පළමු දවසේ පටන් ඔබ සමඟ ඒ මුළු කාලය ම ගත කළේ කෙසේ ද කියා ඔබ දනී. 19යුදෙව්වරුන්ගේ කුමන්ත්‍රණවලින් දැඩි සේ මා පරීක්ෂා කළ ද, සියලු ආකාර යටහත්කමින් හා කඳුළින් යුතුවයි මා ස්වාමින්වහන්සේට සේවය කළේ. 20ඔබට ප්‍රයෝජනවත් විය හැකි කවර දෙයක් වුව ප්‍රකාශ කිරීමට මා පසුබට නො වූ බවත් ඔබ දන්නවා; ප්‍රසිද්ධියේ මෙන් ම ගෙන් ගෙට ගොස් මා ඔබට ඉගැන්නුවා. 21යුදෙව් හා ග්‍රීක යන දෙගොල්ලට ම පසුතැවිලි වී, දෙවියන්වහන්සේ වෙත හැරෙන ලෙස හා අපගේ ස්වාමි වූ යේසුස්වහන්සේ අදහා ගන්නා ලෙස මා තදින් අනුශාසනා කළා.
22“මෙන්න දැන්, ආත්මයාණන්වහන්සේගේ බලපෑමෙන් යුතු ව යෙරුසලමට මා යන්නේ, එහිදී මට කුමකින් කුමක් වේ දැයි නො දැනයි. 23මා එකක් දන්නවා; නගරයක් නගරයක් පාසා ශුද්ධාත්මයාණන් මට ප්‍රකාශ කරන්නේ, සිරගතවීම් හා හිරිහැරවලට මා මුහුණ ලා සිටින වගයි. 24කෙසේ වෙතත් මා දුවන මේ තරඟ දිවුම නිම කිරීමත්, යේසුස් ස්වාමින්වහන්සේ මට දුන් කාර්ය භාරය වන දෙවියන්වහන්සේගේ අනුග්‍රහයේ ශුභාරංචිය ගැන සාක්ෂි දැරීම සම්පූර්ණ කිරීමත් මිස, මගේ ජීවිතය මට වටනේයයි මම නො සිතමි.
25“රාජ්‍යය ප්‍රකාශ කරමින් මා ගියවුන් අතර සිටින ඔබ කිසිවකුට මින් මතු මගේ මුහුණ දකින්නට නො ලැබෙන බව දැන් මම දනිමි. 26එබැවින් අද දවසේ මා ඔබට ප්‍රකාශ කරන්නේ, සියල්ලන්ගේ ලේ ගැන මා නිදොස් වගයි. 27මන්ද දෙවියන්වහන්සේගේ මුළු කැමැත්ත ඔබට ප්‍රකාශ කිරීමට මා පසුබට වූයේ නැත. 28තමන් ගැනත් වග බලා ගනිමින්, ශුද්ධාත්මයාණන්වහන්සේ ඔබ නායකයින් බවට පත් කරමින්, බාර දී ඇති බැටළු රැළ රැක-බලාගන්න. ස්වකීය ලෙයින් උන්වහන්සේ මිලයට ගත් දෙවියන්වහන්සේගේ සභාවේ එඬේරවරුන් වන්න. 29මා ගිය පසු, රුදුරු වෘකයින් ඔබ අතරට පැමිණ, රැළ ඉතිරි නො කරන වග මම දනිමි. 30ඔබ කණ්ඩායමේ ඇතමුන් ද නැගිට ගෝලයින් ඔවුන්ගේ පැත්තට නම්මා ගන්නට සත්‍යය විකෘති කරනු ඇත. 31එබැවින් කල්පනාකාරී ව සිටින්න. වසර තුනක් තිස්සේ දිවා රෑ දෙක්හි කඳුළින් යුතු ව, මා ඔබ එකිනෙකාට නො නැවතී අවවාද කළ බව මතක තබා ගන්න.
32“දෙවියන්වහන්සේටත්, ඔබ ගොඩ නංවාලීමට හා පවිත්‍ර කරනු ලැබූ සියල්ලන් අතර උරුමයක් ඔබට දෙන්නට හැකි උන්වහන්සේගේ අනුග්‍රහයේ වචනයටත් දැන් මා ඔබ භාර කරනවා. 33කාගේවත් රිදී හෝ රන් හෝ ඇඳුම්වලට හෝ මා ගිජු වූයේ නැහැ; 34මගේ මේ අත් දෙක මගේ අවශ්‍යතා වගේ ම මගේ සගයින්ගේ අවශ්‍යතා ද සපිරූ වග ඔබ දන්නවා. 35මෙලෙස වෙහෙසී වැඩ කර, අබල-දුබල අයට අප උපකාර කළ යුතු බව මා කළ හැම දෙයක් තුළින් ම ඔබට පෙන්වා දුන්නේ යේසුස්වහන්සේගේ ම වචන සිහි ගන්වමින්; උන්වහන්සේ කීවේ, ‘ලැබීමට වඩා දීම ආශිර්වාදයකි’ කියායි.”
36එසේ පැවසූ පාවුල් ඔවුන් සියලු දෙනා සමඟ දණින් හිඳ යාච්ඤා කළේ ය. 37ඔහු ඔවුන්ගෙන් සමු ගනිද්දී, ඔවුහු සැවොම ඔහු වැලඳ සිප ගනිමින් කඳුළු සැලූහ. 38ඔවුන් වඩාත් ම ශෝක වූයේ, යළි ඔවුන් ඔහුගේ මුහුණ දකින්නේ නැතැයි පාවුල් කී බැවිනි. ඉන්පසු ඔවුහු නැවට ඔහු ඇරලූහ.

Aktualisht i përzgjedhur:

ක්‍රියා 20: SCV

Thekso

Kopjo

Krahaso

Ndaje

None

A doni që theksimet tuaja të jenë të ruajtura në të gjitha pajisjet që keni? Regjistrohu ose hyr