Logoja e Programit të Biblës
Ikona e kërkimit

ක්‍රියා 26

26
1එවිට අග්‍රිපා රජු පාවුල් අමතමින්, “ඔබ ගැන කරුණු කියන්නට ඔබට අවසර ඇතැ” යි පැවසී ය.
එවිට පාවුල් අත ඔසවා මෙසේ තම නිදහසට කරුණු කියන්නට වන්නේ ය: 2“අග්‍රිපා රජතුමනි, යුදෙව්වරුන් මට එරෙහිව නගන සියලු චෝදනා ගැන අද ඔබ ඉදිරියේ මගේ නිදහසට කරුණු කියන්නට ඉඩ ලැබීම භාග්‍යයක් කොට සලකමි. 3මා එසේ කියන්නේ විශේෂයෙන් ම යුදෙව් සියලු චාරිත්‍ර මෙන් ම වාද භේද ගැන ඔබ හොඳින් දන්නා නිසයි. එබැවින් ඉවසීමෙන් මට සවන් දෙන මෙන් ඉල්ලමි.
4“බාල කාලයේ පටන් මගේ කල් ක්‍රියාව ගැන, මුල් අවදියේ මගේ රටේදීත්, යෙරුසලමේදීත් මගේ පැවැත්ම ගැන, සියලු යුදෙව්වරු දනිති. 5බොහෝ කලෙක පටන් ඔවුහු මා හඳුනති. එබැවින් අප දහමේ ඉතාම දැඩි නිකායට අනුව පරිසිවරයකු ව මා ජීවත් වූ බවට සාක්ෂි දරන්නට කැමති නම් ඔවුනට පුළුවන. 6අද මා මෙසේ විභාග කරනු ලබන්නට හේතුව, අපගේ පියවරුනට දෙවියන්වහන්සේ දුන් පොරොන්දුව ගැන ඇති මගේ බලාපොරොත්තුවයි. 7අපේ ගෝත්‍ර දොළොස ම මහත් ලැදියාවෙන් දිවා රෑ දෙක්හි දෙවියන්වහන්සේට මෙහෙ කරමින්, බලා සිටින්නේ මේ පොරොන්දුව ඉටු වන තුරුයි. රජතුමනි, මේ බලාපොරොත්තුව නිසාමයි යුදෙව්වරුන් මට චෝදනා එල්ල කරන්නේ. 8දෙවියන්වහන්සේ මළවුන් නැගිටුවීම, සිදු විය නොහැක්කකැයි ඔබ කවුරුන් හෝ සිතන්නේ ඇයි?
9“කලක් මාත්, ඒත්තු ගෙන සිටියේ නාසරෙත්හි යේසුස්වහන්සේගේ නාමයට එරෙහිව කළ හැකි හැම දෙයක් ම කිරීම, කළ යුත්තකැයි කියායි; 10යෙරුසලමේදී මා කළේ එයයි; නායක පූජකයින්ගේ අධිකාරිත්වය ඇති ව, ශුද්ධවන්තයින් බොහෝ දෙනකු සිර ගෙවල දැමුවෙමි. ඔවුන් මරා දැමීමේදී ඔවුන්ට එරෙහිව ඡන්දය දුනිමි. 11බොහෝ වර ඔවුනට දඬුවම් දෙන්නට එක් සිනගෝගයකින් තවත් එකකට ගියෙමි; දේවාපහාස කරන්නට ඔවුන්ට බල කළෙමි. ඔවුන්ට විරෝධී ව වූ උමතුවෙන්, ඔවුන්ට වධ දෙන්නට විදෙස් නගරවලටත් ගියෙමි.
12“එසේ එක් ගමනකදී මම නායක පූජකයින්ගේ අධිකාරි බලය ඇති ව, ඔවුන්ගේ අණ පරිදි දමස්කය බලා යමින් සිටියෙමි. 13එසේ යන අතර, මද්දහනේ පමණ අහෝ රජතුමනි! හිරුටත් වඩා දීප්තිමත් ආලෝක ධාරාවක් අහසින් විහිදී මා ද මගේ සගයින් ද වටා බැබළෙනු දැක්කෙමි. 14අප සැවොම බිම ඇද වැටුණා. එවිට, ‘සාවුල්, සාවුල්, ඔබ මට පීඩා කරන්නේ මන්ද? කෙවිටට පයින් ගැසීම ඔබට අසීරු යැ’ යි හෙබ්‍රෙව් බසින් මා අමතන කටහඬක් මට ඇසුණා.
15“ ‘ස්වාමිනි, ඔබතුමා කවුරු දැ?’ යි එවිට මා ඇසුවා.
“ස්වාමින්වහන්සේ පිළිතුරු දෙමින්, ‘ඔබ විසින් වධ හිංසා කරන යේසුස් මමයි. 16දැන් නැගිට, දෙපයින් සිටගන්න; මා ඔබට මෙසේ පෙනුණේ, ඔබ මා දුටු අයුරු ද මා ඔබට පෙන්වා දෙන දෑ ද ගැන සේවකයකු ලෙසත්, සාක්ෂිකරුවකු ලෙසත් ඔබ පත් කරන්නටයි. 17ඔබේ ම ජනයා අතින් හා අන්‍ය-ජාතිකයින් අතින් මම ඔබ මුදා ගන්නෙමි. මා ඔවුන් වෙත ඔබ යවන්නේ, 18අන්ධකාරයෙන් ආලෝකයටත්, සාතන්ගේ බලයෙන් දෙවියන්වහන්සේ වෙතත් ඔවුන් හරවන්නට ඔවුන්ගේ ඇස් පාදන පිණිසයි. එමඟින් ඔවුන් පාප කමාව ද මා අදහා ගැනීම තුළින් පවිත්‍ර කරනු ලැබූවන් අතරේ ස්ථානයක් ද ලබන පිණිස යැ’ යි පැවසූ සේක.
19“එබැවින් අග්‍රිපා රජුනි, එම ස්වර්ගීය දර්ශනයට මා අකීකරු නො වී, 20පළමු ව දමස්කයේ සිටින්නන්ටත්, ඉන්පසු යෙරුසලමෙහි හා යුදය රට මුළුල්ලෙහි ද සිටින්නන්ටත්, එසේ ම විදේශීන්ටත් දේශනා කරමින්, ඔවුන් පසුතැවිලි විය යුතු වගත්, එසේ පසුතැවිලි වූ වග තම ක්‍රියා කලාපය තුළින් පෙන්විය යුතු වගත් ප්‍රකාශ කළෙමි. 21ඒ හේතුවටයි යුදෙව්වරුන් දේව මාලිගාවේදී මා අල්ලා, මා මරන්නට තැත් කළේ. 22එහෙත් මේ අද දවස දක්වා දෙවියන්වහන්සේගේ පිළිසරණ ලැබ, මෙසේ මෙතැන සිටගෙන, උසස් පහත් දෙගොල්ලන්ට ම එක සේ සාක්ෂි දරමි. මා පවසන්නේ දිවැසිවරුන් හා මෝසෙස් මතු සිදු වෙතැයි කී දේ මිස, ඊට වැඩි යමක් නො වේ. 23එය නම්, ක්‍රිස්තුස්වහන්සේ දුක් විඳිය යුතු බවත්, මළවුන්ගෙන් නැගිටි ප්‍රථමයාණන් වී, ඉශ්‍රායෙල් ජනයාටත්, අන්‍ය-ජාතීන්ටත් ආලෝකය ප්‍රකාශ කළ යුතු බවත් ය.”
24මෙවිට ඔහුගේ කරුණු දැක්වීමට බාධා කළ පෙස්තුස්, “ඔබට ඔල්මාද පාවුල්! ඔබේ උගත්කම වැඩි වී උමතු වෙලා යැ” යි මහ හඬින් පැවසී ය.
25පාවුල් පිළිතුරු දෙමින්, “මට උමතු නැත අති උතුම් පෙස්තුස් තුමනි, මා පවසන්නේ පිරිසිදු ඇත්තයි; 26මා කියන දෑ රජතුමා හොඳින් ම දනී; එබැවින් විවෘතවයි එතුමන්ට මා කතා කරන්නේ; මේ කිසිවක් අස්සක, මුල්ලකදී කළ දෑ නො වන බැවින්, මින් කිසිවක් එතුමාගේ දැනගැන්මෙන් සැඟවී නැති බව මම ඒත්තු ගෙන සිටිමි. 27අග්‍රිපා රජතුමනි, ඔබ දිවැසිවරුන් විශ්වාස කරනවා නො වේ ද? ඔබ විශ්වාස කරන බව මම දනිමි” යි කීවේ ය.
28එවිට අග්‍රිපා රජු පාවුල් අමතමින්, “වැඩි උත්සාහයක් නැතුව ම ඔබ මා ක්‍රිස්තියානිකාරයකු කරන්නට සිතනවා වගේ යැ?” යි පැවසී ය.
29“සුළු වේලාවකින් හෝ දිගු කලකින් හෝ ඔබත්, අද මට සවන් දෙන සැවොමත් මේ යදම්වලින් තොර ව, මා වගේ වේවායි මම දෙවියන්වහන්සේට යාච්ඤා කරමි” යි පාවුල් පිළිතුරු දුන්නේ ය.
30එවිට රජු නැගිට්ටේ ය; ආණ්ඩුකාරයා ද බෙර්නිකී ද ඔවුන් සමඟ අසුන් ගෙන සිටි අය ද නැගිටුණෝ ය. 31ඔවුහු ශාලාවෙන් පිටතට එමින්, “මේ මිනිසා මරණයටවත්, සිරගත වීමටවත් හේතු වන කිසිවක් කර නැතැ” යි කීහ.
32“සීසර්ගේ විනිශ්චය නො ඉල්ලුවේ නම් මේ මිනිසා නිදහස් කර හරින්නට තිබිණැ” යි අග්‍රිපා පෙස්තුස්ට පැවසී ය.

Aktualisht i përzgjedhur:

ක්‍රියා 26: SCV

Thekso

Kopjo

Krahaso

Ndaje

None

A doni që theksimet tuaja të jenë të ruajtura në të gjitha pajisjet që keni? Regjistrohu ose hyr