ක්‍රියා 10
10
පේදුරු සහ කොර්නේලියස්
1ඉතාලි යයි නම් ලත් භට හමුදාවේ ශතාධිපතියෙකු වූ කොර්නේලියස් නම් එක්තරා මිනිසෙක් කායිසාරියේ සිටියේ ය. 2ඔහු බැතිමතෙකි. සිය ගෙදර වැසියන් සමඟ දේව නමස්කාරයෙහි යෙදුන කෙනෙකි. සෙනඟට බොහෝ සේ දන් දෙමින් නොකඩ ව දෙවියන් වහන්සේට යාච්ඤා කිරීමෙහි නිරත වූවෙකි. 3දිනක් සවස තුනට පමණ දෙවියන් වහන්සේගේ දුතයෙක් ඔහුගේ නිවසට පැමිණ, “කොර්නේලියස්” කියා තමාට ආමන්ත්‍රණය කරනු ඔහු දර්ශනයකින් පැහැදිලි ලෙස දැක, 4දූතයා දෙස නෙත් යොමා බලා, බියපත් වී, “ස්වාමීනි, කිමෙක් දැ”යි ඇසී ය. දූතයා කතා කොට, “ඔබේ යාච්ඤා ද දාන ද සිහිවටන වශයෙන් දෙවියන් වහන්සේ ඉදිරියට නැඟී ඇත. 5ඉදින් ජොප්පාවට මිනිසුන් යවා, පේදුරු නම් සීමොන් කැඳවාගන්න. 6ඔහු මුහුද අද්දර සීමොන් නම් සම් පදම් කරන්නෙකුගේ ගෙදර නවාතැන්ගෙන සිටී ය”යි කී ය. 7මෙසේ කතා කළ දේව දූතයා ගිය කල, කොර්නේලියස් තමාගේ ගෙදර මෙහෙකරුවන්ගෙන් දෙදෙනෙකු ද තමාගේ පෞද්ගලික ආවතේව කරන්නන්ගෙන් පක්ෂපාත හේවායෙකු ද කැඳවා, 8ඔවුනට සියල්ල කියා දී, ඔවුන් ජොප්පාවට යැවී ය.
9පසු දින ඔවුන් ගමන් කොට ඒ නුවරට ළං වෙත් ම, පේදුරු මද්දහන වේලාව පමණේ දී යාච්ඤා කරන පිණිස වහල්තලයට නැඟුණේ ය. 10එවිට බඩගිනි ව, කෑම කන්නට ඔහුට ඕනෑ විය. එහෙත් ඔවුන් කෑම පිළියෙළ කරද්දී ඔහුට දිව්‍ය දර්ශනයක් ලැබුණි. 11එවිට අහස විවර ව, මහත් රුවලක් වැනි යම් දෙයක් එහි සතර කොණින් බැඳ පොළොවට බස්වනු ඔහු දිටී ය. 12පොළොවේ සියලු ආකාර සිවුපාවෝ ද උරග ජාතීහු ද ආකාශ පක්ෂීහු ද එහි සිටියෝ ය. 13“පේදුරු නැඟිට මරා කන්න” යන හඬක් ඔහුට ඇසිණි. 14එහෙත් පේදුරු, “ස්වාමීනි, එසේ නොවේ වා; මන්ද, අකැප, අපවිත්‍ර දෙයක් කිසි කලෙකත් මම නොකෑවෙමි”යි කී ය. 15“දෙවියන් වහන්සේ පවිත්‍ර කළ දේ, අකැප යයි නොකියන්නැ”යි දෙ වන වරටත් කියන හඬක් ඇසිණි. 16මෙය තුන් වරක් ම සිදු විය. එකෙණෙහි ම ඒ දේ අහසට ඔසවාගනු ලැබී ය.
17තවද, තමා දුටු දර්ශනය කුමක් දැ යි සිත සිතා, පේදුරු වියවුල් ව සිටිය දී, කොර්නේලියස් විසින් එවන ලද මනුෂ්‍යයෝ සීමොන්ගේ ගෙදර කොහේ දැ යි විමසමින් අවුත් එහි දොරටුව ළඟ සිට, 18“පේදුරු නම් ලත් සීමොන් මෙහි නැවතී සිටී දැ”යි හඬ නඟා ඇසූ හ. 19පේදුරු තමා දුටු දර්ශනය ගැන කල්පනා කරමින් සිටිය දී, ආත්මයාණන් වහන්සේ ඔහු අමතමින්, “අන්න, මිනිස්සු තුන් දෙනෙක් ඔබ සොයති. 20එබැවින් නැඟිට, බැස ගොස් කිසි සැකයක් නැති ව, ඔවුන් සමඟ යන්න. ඔවුන් එවූයේ මම ය”යි වදාළ සේක. 21එවිට පේදුරු ඒ මනුෂ්‍යයන් වෙතට බැස ගොස්: “ඔබ සොයන තැනැත්තා මම ය, ඔබ ආ කාරණය කිමෙක් දැ”යි ඇසී ය. 22ඔව්හු කතා කොට: “දැහැමි, දේව භය ඇති, මුළු ජුදෙව් ජාතිය ම ගරු කරන ශතාධිපතියෙකු වූ, කොර්නේලියස් තෙමේ තමාගේ ගෙදරට ඔබ කැඳවා ඔබෙන් ඔවදන් අසන පිණිස, දෙවියන් වහන්සේ විසින් ශුද්ධ වූ දේව දුතයෙකු ලවා අණ දෙනු ලැබී ය”යි කී හ. 23එවිට පේදුරු ඔවුන් ඇතුළට කැඳවා නවාතැන් දුන්නේ ය.
පසුවදා ඔහු ඔවුන් සමඟ පිටත් ව ගියේ ය. ජොප්පාවේ සහෝදරයන්ගෙන් සමහරෙක් ද ඔහු කැටුව ගියහ. 24ඊට පසුදා ඔව්හු කායිසාරියට පැමිණියහ. කොර්නේලියස් තමාගේ නෑයන් ද හිතමිතුරන් ද කැඳවාගෙන ඔවුන් එන තුරු බලා සිටියේ ය. 25පේදුරු ගෙට පිවිසුණු විට, කොර්නේලියස් ඔහු ඉදිරියට ගොස් ඔහුගේ පාමුල වැඳ වැටුණේ ය. 26එහෙත් පේදුරු, “නැඟිටින්න, මමත් මනුෂ්‍යයෙකැ”යි කියා ඔහු එසෙව්වේ ය. 27පේදුරු ඔහු සමඟ කතා කරමින්, ගේ ඇතුළට ගොස්, බොහෝ දෙනෙකු රැස් ව සිටිනු දැක, 28ඔවුන් අමතා, “ජුදෙව් මිනිසෙකුට විජාතිකයෙකු හා සමඟ සමාගම් පැවැත්වීමත් ඔහු බලන්නට යාමත් තහනම් බව ඔබ දන්නහු ය. එහෙත් කවර මිනිසෙක් වුව ද පිළිකුල් ය නොහොත් අපවිත්‍ර යයි නොකිය යුතු බව දෙවියන් වහන්සේ මට පෙන්වා දුන් සේක. 29එබැවින් ඔබ මා කැඳවා යැවූ කල මම කිසි සැකයක් නැති ව ආවෙමි. ඔබ මා කැඳෙව්වේ මන්දැ”යි ඇසී ය.
30එවිට කොර්නේලියස්, “සිව්දිනකට පෙර මෙවැනි වේලාවක දී, සවස තුනට, මම ගෙදර යාච්ඤා කරමින් සිටියෙමි. එවිට දිළිසෙන වස්ත්‍ර හැඳගත් මිනිසෙක් මා ඉදිරියෙහි සිට, 31‘කොර්නේලියස්, ඔබේ යාච්ඤා අසන ලද්දේ ය, ඔබේ පුණ්‍ය ක්‍රියා දෙවියන් වහන්සේ ඉදිරියෙහි සිහි කරන ලද්දේ ය; 32එබැවින් ජොප්පාවට මිනිසුන් යවා, පේදුරු නම් ලත් සීමොන් මෙතැනට කැඳවාගන්න; ඔහු මුහුද ළඟ සම් පදම්කරු සීමොන්ගේ ගෙයි නවාතැන් ගෙන සිටී ය’යි කී ය. 33එහෙයින් එකෙණෙහි ම මම ඔබ කැඳවා යැවීමි; ඔබේ පැමිණීම ඉතා හොඳ ය. දැන් සමිඳාණන් වහන්සේ ඔබට අණ කළ සියල්ල අසන පිණිස අපි සියල්ලෝ මෙහි දෙවියන් වහන්සේ ඉදිරියෙහි සිටිමු”යි කී ය.
පේදුරු තුමාගේ කතාව
34 #
ද්වි.නී. 10:17
එවිට පේදුරු මෙසේ කී ය: “දෙවියන් වහන්සේ මිනිසුන්ගේ තරාතිරම් නොබලන බව දැන් මට සැබැවින් ම පැහැදිලි ය. 35සියලු ජාතීන් අතර උන් වහන්සේ කෙරෙහි බිය ඇති, හරි දේ කරන තැනැත්තා උන් වහන්සේට ප්‍රියමනාප ය. 36උන් වහන්සේ ජේසුස් ක්‍රිස්තුන් වහන්සේ කරණකොටගෙන සාමයේ සුබ අස්න ප්‍රකාශ කරමින් ඉශ්රායෙල් පුත්‍රයනට දහම් පණිවුඩය දුන් සේක. ඒ ජේසුස් ක්‍රිස්තුන් වහන්සේ සියල්ලන්ගේ සමිඳාණෝ ය. 37ජොහන් ප්‍රකාශ කළ බව්තීස්ම-ස්නාපනයට පසු ගලීලය පටන් ජුදය මුළුල්ලෙහි සිදු වූ දේ ඔබ දන්නහු ය; 38දෙවියන් වහන්සේ ශුද්ධාත්මයෙන් ද බලයෙන් ද නාසරෙත්හි ජේසුස් වහන්සේ ආලේප කළ සැටිත්, දෙවියන් වහන්සේ උන් වහන්සේ සමඟ සිටි බැවින්, උන් වහන්සේ යහපත් ක්‍රියා කරමින් ද යක්ෂයා විසින් පීඩා කරන ලද සියල්ලන් සුව කරමින් ද හැසුරුණ සැටිත් ඔබ දන්නහු ය. 39උන් වහන්සේ ජුදෙව්වරුන්ගේ රටෙහි ද ජෙරුසලමෙහි ද කළ සියල්ලට අපි සාක්ෂිකරුවෝ වම්හ. ඔව්හු උන් වහන්සේ ගසක එල්ලා මැරූ හ. 40එහෙත් දෙවියන් වහන්සේ තුන් වන දා උන් වහන්සේ උත්ථාන කොට දර්ශනය වන්නට සැලැස්සූ සේක. 41උන් වහන්සේ සියල්ලනට ම පෙනුණේ නැත. පෙනුණේ, දෙවියන් වහන්සේ විසින් කලින් තෝරාගන්නා ලද සාක්ෂිකරුවන් වන, උන් වහන්සේ මළවුන්ගෙන් උත්ථාන වූ පසු උන් වහන්සේ සමඟ එකට කෑවා වූ, බීවා වූ, අපට ම ය. 42ජීවත් වන්නවුන්ගේ ද මළවුන්ගේ ද විනිශ්චයකාරයාණන් වන පිණිස දෙවියන් වහන්සේ විසින් නියම කරන ලද තැනැත්තාණන්, උන් වහන්සේ බව සෙනඟට ප්‍රකාශ කරන්නටත්, සාක්ෂි දෙන්නටත්, උන් වහන්සේ අපට අණ කළ සේක. 43උන් වහන්සේ අදහන සියල්ලනට උන් වහන්සේගේ නාමයේ අනුහසින් පව් කමාව ලැබෙන බවට සියලු දිවැසිවරයෝ සාක්ෂි දෙති”යි කී ය.
විජාතිකයන් ශුද්ධාත්මය ලැබීම
44පේදුරු මේ වචන කතා කරද්දී ම එය ඇසූ සියල්ලන් කෙරෙහි ශුද්ධාත්මයාණන් වහන්සේ පහළ වූ සේක. 45පේදුරු සමඟ පැමිණි, චර්මඡේදනය ලත් සැදැහැවත්හු විජාතීන් කෙරෙහි ශුද්ධාත්ම දීමනාව පහළ වූ බැවින් මවිත වූ හ. 46ඔවුන් අන්‍ය භාෂාවලින් කතා කරන සැටිත්, දෙවියන් වහන්සේගේ මහිමය ප්‍රකාශ කරන සැටිත්, ඔවුනට ඇසිණි. 47එවිට පේදුරු උත්තර දෙමින්, “අප ලැබුවාක් මෙන් ශුද්ධාත්මයාණන් වහන්සේ ලැබූ ඔවුන් වතුරෙන් බව්තීස්ම-ස්නාපනය කිරීම වැළැක්විය හැක්කේ කවරෙකුට දැ”යි කී ය. 48ඔහු ජේසුස් ක්‍රිස්තුන් වහන්සේගේ නාමයෙන් ඔවුන් බව්තීස්ම-ස්නාපනය කරන්නට අණ කෙළේ ය. එවිට ඔව්හු, කීප දවසක් තමන් සමඟ නැවතී සිටින ලෙස ඔහුගෙන් ඉල්ලූ හ.
Trenutno izabrano:
ක්‍රියා 10: NRSV
Istaknuto
Kopiraj
Uporedi
Podeli
Želiš li da tvoje istaknuto bude sačuvano na svim tvojim uređajima? Kreiraj nalog ili se prijavi
Ceylon Bible Society