Logo Aplikacije Biblija
Dugme za pretraživanje

රෝම 7

7
විවාහ ජීවිතයෙන් නිදර්ශනයක්
1සහෝදරවරුනි, නීතිය මිනිසෙකු කෙරේ බලපාන්නේ ඔහු ජීවත් ව සිටින තුරු පමණක් බව ඔබ නොදන්නහු ද? (මා කතා කරන්නේ නීතිය දන්නා ඇත්තන්ට ය.) 2විවාහ වූ ස්ත්‍රිය ස්වාමි පුරුෂයා ජීවත් ව සිටින තුරු නීත්‍යනුකූල ව බැඳී සිටියි. එහෙත් ස්වාමි පුරුෂයා මැරුණොත් ඈ විවාහ බැම්මෙන් නිදහස් ය. 3ස්වාමි පුරුෂයා ජීවත් ව සිටිය දී ඈ පරපුරුෂ සේවනයෙහි යෙදුණොත් ඇයට කාමමිථ්‍යාචාරයේ යෙදෙන්නී ය යි කියනු ලැබේ. එහෙත් සිය හිමියා මළ පසු ඈ විවාහ බැම්මෙන් නිදහස ලබයි. ඉන්පසු ඈ වෙන කෙනෙකු සමඟ විවාහ වුවත් කාමමිථ්‍යාචාරය නොකරන්නී ය. 4මාගේ සහෝදරවරුනි, ඔබ ද එලෙස ම ක්‍රිස්තුන් වහන්සේගේ ශරීරයට සම්බන්ධ වීමෙන් ව්‍යවස්ථාවෙන් නිදහස ලබා ඇත. ඒ හේතුවෙන් දෙවියන් වහන්සේට වැඩදායක වන පිණිස, ඔබ වෙන කෙනෙකුට, එනම් උත්ථානය ලැබූ තැනැන් වහන්සේට බැඳී සිටින්නහු ය. 5ලෞකික පෙළඹීම් අනුව අප ජීවත් ව සිටිය දී ව්‍යවස්ථාව නිසා ඇවිස්සුණු කාම තෘෂ්ණා අප ඉඳුරන් තුළ ක්‍රියාත්මක විය. එහි ප්‍රතිඵලය මරණය යි. 6එහෙත් දැන්, වරක් අප තරයේ බැඳ තැබූ බැම්මෙන් මිදීම ලබා, අපි නීතියෙන් නිදහස් ව සිටිමු. එබැවින් අපි දැන් පැරණි ලිඛිත නීතිය යටතේ නොව, ආත්මයාණන්ගේ නව ජීවනය තුළ සේවය කරමු.
ව්‍යවස්ථාව හා පාපය
7 # නික්ම 20:17; ද්වි.නී. 5:21 එසේ නම් ව්‍යවස්ථාවත් පාපයත් එක ම යයි නිගමනය කළ හැකි ද? කොහෙත් ම නැත; එහෙත් ව්‍යවස්ථාව නොතිබෙන්නට, පාපය කුමක් දැ යි දැනුමක් මට ඇති විය නොහැක. “තණ්හා නොකරන්නැ”යි ව්‍යවස්ථාවෙහි නොකියන්නට, තණ්හාව කුමක් දැ යි දැනුමක් මට නැත. 8එහෙත් පාපය, ආඥාව මඟින් පාප ක්‍රියාවට ඉඩප්‍රස්ථාවක් සාදාගෙන විවිධාකාර තණ්හා මා තුළ නිපදවී ය. ව්‍යවස්ථාව නොවී නම්, පාපය ක්‍රියා විරහිත මළ දෙයකි. 9නීතිය නොදැන මා ජීවත් වූ කාලයක් විය. එහෙත් මට ආඥාව දැනගන්න ලැබුණු කල, පාපය වහා ම පණ ලැබී ය. 10මම ද මැරුණෙමි. ජීවිතය සඳහා පැන වූ ආඥාව ම මා මරණයට පැමිණ වී ය. 11#උත් 3:13මන්ද, පාපය, ආඥාව මඟින් ක්‍රියාවට ඉඩප්‍රස්ථාවක් සලසාගෙන, මා රවටා, ආඥාව උපයෝගී කොටගෙන, මා මැරී ය.
12එසේ වුව ද ව්‍යවස්ථාව ශුද්ධ ය, ආඥාව ද ශුද්ධ ය, සාධාරණ ය, යහපත් ය. 13එසේ නම් යහපත පිණිස පැන වූ ව්‍යවස්ථාව ම මට මරණය පැමිණ වී ද? කොහෙත් ම නැත; මා මරණයට පත් කෙළේ පාපය ය. මෙයින් පාපයේ පාපී ගතිය හෙළි විය. එය, යහපත් දෙයක් උපයෝගී කොටගෙන මා මරණයට පත් කෙළේ ය. මෙසේ ආඥාව මඟින් පාපය වඩාත් පාපිෂ්ඨ විය.
සිත තුළ සටන
14නීතිය ආධ්‍යාත්මික බව අපි දනිමු. එහෙත් ලෞකීක වූ මම පාපයට වහල් වී සිටිමි. 15#ගලා 5:17 මා කරන දේ මට ම නොතේරේ. මා කරන්නේ මා කරන්නට කැමැති දේ නොව, මා ද්වේෂ කරන දේ ය. 16මා කරන්නේ මා අකමැති දෙය බව මට හැඟේ නම්, එයින් නීතිය යහපත් බව මම ඒත්තු ගනිමි. 17සැබැවින් ම මා කරන දෙය කරන්නේ මා නොව මා තුළ ඇති පාපය වේ. 18මා තුළ, එනම්, මාගේ මිනිස් ගතිය තුළ කිසි යහපතක් නැති බව දනිමි. මන්ද, යහපත කිරීමට කැමැත්තක් මට ඇතත්, එය ඉටු කිරීමට ශක්තියක් මට නැත. 19මා කැමැති වන යහපත නොකර, මා අකමැති වන අයහපත මම කරමි. 20ඉදින් මා කරන්නේ මා අකමැති වන දෙය නම්, එය කරන්නේ මා නොව, මා තුළ ඇති පාපය ය. 21එබැවින් යහපත කිරීමේ කැමැත්ත මට ඇති අතර, නපුර මා නොමඟට පොළඹවන්නේ ය යන ප්‍රතිපත්තියක් මට පෙනේ. 22මාගේ හද පත්ලෙන් මම දෙවියන් වහන්සේගේ ආඥාවට ප්‍රිය කරමි. 23එහෙත් මාගේ මනසෙහි ඇති ඒ නීතියට විරුද්ධ ව සටන් කරන මාගේ ඉන්ද්‍රියයන් තුළ වූ පාප නීතියේ වහල්කමට මා හෙළන, වෙන ප්‍රතිපත්තියක් මාගේ ඉන්ද්‍රියයන් තුළ ඇති බව මට පෙනේ. 24අනේ, මා වැනි කාලකණ්ණි මිනිහෙක්! මේ මරණීය ශරීරයෙන් මා මුදන්නේ කවරෙක් ද? 25අපේ ස්වාමීන් වන ජේසුස් ක්‍රිස්තුන් වහන්සේ තුළින් දෙවියන් වහන්සේට ස්තුති වේ වා! කොටින් කියතොත්, මනසින් මා දේව ආඥාව පිළිගනිතත්, මිනිස් ගතිය අනුව මා යටත් ව සිටින්නේ පාප ආඥාවට ය.

Trenutno izabrano:

රෝම 7: NRSV

Istaknuto

Kopiraj

Uporedi

Podeli

None

Želiš li da tvoje istaknuto bude sačuvano na svim tvojim uređajima? Kreiraj nalog ili se prijavi