මතෙව් 25
25
කන්‍යාවන් දස දෙනා ගැන උපමාව
1“එකල ස්වර්ග රාජ්‍යය, තම පහන් රැගෙන, මනාලයා හමුවීමට පිටත් ව ගිය කන්‍යාවන් දස දෙනකුට සමාන ය. 2ඔවුන්ගෙන් පස් දෙනෙක් නුවණ නැත්තියෝ ය; පස් දෙනෙක් නුවණ ඇත්තියෝ ය. 3මන්ද නුවණ නැත්තියන් පහන් රැගෙන ගිය නමුදු, ඒ සඳහා තෙල් ගෙන ගියේ නැත. 4එහෙත් නුවණ ඇත්තියෝ තම පහන් සමඟ බඳුන්හි ලූ තෙල් ද ගෙන ගියෝ ය. 5මනාලයා පමා වූයෙන් ඔවුන් හැම නිදි බර ව, නින්දට වැටුණහ.
6“මැදියම් රැයේ මොර හඬ දීමක් විය: ‘මෙන්න මනාලයා! ඔහු හමුවට එන්නැ!’ යි ඉන් කියැවිණි.
7“එකල ඒ කන්‍යාවෝ සැවොම නැගුටුණෝ, තම තමන්ගේ පහන් තිර සකස් කළෝ ය. 8එවිට නුවණ නැත්තියෝ, නුවණ ඇත්තියන් අමතමින්, ‘අපට ඔබෙන් තෙල් ඩිංගක් දෙන්න; අපේ පහන් නිවී යතැ’ යි කීවෝ ය.
9“එහෙත්, නුවණ ඇත්තියෝ පිළිතුරු දෙමින්, ‘අපටත්, ඔබටත් සෑහෙන තරම් තෙල් මෙහි නැති බැවින්, තෙල් වෙළඳුන් වෙත ගොස්, ඔබ ම මිල දී ගන්නැ’ යි කීවෝ ය.
10“එසේ ඔවුන් තෙල් මිල දී ගැනීමට යන අතරේ, මනාලයා පැමිණියේ ය. සූදානම් ව සිටි අය ඔහු සමඟ මංගල උත්සවයට ඇතුල් වූහ. දොරටුව ද වසන ලදී.
11“ඉන්පසු අනෙක් කන්‍යාවෝ පැමිණ, ‘ස්වාමිනි, ස්වාමිනි, අපට දොර අරින්නැ’ යි කීහ.
12“එහෙත් ඔහු පිළිතුරු දෙමින්, ‘සැබවින් ම මා ඔබට කියන්නේ මා ඔබ හඳුනන්නේ නැත කියා යැ’ යි කීවේ ය.
13“එබැවින්, ඒ දවසවත්, ඒ පැයවත් ඔබ නො දන්න නිසා අවදිව සිටින්න.
තලෙන්ත උපමාව
14“තවද එය, තම මෙහෙකරුවන් කැඳවා, ඔවුන්ට තම වස්තුව පවරා, චාරිකාවක යෙදුණු මිනිසකුට සමාන ය. 15ඔහු කෙනකුට තලෙන්ත#25:15 තලෙන්තයක් යනු කුලීකරුවකුගේ වසර විස්සක වැටුපට සමාන මුදලකි. පහක් ද තවකකුට තලෙන්ත දෙකක් ද තවකකුට එක් තලෙන්තයක් ද යන වශයෙන් ඒ ඒ අයගේ හැකියාව අනුව බාර දුන්නේ ය. ඉන්පසු ඔහු පිටත් ව ගියේ ය. 16තලෙන්ත පහ ලද තැනැත්තා සැණෙක පිටත් ව ගොස්, ඒවා යොදවා වෙළඳාම් කර, තවත් තලෙන්ත පහක් ඉපද වී ය. 17තලෙන්ත දෙක ලද තැනැත්තා ද එලෙස, වැඩිපුර තවත් තලෙන්ත දෙකක් ඉපද වී ය. 18එහෙත් එක් තලෙන්තය ලද තැනැත්තා පිටතට ගොස් පොළොවේ වළක් හාරා, තම හාම්පුතාගේ මුදල එහි සැඟවී ය.
19“දිගු කලකට පසු පෙරළා පැමිණි ඒ සේවකයින්ගේ හාම්පුතා ඔවුන් සමඟ ගණන් බැලුවේ ය. 20එවිට තලෙන්ත පහ ලද තැනැත්තා වැඩිපුර වූ තලෙන්ත පහ ද ඉදිරියට ගෙන අවුත්, ‘ස්වාමිනි, ඔබ තලෙන්ත පහක් මට බාර දුන්නා. මෙන්න, මා ඉන් වැඩිපුර පහක් ඉපදෙව්වා’ යි කීවේ ය.
21“ඔහුගේ හාම්පුතා කතා කරමින්, ‘අගෙයි යහපත්, විශ්වාසවත් දාසය, සුළු දේ ගැන ඔබ විශ්වාසී වූ නිසා, බොහෝ දේවල බාරකාරත්වයට මම ඔබ පත් කරමි. එන්න; ඇවිත් ඔබගේ හාම්පුතාගේ ප්‍රීතියට පංගුකරුවකු වන්නැ!’ යි කී ය.
22“තලෙන්ත දෙක ලද තැනැත්තා ද ඉදිරියට අවුත්, ‘ස්වාමිනි, ඔබ තලෙන්ත දෙකක් මට බාර දුන්නා. මෙන්න, මා වැඩිපුර තවත් දෙකක් ඉපදෙව්වා’ යි කී ය.
23“ඔහුගේ හාම්පුතා ඔහු අමතමින්, ‘අගෙයි යහපත්, විශ්වාසවත් දාසය, සුළු දේ ගැන ඔබ විශ්වාසී වූ නිසා, බොහෝ දේවල බාරකාරත්වයට මම ඔබ පත් කරමි. එන්න; ඇවිත් ඔබගේ හාම්පුතාගේ ප්‍රීතියට පංගුකරුවකු වන්නැ!’ යි කී ය.
24“ඉන්පසු, එක් තලෙන්තය ලද තැනැත්තා ඉදිරියට අවුත්, ‘ස්වාමිනි ඔබ, නො වපුළ දේ කපා ගන්නා වූ, නො විසිරු බීජ රැස්කරන්නාවූ තද ගති ඇති කෙනකු බැව් මා දැන සිටියා. 25එබැවින් මා බයින් ගොස්, ඔබගේ තලෙන්තය පොළොවේ වළලා තැබුවා. මෙන්න, ඔබට අයිති දේ’ යි කී ය.
26“ඔහුගේ හාම්පුතා පිළිතුරු දෙමින්, ‘දුෂ්ට, අලස දාසය! මා නො වපුළ දේ කපා ගන්නා, නො විසිරු බීජ රැස්කරනා කෙනකු වග ඔබ දැන සිටියා ද? 27එසේ නම් ඔබ කළ යුතු ව තිබුණේ, මගේ මුදල් බැංකුකරුවන් වෙත ආයෝජන කිරීමයි. එසේ කළා නම්, මා ආපසු ආ කල, පොලියත් සමඟ මට හිමි දේ ආපසු ගත හැකි ව තිබුණා.
28“ ‘තලෙන්තය මොහුගෙන් ගෙන, තලෙන්ත දහය ඇත්තාට දෙන්න. 29මන්ද ඇති හැම කෙනකුට වඩ වඩා දෙනු ලැබේ. ඔහුට අධික ව ලැබේ. නැති තැනැත්තාගෙන් ඔහුට ඇති දේත් ගනු ලැබේ. 30කිසි කමකට නැති මේ දාසයා පිටත අන්ධකාරයට හෙළනු; එතැන වැලපීමත්, දත්මිටි කෑමත් වන්නේ යැ’ යි කීවේ ය.
බැටළුවන් සහ එළුවන්
31“මනුෂ්‍ය පුත්‍රයාණන් ස්වකීය තේජසින් යුතු ව, සියලු දේව දූතයින් ද සමඟ එන කල, උන්වහන්සේ ස්වකීය තේජාන්විත සිංහාසනයේ අසුන් ගන්නා සේක. 32එකල සියලු ජාතීහු උන්වහන්සේ ඉදිරියට රැස් කරනු ලබති. එවිට එඬේරකු, එළුවන් වෙතින් බැටළුවන් වෙන් කරන්නා සේ, උන්වහන්සේ ජනයා, කෙනකුගෙන් කෙනකු වෙන් කරනු ඇත. 33උන්වහන්සේ බැටළුවන් තම දකුණු පසෙහි ද එළුවන් තම වම් පසෙහි ද තබන සේක.
34“එවිට රජ්ජුරුවෝ තමන් දකුණු පස සිටින්නන් අමතමින්, ‘එන්න, මගේ පියාණන්වහන්සේගෙන් ආශිර්වාද ලද්දනි, ලොව අත්තිවාරම් ලූ තැන් පටන් ඔබ සඳහා සූදානම් කරන ලද රාජ්‍යය උරුම කර ගන්න. 35මන්ද මා සාගිනි ව සිටියා; ඔබ මට ආහාර දුන්නා. මා පිපාසිත ව සිටියා; ඔබ මට බොන්නට දුන්නා. මා ආගන්තුක ව සිටියා; ඔබ නිවසට මා පිළිගත්තා. 36මා නිර්වස්ත්‍ර ව සිටියා; ඔබ මට ඇඳුම් ඇඳවූවා. මා රෝගී ව සිටියා; ඔබ මට සැලකුවා. මා සිරගත ව සිටියා. ඔබ මා බලන්නට ආවා’ යි කියනු ඇත.
37“එවිට ධර්මිෂ්ඨයෝ උන්වහන්සේට පිළිතුරු දෙමින්, ‘ස්වාමිනි, ඔබ සාගිනි ව සිටිනු දැක අප ඔබට ආහාර දුන්නේ කවරදා ද? ඔබ පිපාසිත ව සිටිනු දැක ඔබට බොන්නට දුන්නේ කවරදා ද? 38ඔබ ආගන්තුක ව සිටිනු දැක, ඔබ පිළිගත්තේ කවරදා ද? නිර්වස්ත්‍ර ව සිටිනු දැක, ඔබට ඇඳුම් හැඳවූයේ කවරදා ද? 39ඔබ රෝගී ව හෝ සිරගත ව හෝ සිටිනු දැක අප ඔබ බලන්න ආවේ කවරදා දැ?’ යි අසනු ඇත.
40“එවිට රජ්ජුරුවෝ පිළිතුරු දෙමින්, ‘සැබවින් ම මා ඔබට කියන්නේ, මගේ මේ සහෝදරයින්ගෙන් ඉතාම සුළු කෙනකුට හෝ ඔබ කළ යම් දෙයක් වේ ද, ඔබ එය කළේ මට යැ’ යි පවසනු ඇත.
41“ඉන්පසු උන්වහන්සේ තමන් වම් පස සිටින්නවුන් අමතමින්, ‘මා වෙතින් ඉවත් ව යනු, ශාප ලද්දෙනි, යක්ෂයාටත් උගේ දූතයින්ටත් පිළියෙල ව ඇති සදාතන ගින්නට යනු. 42මන්ද මා සාගිනි ව සිටියා; ඔබ මට ආහාර දුන්නේ නෑ. මා පිපාසිත ව සිටියා; ඔබ මට බොන්නට දුන්නේ නෑ. 43මා ආගන්තුක ව සිටියා; ඔබ මා පිළිගත්තේ නෑ. මා නිර්වස්ත්‍ර ව සිටියා; ඔබ මට ඇඳුම් ඇන්දුවේ නෑ. මා රෝගී ව සිටියා; සිරගත ව සිටියා; ඔබ මා බලන්නට ආවේ නෑ’ යි කියනු ඇත.
44“ඔවුහු ද පිළිතුරු දෙමින්, ‘ස්වාමිනි, ඔබ සාගිනි ව හෝ පිපාසිත ව හෝ ආගන්තුක ව හෝ නිර්වස්ත්‍ර ව හෝ රෝගී ව හෝ සිරගත ව හෝ සිටිනු දැක, අප ඔබට උපස්ථාන නො කළේ කවරදා දැ?’ යි අසනු ඇත.
45“එවිට උන්වහන්සේ පිළිතුරු දෙමින්, ‘සැබවින් ම මා ඔබට කියන්නේ, මොවුන්ගෙන් කුඩා ම කෙනකුට ඔබ යමක් නො කළේ වේ ද, ඔබ එය නො කළේ මට යැ’ යි පවසනු ඇත.
46“මෙසේ ඔවුහු සදාතන දඬුවමට යති. එහෙත්, ධර්මිෂ්ඨයෝ සදාතන ජීවනයට යන්නෝ යැ” යි පැවසූ සේක.
Đang chọn:
මතෙව් 25: SCV
Tô màu
Sao chép
So sánh
Chia sẻ
Bạn muốn lưu những tô màu trên tất cả các thiết bị của mình? Đăng ký hoặc đăng nhập
Holy Bible, Sinhala Contemporary Version™ | © 1980, 1991, 1994, 2011, 2020, 2025 by Biblica, Inc. | Used with permission. All rights reserved worldwide.