මතෙව් 9
9
අංසබාග රෝගියා සුව කිරීම හා පාප කමා බලය
1යේසුස්වහන්සේ ඔරුවකට නැගී, එතෙර වී, තමන්ගේ ම නගරයට පැමිණි සේක. 2එකල සයනයක හොවන ලද අංසබාග රෝගියකු කිහිප දෙනෙක් විසින් උන්වහන්සේ වෙත ගෙනෙන ලද්දේ ය. යේසුස්වහන්සේ ඔවුන්ගේ ඇදහිල්ල දැක, අංසබාග රෝගියා අමතමින්, “ධෛර්යවත් වන්න; පුත්‍රය, ඔබේ පාප කමා කරන ලදැ” යි කී සේක.
3එවිට මෙන්න! දහම් පඬිවරු ඇතමෙක් තමන් අතරේ ම කතා කරමින්, “මේ මිනිසා දේවාපහාස කරතැ” යි කීහ.
4යේසුස්වහන්සේ ඔවුන්ගේ සිතුවිලි දැන, “ඔබේ හදවත් මෙවැනි නපුරු දෑ සිතන්නේ මන්ද? 5කියන්නට වඩා පහසු කුමක් ද? ‘ඔබේ පාප කමා කරන ලදැ’ යි කීම ද නැතහොත්, ‘නැගිට ඇවිදින්නැ’ යි කීම ද? 6කෙසේ වුවත්, පොළොවේදී පාප කමා කිරීමට මනුෂ්‍ය-පුත්‍රයාට බලය ඇති බව ඔබ දැනගන්නා පිණිස යැ” යි පවසා, ඉන්පසු අංසබාග රෝගියාට, “නැගිටින්න; ඔබේ යහන රැගෙන ගෙදර යන්නැ” යි පැවසූ සේක. 7එවිට ඔහු නැගිට, ගෙදර ගියේ ය. 8ඒ දුටු ජන සමූහයා බයින් පිරී, එවන් ආධිපත්‍යයක් මිනිසුනට දුන් දෙවියන්වහන්සේට ප්‍රශංසා කළහ.
මතෙව් කැඳවනු ලැබීම
9යේසුස්වහන්සේ එතැන් සිට ගමන් ගනිද්දී, මතෙව් නම් වූ මිනිසෙක් අයබදු කාර්යාලයේ හිඳ සිටිනු දැක, “මා අනුව එන්නැ” යි ඔහුට කී සේක. එවිට ඔහු නැගිට, උන්වහන්සේ අනුව ගියේ ය.
10යේසුස්වහන්සේ මතෙව්ගේ නිවසේ මේසයට වාඩි වූ කල, බදු අය කරන්නන් බොහෝ දෙනෙක් ද පව්කාරයෝ ද පැමිණ, යේසුස්වහන්සේ හා උන්වහන්සේගේ ගෝලයින් සමඟ එකට වාඩිවූහ. 11ඒ දුටු පරිසිවරු, “නුඹලාගේ ගුරුතුමා බදු අය කරන්නන් හා පව්කරුවන් සමඟ කන්නේ මන්දැ?” යි උන්වහන්සේගේ ගෝලයන්ගෙන් ඇසූහ.
12උන්වහන්සේ ඒ ඇසූ කල, “වෙදකු ඕනෑ කරන්නේ නිරෝගීනට නො ව රෝගීන්ටයි. 13‘මම යාග පූජාවට නො ව දයාවට ආශා ඇත්තෙමි’#9:13 හොෂෙයා 6;6 යන්නෙහි අරුත කුමක් දැයි ගොසින් ඉගෙන ගන්න. මා ආවේ ධර්මිෂ්ඨයින් කැඳවීමට නො ව, පව්කරුවන් කැඳවීමට යැ” යි පැවසූ සේක.
උපවාසය ගැන පැනය
14එකල යොහන්ගේ ගෝලයෝ උන්වහන්සේ වෙත අවුත්, “අපත්, පරිසිවරුනුත් උපවාසයෙන් සිටින නමුත්, ඔබගේ ගෝලයින් උපවාසයේ නො සිටින්නේ මන්දැ?” යි ඇසූහ.
15යේසුස්වහන්සේ පිළිතුරු දෙමින්, “මංගල පිරිසට, ඔවුන් සමඟ මනාලයා සිටියදී ශෝක විය හැකි ද? මනාලයා ඔවුන් වෙතින් ඉවතට ගනු ලබන දවස් පැමිණෙයි. එවිට ඔවුන් නිරාහාර ව සිටිනු ඇත.
16“කිසිවකු පරණ ඇඳුමකට තාන් රෙදි කඩකින් අණ්ඩ දමන්නේ නැත. දැමුවොත් අණ්ඩය දැමූ රෙදි කඩින් පරණ ඇඳුම ඇදී, ඉරුම වඩාත් විශාල වෙයි. 17කිසිවකු අලුත් මිදි යුෂ පැරණි සම් මලුවල දමන්නේ ද නැත. එසේ දැමුවහොත් අලුත් මිදි යුෂ සැරට සම් මලු පැළී, මිදි යුෂ හැලී, සම් මලු ද නාස්ති වී යයි; එනිසා, අලුත් මිදි යුෂ දමන්නේ අලුත් සම් මලුවල ය. එවිට ඒ දෙවර්ගය ම සුරැකෙතැ” යි පැවසූ සේක.
දැරියට ජීවනය, ස්ත්‍රියට සුවය
18උන්වහන්සේ එසේ පවසද්දී, එතැනට පැමිණි පාලකයෙක් උන්වහන්සේ අබියස දණින් වැටී, “මගේ දුව මේ දැන් මියැදුණා. එහෙත් ඔබතුමා අවුත්, ඇය පිට ඔබේ අත තැබුවොත්, ඇය ජීවත් වනු ඇතැ” යි කීවේ ය. 19එවිට යේසුස්වහන්සේ නැගිට, තම ගෝලයින් ද සමඟ ඔහු අනුව ගිය සේක.
20ඒ අතර මෙන්න, පුරා දොළොස් වසරක් කිලිමාලයෙන් පෙළුණු ස්ත්‍රියක් උන්වහන්සේ පිටුපසින් අවුත්, උන්වහන්සේගේ සළුවේ වාටියට අත ගැසුවා ය. 21මන්ද, “උන්වහන්සේගේ සළුවටවත් අත ගැසුවොත් මා සුව වේ යැ” යි ඇය තමාට ම කියාගත් බැවිනි.
22යේසුස්වහන්සේ හැරී, ඇය දැක, “දිරිමත් වන්න දියණිය, ඔබේ ඇදහිල්ල ඔබ සුව කර ඇතැ” යි කී සේක. ඒ මොහොතේ පටන් ඒ ස්ත්‍රිය සුවය ලද්දා ය.
23යේසුස්වහන්සේ සිනගෝග පාලකයාගේ නිවසට පැමිණි කල, නළා වාදකයින් හා ඝෝෂාකාරී පිරිස දැක, 24ඔවුන් අමතා, “ඉවත් වන්න, දැරිය මැරී නැහැ; ඇය නිදන්නී යැ” යි කී සේක. එවිට ඔවුහු උන්වහන්සේට සිනාසුණහ. 25පිරිස පිටතට යවනු ලැබූ පසු, උන්වහන්සේ නිවස තුළට ගොස්, දැරියගේ අතින් ඇල්ලූ සේක. එවිට ඈ නැගිට්ටා ය. 26මෙපුවත පෙදෙස මුළුල්ලේ ම පැතිරිණි.
අන්ධයාට හා ගොළුවාට සුවය
27යේසුස්වහන්සේ එතැන පසු කර යන කල, අන්ධයින් දෙදෙනෙක් උන්වහන්සේ පස්සේ යමින්, “අපට කරුණා කළ මැනව, දාවිත්ගේ පුත්‍රයාණෙනි” යි මොර ගසන්නට වන්හ.
28යේසුස්වහන්සේ නිවසට පිවිසි කල, අන්ධයෝ දෙදෙන උන්වහන්සේ වෙත ආහ. “මට මෙය කළ හැකි ය කියා ඔබ විශ්වාස කරනවා දැ?” යි උන්වහන්සේ ඔවුන්ගෙන් ඇසූ කල,
“එසේය ස්වාමිනි” යි ඔවුහු පිළිතුරු දුන්හ.
29එවිට ඔවුන්ගේ ඇස් ස්පර්ශ කළ උන්වහන්සේ, “ඔබගේ ඇදහිල්ල ලෙස ඔබට සිදු වේවා” යි පැවසූ සේක. 30එවිට ඔවුන්ගේ ඇස් පෑදිණි. යේසුස්වහන්සේ ඔවුන්ට තදින් අවවාද කරමින්, “කිසිවකුට මේ ගැන දැනගන්නට ඉඩ නො තබන්නැ” යි කී සේක. 31එහෙත් එතැනින් ඉවත් ව ගිය ඔවුහු මුළු පළාත පුරා උන්වහන්සේගේ කීර්තිය පතළ කළහ.
32ඔවුන් පිටත් ව යන අතර මෙන්න, යක්ෂාත්මයක් වැහුණු ගොළු මිනිහෙක් උන්වහන්සේ වෙත ගෙනෙනු ලැබී ය. 33යක්ෂාත්මය දුරු කරනු ලැබූ කල, ගොළු වී සිටි මිනිසා කතා කළේ ය. ඉන් විස්මයට පත් ජනයා, “මෙහෙම දෙයක් ඉශ්‍රායෙලයේ කවදාවත් දැක නැතැ” යි කීහ.
34එහෙත් පරිසිවරු, “මොහු යක්ෂාත්මයන් දුරු කරන්නේ යක්ෂාධිපති මාර්ගයෙනැ” යි කීහ.
අස්වනු නෙළන්නන්ගේ හිඟය
35යේසුස්වහන්සේ සිනගෝගවල උගන්වමින් ද රාජ්‍යයේ සුබ ආරංචිය ප්‍රකාශ කරමින් ද සියලු ආකාර රෝග හා ආබාධ සුව කරමින් ද සියලු නගර හා ගම් පුරා සැරි සැරූ සේක. 36උන්වහන්සේ ජන සමූහයා දැක ඔවුන් එඬේරකු නැති බැටළු රැළක් සේ අතවරවලට ලක් ව, අසරණ ව සිටි බැවින්, ඔවුන්ට දයානුකම්පා කළ සේක. 37එවිට උන්වහන්සේ තම ගෝලයින් අමතමින්, “අස්වැන්න අධිකයි, එහෙත් සේවකයින් ඇත්තේ ස්වල්ප දෙනයි. 38එබැවින් තමාගේ අස්වනු නෙළීමට සේවකයින් එවන ලෙස අස්වැන්නේ ස්වාමින්වහන්සේට යාච්ඤා කරන්නැ” යි පැවසූ සේක.
Đang chọn:
මතෙව් 9: SCV
Tô màu
Sao chép
So sánh
Chia sẻ
Bạn muốn lưu những tô màu trên tất cả các thiết bị của mình? Đăng ký hoặc đăng nhập
Holy Bible, Sinhala Contemporary Version™ | © 1980, 1991, 1994, 2011, 2020, 2025 by Biblica, Inc. | Used with permission. All rights reserved worldwide.