ක්‍රියා 20
20
මකිදෝනිය, ග්‍රීසිය, ත්‍රෝවස යන තැන්හි සිටීම
1කෝලාහලය නැවතුණු පසු පාවුල් ගෝලයන් කැඳවා අවවාදකොට, ඔවුන්ට ආයුබෝවන් කියා, මකිදෝනියට යන්ට පිටත්වුණේය. 2ඔහු ඒ පළාත් මැදින් ගොස්, ඔවුන්ට බොහෝ අවවාද දී, ග්‍රීසියට ආවේය. 3එහි ඔහු තුන් මාසයක් ගතකොට, නැවෙන් සිරියාවට යන්ට සූදානම්ව සිටියදී, ඔහුට විරුද්ධව යුදෙව්වරුන් උපායක් යෙදූ කල, මකිදෝනිය මැදින් හැරී යන්ට නියමකරගත්තේය. 4පුරස්ගේ පුත්‍රවූ බෙරීයයේ සෝපතර්ද තෙසලෝනිකවරුන්ගෙන් අරිස්තාර්කස් සහ සෙකුන්දස්ද දර්බයේ ගායස් සහ තිමෝතියස්ද ආසියාවේ තුඛීකස් සහ ත්‍රොපීමස්ද ඔහු සමඟ ආසියාව දක්වා ගියෝය. 5මොව්හු ඉස්සරව ගොස්, ත්‍රෝවසේදී අපගේ ඊම බලා සිටියෝය. 6මුහුන් නොදැමූ රොටි කන දවස්වලට පසු අපි පිලිප්පියෙන් නැව් නැගී, පස් දවසකින් ත්‍රෝවෙසහි සිටියාවූ ඔවුන් ළඟට ඇවිත්, එහි සත් දවසක් නැවතී සිටියෙමුව.
7සතියේ පළමුවෙනිදා අපි රොටි කඩන්ට රැස්වූ කල, පාවුල් පසුවදා යන්ට අදහස්කරගෙන, ඔවුන්ට අනුශාසනාකෙළේය; ඔහුගේ කථාව මධ්‍යම රාත්‍රිය දක්වා පැවතුණේය. 8අප රැස්ව සිටි උඩුමහලේ බොහෝ පහන් තිබුණේය.
යුතිකස්
9යුතිකස් නම් එක් තරුණයෙක් බොහෝ නිදිබරව කවුළුව උඩ ඉඳගෙන උන්නේය; පාවුල් තව දුරට අනුශාසනාකරද්දී යුතිකස් නින්දේ තදකම නිසා තුන්වෙනි මහලින් පහළට වැටුණේය, ඔහු ඔසවාගත් කල මැරී සිටියේය. 10එවිට පාවුල් බැස, ඔහු පිට වැටී, ඔහු වැළඳගන: ඝෝෂා නොකරන්න; මක්නිසාද මොහුගේ ප්‍රාණය මොහු තුළ තිබේයයි කීවේය. 11ඔහු නැවත උඩට ගොස්, රොටි කඩා කා, ඔවුන් සමඟ බොහෝ වේලාවක් එනම් පහන්වන තුරු කථාකර, පසුව පිටත්ව ගියේය. 12ඔව්හු ඒ ළමයා පණපිටින් ගෙනැවිත්, බොහෝසේ සැනසුණෝය.
මිලේතසට ගමන
13එහෙත් අපි අසොස්හිදී පාවුල් නංවාගන්ට අදහස්කරගන, පෙරටුව නැව ළඟට ගොස්, එහි යන්ට නැගුණෙමුව. මක්නිසාද ගොඩින් යන්ට අදහස්කළ ඔහු, එසේ යන්ට අපට නියමකර තිබුණේය. 14අසොස්හිදී ඔහු අපට සම්බවූ කල ඔහු නංවාගන මිතුලේනට ආවෙමුව. 15අපි එතැනින් යාත්රාකොට, පසුවදා කියොස් ඉදිරියට පැමිණ, ඊට පසුවදා සාමොස්ට ළඟාවී, ඊළඟ දවසේ මිලේතසට පැමිණියෙමුව. 16එසේ කළේ, හැකිවී නම් පෙන්තකොස්ත දවසේ යෙරුසලමේ සිටින්ට පාවුල් ඉක්මන්කළ බැවින්, ආසියාවෙහි කල්ගතකරන්ට නොවන පිණිස නැවෙන් එපීසය පසුකරයන්ට ඔහු නියමකරගන සිටි නිසාය.
එපීසයේ සභාවේ වැඩිමහල්ලන්ට අන්තිමට කළ කථාව
17ඔහු මිලේතසෙන් එපීසයට පණිවිඩ යවා, සභාවේ වැඩිමහල්ලන් කැඳවූයේය. 18ඔවුන් ඔහු ළඟට ආ කල ඔහු ඔවුන්ට කථාකොට:
මා ආසියාවට ආ පළමුවෙනිදා පටන් මුළු කාලය නුඹලා සමඟ ගතකළ හැටි නුඹලා දන්නහුය. 19මම සිතේ සියලු ආකාර යටත්කමින්ද කඳුළුවලින්ද යුදෙව්වරුන්ගේ උපා නිසා පැමිණි අමාරුකම්වලින්ද යුක්තව, ස්වාමීන්වහන්සේට සේවයකෙළෙමි. 20ප්රයෝජනවත්වූ කිසි දෙයක් ප්‍රකාශකිරීමෙන් නොවැලකී, ප්‍රසිද්ධයෙන්ද ගෙයින් ගෙටද නුඹලාට උගන්වමින්, 21දෙවියන්වහන්සේ කෙරෙහි පසුතැවිල්ලත් අපගේ ස්වාමිවූ යේසුස් ක්‍රිස්තුස්වහන්සේ කෙරෙහි ඇදහිල්ලත් ගැන යුදෙව්වරුන්ට හා ග්‍රීක්වරුන්ට සාක්ෂිදුනිමි. 22දැන් ඉතින් ආත්මයෙන් බඳිනු ලැබ, මම යෙරුසලමට යමි, එහිදී මට මක්වේද කියා නොදනිමි. 23නුමුත් බැඳුම්ද දුක්ද මට පැමිණේයයි ශුද්ධාත්මයාණන් වහන්සේ සියලු නුවරවලදී සාක්ෂිදෙනසේක. 24නුමුත් මාගේ දිවීමද දෙවියන්වහන්සේගේ කරුණාවේ ශුභාරංචියට සාක්ෂිදෙන පිණිස ස්වාමිවූ යේසුස්වහන්සේගෙන් මට ලැබුණු මෙහෙයද සම්පූර්ණකිරීම පමණ මාගේ ජීවිතය වැදගත්ය නොහොත් මටම අගේය කියා මම කිසිසේත් නොසලකමි. 25ඉතින් රාජ්‍යය ගැන දේශනාකරමින් නුඹලා අතරෙහි ඇවිද්දාවූ මාගේ මුහුණ නුඹලා සියල්ලන් තවත් නොදකින බව දනිමි. 26එහෙයින් මම සියල්ලන්ගේ ලෙයින් නිදොස්වෙමියි අද දවසේ නුඹලාට සාක්ෂිදෙමි. 27මක්නිසාද දෙවියන්වහන්සේගේ මුළු අභිප්‍රාය නුඹලාට ප්‍රකාශකිරීමෙන් නොවැලකුණෙමි. 28දෙවියන්වහන්සේ විසින් තමන්ගේම රුධිරයෙන් මිලේට ගත් තමන්ගේ සභාව පෝෂණයකරන්ට ශුද්ධාත්මයාණන් වහන්සේ යම් රැළෙක්හි නුඹලා නායකයන් කොට නියමකළසේක්ද, ඒ මුළු රැළ ගැනත් නුඹලාම ගැනත් ප්‍රවේසම්වෙන්න. 29මාගේ පිටත්ව යාමෙන් පසු රැළට අනුකම්පා නොකරන රෞද්‍රවූ වෘකයන් නුඹලා අතරට පැමිණෙන බව දනිමි; 30නුඹලා අතරෙන්ම මනුෂ්‍යයන් නැගිට, තමුන් පස්සේ යන්ට ගෝලයන් ඇදගන්නා පිණිස කාරණා පෙරළා කථාකරනවා ඇත. 31එබැවින් මා තුන් අවුරුද්දක් මුළුල්ලෙහි රෑ දාවල් දෙකේ කඳුළුවලින් යුක්තව සියල්ලන්ට නිරතුරු අවවාද දුන් බව සිහිකොට, අවදිව සිටින්න. 32දැන් දෙවියන්වහන්සේටද, නුඹලා ඉදිකරන්ටත් පිරිසිදුකරනලද සියල්ලන් අතරෙහි නුඹලාට උරුමයක් දෙන්ටත් හැකිවූ උන්වහන්සේගේ අනුග්රහයේ වචනයටද නුඹලා භාරදෙමි. 33කිසිවෙකුගේ රිදීයටවත් රනටවත් ඇඳුම්වලටවත් ආශා නොවීමි. 34මටත් මා සමඟ සිටියවුන්ටත් වුවමනාවූ දේ සපයාගැනීමට මේ අත්වලින් වැඩකළ බව නුඹලාම දන්නහුය. 35මෙසේ වැඩකරමින් නුඹලා දුර්වලයන්ට උපකාර කටයුතු බවද: ගැනීමට වඩා දීම ආශීර්වාදයකැයි ස්වාමිවූ යේසුස්වහන්සේම කී වචන සිහිකටයුතු බවද පෙන්වා සියල්ලේදී නුඹලාට ආදර්ශයක් වූයෙමියි කීවේය.
36ඔහු මෙසේ කියා දණින් හිඳ ඔවුන් සියල්ලන් සමඟ යාච්ඤාකෙළේය. 37ඔවුන් සියල්ලෝ, තවත් තමාගේ මුහුණ ඔව්හු නොදකින්නෝයයි පාවුල් කී වචනය ගැන සියල්ලට වඩා කනගාටුවෙමින්, අතිශයෙන් හඬා, 38ඔහුගේ බෙල්ල වැළඳගන ඔහු සිඹගත්තෝය. ඔව්හු නැව ළඟට ඔහු සමඟ ගියෝය.
Currently Selected:
ක්‍රියා 20: SROV
Highlight
Share
Copy
Want to have your highlights saved across all your devices? Sign up or sign in
Ceylon Bible Society