YouVersion Logo
Search Icon

ක්‍රියා 23

23
1පාවුල් ඉතා ඕනෑකමින් සභාව දෙස ඇස් හෙළා: සහෝදරයෙනි, මම අද දක්වා දෙවියන්වහන්සේ ඉදිරියෙහි සියලු ආකාර යහපත් හෘදයසාක්ෂියක් ඇතුව හැසුරුණෙමියි කීවේය. 2එවිට උත්තම පූජකවූ අනනියස් ඔහුගේ කටට ගසන ලෙස ළඟ සිටියවුන්ට අණකෙළේය. 3එවිට පාවුල්: සුදුකළ භිත්තියක් බඳුවූ නුඹට දෙවියන්වහන්සේ ගසනසේක. ව්‍යවස්ථාව ලෙස මා විනිශ්චයකරන්ට ඉඳගනම ව්‍යවස්ථාවට විරුද්ධව මට ගසන්ට අණකෙරෙහිදැයි කීවේය. 4එවිට ළඟ සිටි අය: නුඹ දෙවියන්වහන්සේගේ උත්තම පූජකයාට නින්දාකරනවාදැයි කීවෝය. 5පාවුල්ද: සහෝදරයෙනි, ඔහු උත්තම පූජකයා බව මම නොදැන සිටියෙමි. මක්නිසාද–නුඹේ සෙනඟගේ අධිපතියෙකු ගැන අගුණ නොකියන්නැයි ලියා තිබේයයි කීවේය. 6එහෙත් පාවුල් සෙනඟගෙන් එක් කොටසක් සද්දුසිවරුද අනික් කොටස ඵරිසිවරුද බව දැක සභාවෙහි මොරගසා: සහෝදරයෙනි, මම එරිසියෙක්මි, ඵරිසිවරුන්ගේ පුත්‍රයෙක්මි. මළවුන්ගේ බලාපොරොත්තුවද නැවත-නැගිටීමද ගැන විචාරනු ලබමියි කීවේය. 7ඔහු මෙසේ කී කල ඵරිසිවරුන් හා සද්දුසිවරුන් අතරේ භේදයක් හටගත්තේය. රැස්වූ අය බෙදුණෝය. 8මක්නිසාද සද්දුසිවරු නැවත-නැගිටීමක්වත් දේවදූතයෙක්වත් ආත්මයක්වත් නැතැයි කියති. නුමුත් ඵරිසිවරු දෙකම ඇතැයි කියති. 9එකල මහත් මොරගැසීමක් විය. ඵරිසිවරුන්ගේ පක්ෂයේ ලියන්නන්ගෙන් සමහරෙක් නැගිට විවාදකොට: මේ මනුෂ්‍යයා අත කිසි නපුරක් අපට නොපෙනේ. ඉඳින් ආත්මයක්වත් දේවදූතයෙක්වත් මොහුට කථාකෙළේනම් කිමෙක්දැයි කීවෝය. 10නුමුත් මහත් භේදයක් හටගත් කල ඔවුන් විසින් පාවුල් කැබෙලිකොට ඉරාදමනවා ඇත කියා අධිපතියා භයව, හේවායන්ට කථාකොට, ඔවුන්ගෙන් ඔහුව පැහැරගෙන කොටුවට ගෙනයන්ට අණකෙළේය.
11එදා රාත්‍රියේ ස්වාමීන්වහන්සේ ඔහු ළඟ සිට: ධෛර්ය ඇතුව සිටින්න. නුඹ විසින් යෙරුසලමේදී මා ගැන සාක්ෂිදුන් සේම රෝමයේදීත් සාක්ෂි දෙන්ට ඕනෑයයි කීසේක.
ප්‍රේරිත තැනට විරුද්ධව කළ යුදෙව් කුමන්ත්‍රණය නිෂ්ඵලවීම
12පහන්වූ කල යුදෙව්වරු සමාගමක් වී පාවුල් මරන තුරු කන්නේවත් බොන්නේවත් නැත කියා දිවුරුමකින් බැඳුණෝය. 13මේ කුමන්ත්‍රණය කළාවූ අය සතළිස් දෙනෙකුට වැඩිව සිටියෝය. 14ඔව්හු නායක පූජකයන්ද වැඩිමහල්ලන්ද ළඟට ගොස්: පාවුල් මරන තුරු අපි කිසි කෑමක රස නොබලන්ට මහත් දිවිරිල්ලකින් අපම බැඳගතිමුව. 15එබැවින්, නුඹලා ඔහුගේ කාරණා ගැන වඩා හරිලෙස විභාගකරන්ට යනවා වාගේ, හෙට නුඹලා ළඟට ඔහු ගෙනෙන ලෙස සභාව සමඟ අධිපතියාට දන්වා අරින්න. ඔහු මෙහාට ළංවෙන්ට පළමුවෙන් අපි ඔහු මරන්ට සූදානම්ව සිටිමුයයි කීවෝය. 16ඒ ඔවුන්ගේ රැකසිටීම ගැන පාවුල්ගේ සහෝදරීගේ පුත්‍රයා අසා ඇවිත්, කොටුවට ඇතුල්වී, පාවුල්ට දැනුම්දුන්නේය. 17එවිට පාවුල් සියයකට මුලාදෑනීන්ගෙන් එක්කෙනෙකු කැඳවා: මේ යෞවනයා ප්‍රධාන සේනාපතියා ළඟට ගෙනියන්න. ඔහුට කාරණයක් දන්වන්ට තිබේයයි කීවේය. 18එසේ ඔහු අධිපතියා ළඟට ඔහුව ගෙනගොස්: හිරකාරවූ පාවුල් මා කැඳවා, ඔබට දන්වන්ට කාරණයක් ඇත්තාවූ මේ යෞවනයා ඔබ වෙතට ගෙනෙන්ට මාගෙන් ඉල්ලුවේයයි කීවේය. 19එකල අධිපතියා ඔහුගේ අත අල්ලා අහකට ගෙනගොස්: මට දන්වන්ට නුඹට තිබෙන කාරණය මොකදැයි ඇසුවේය. 20ඔහු කථාකොට: පාවුල් ගැන ඔබ වඩා හරිලෙස විභාගකරන්ට යනවා වාගේ ඔහු හෙට සභාවට ගෙනෙන ලෙස යුදෙව්වරු ඔබගෙන් ඉල්ලන්ට නියමකරගත්තෝය. 21නුමුත් ඔවුන්ගේ කැමැත්තට ඉඩ නුදුන මැනවි. මක්නිසාද ඔවුන්ගෙන් හතළිහකට වැඩි දෙනෙක් ඔහු මරන තුරු කන්නේවත් බොන්නේවත් නැත කියා දිවිරිල්ලකින් තමුන්ම බැඳගෙන රැකසිටිති. දැන් ඔව්හු සූදානම්ව ඔබගේ පොරොන්දුව බලාසිටිතියි කීවේය. 22එවිට අධිපතියා: නුඹ මේ දේවල් මට දැන්නූ බව කාටවත් කියන්ට එපායයි අණකොට යෞවනයා යන්ට හැරියේය.
මුර ඇතුව කායිසාරියට යවනු ලැබීම
23එවිට ඔහු සියයකට මුලාදෑනීන් දෙදෙනෙකුට අඬගසා: කායිසාරිය දක්වා යන පිණිස හේවායන් දෙසියයක්ද අසරුවන් සැත්තෑවක්ද හෙල්ල දරන්නන් දෙසියයක්ද රාත්‍රියේ තුන්වෙනි පැයට සූදානම්කරන්නැයි කීවේය. 24පීලික්ස් නම් ආණ්ඩුකාරයා ළඟට ප්‍රවේසමෙන් පාවුල් නංවාගන යන පිණිස මෘගයන් සපයා තබන්ටද අණකෙළේය. 25තවද ඔහු මෙසේ ලියුමක් ලියුවේය:
26ක්ලෞදියස් ලිසියස් විසින් අති උත්තමවූ පීලික්ස් නම් ආණ්ඩුකාරයාණන්ට ශුභසිද්ධවේවයි ලියා එවන වග නම්– 27යුදෙව්වරුන් විසින් මේ මනුෂ්‍යයා අල්ලා මරන්ට සාදන කල, ඔහු රෝමයෙකු බව මම දැනගන, හේවායන් සමඟ ගොස් ඔහු ගළවාගතිමි. 28ඔවුන් ඔහුට තබන වරද මම දැනගන්ට කැමතිව, ඔවුන්ගේ සභාවට ඔහු ගෙනගියෙමි. 29එවිට ඔවුන්ගේ ව්‍යවස්ථාවේ ප්‍රශ්න ගැන ඔහුට වැරදි තබන බව මිස මරණයටවත් බැඳුම්වලටවත් සුදුසු යම් දෝෂයක් ඔහු පිට නොතබන බව දැනගතිමි. 30නුමුත් ඒ මනුෂ්‍යයාට විරුද්ධව උපායක් යොදන්ට යන බව මට දන්වන්ට යෙදුණු බැවින් එවේලේම ඔහු ඔබ වෙතට එවා, ඔහුට විරුද්ධව තිබෙන දේවල් ඔබ ඉදිරියේ කියන්ට වරද තබන්නන්ට අණකෙළෙමි යනුයි.
31මෙසේ හේවායන්ට අණකළ ප්‍රකාරයට ඔව්හු පාවුල් රැගෙන රාත්‍රියෙහි අන්තිපත්‍රිසට ගියෝය. 32පසුවදා අසරුවන් ඔහු සමඟ යන්ට හැර, ඔව්හු කොටුවට හැරී ආවෝය. 33අසරුවෝ කායිසාරියට ඇවිත් ආණ්ඩුකාරයාට ලියුම භාරදී පාවුල්ද ඔහු ඉදිරියෙහි සිටෙවුවෝය. 34එවිට ඔහු ඒ ලියුම කියවා, ඔහු කොයි පළාතේ කෙනෙක්ද කියා අසා, කිලිකියේ කෙනෙකු බව දැනගත් විට: 35නුඹට වැරදි තබන්නන් ආවාම නුඹේ මුළු කාරණය විභාගකරන්නෙමියි කියා, හෙරොද්ගේ මාළිගාවෙහි ඔහු රැකවල්කරන්ට අණකෙළේය.

Highlight

Share

Copy

None

Want to have your highlights saved across all your devices? Sign up or sign in

Video for ක්‍රියා 23